සීමා නිර්ණය කොයිබටද? | දිනමිණ

සීමා නිර්ණය කොයිබටද?

සීමා නීර්ණ වාර්තාව වරින් වර කරළියට ආ විට මුලින් පෙනෙන්නට තිබුණේ සියලු පක්ෂ ඊට කැපවූ බවකි. එහෙත් පසුගියදා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු එකතු වී එය පරාජය කළහ. මේ වාර්තාව මෙසේ පරාජය වූයේ ඇයි.? මෙය පරාජය වීම ආණ්ඩුවට හා ජනතාවට බලපාන්නේ කෙසේද? සීමා නිර්ණයේ ඇති අවශ්‍යතාව කුමක්ද? යනාදී ගැටලුවලට දක්වන විද්වත් අදහස් වෙනුවෙන් අද දේශපාලන කොලෝසියමේ ඉඩ වෙන්වේ.

පක්ෂවලට අවංක වුවමනාවක් නෑ

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය සිසිර පින්නවල

 පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පසුගියදා ප්‍රතික්ෂේප වුණේ එය ඉදිරිපත් කළ පළාත් පාලන ඇමැතිවරයාගේද කැමැත්ත ඊට නොලැබීමෙන්. මේ පිළිබඳ ඔබේ අදහස?

මේ තුළින් ඇත්තටම පැහැදිලි වන්නේ රටේ පවතින දේශපාලන අර්බුදය මිස වෙනත් දෙයක් නොවෙයි. සෑම පක්ෂයකටම පෞද්ගලික න්‍යාය පත්‍ර තිබෙනවා. ඒවා රටේ ප්‍රශ්නවලට එහා ගියා බලය හා සම්බන්ධ කාරණා. මේ රටේ ජනතාව තුළ පවතින මැතිවරණ ක්‍රමය පිළිබඳ එතරම් පැහැදීමක් නොමැති බව පසුගිය කාලයේ දක්නට ලැබුණා. විශේෂයෙන් මනාප ක්‍රමය අහෝසි වූ කොට්ඨාසයකට වගකියන මහජන නියෝජිතයකු පත්කර ගැනීම සම්බන්ධව සමාජ කතා බහක් ඇතිවුණා. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට අවංක වුවමනාවක් තිබුණා නම් මෙම වාර්තාවට මේ වගේ තත්ත්වයක් ඇති වන්නේ නැහැ.

පවතින මැතිවරණ ක්‍රමය යටතේම ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැන් රජයේ අවධානය යොමුව තිබෙනවා?

මැතිවරණ නියමිත කාලයට පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සියලු ප්‍රශ්නවලට විසඳුම කියලා හිතනවා නම් ඒක මුළාවක්. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ පැවැති මනාප ක්‍රමය තමයි අහිතකර. මනාප තුනක් ලබා දීමට හැකි වීම තුළ එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර ගැටුම් ඇති වුණා. අනෙක් පැත්තෙන් සල්ලි ඇති තරම් වියදම් කරන්න පුළුවන් අය මුදල් වැය කරලා ඡන්ද ලබා ගෙන මහජන නියෝජිතයින් ලෙස පත්වුණා. කොට්ඨාස හා සමානුපාතික ක්‍රමවල සම්මිශ්‍රණයක් ලෙස පැවැති පසුගිය පළාත් පාලන මැතිවරණයේදීත් නගර සභා හා ප්‍රාදේශීය සභා සඳහා පත්වුණේ සුදුසුම අයද? ඒ පත්වුණු අයගෙන් කී දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවාද? මම හිතන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට වඩා වැදගත් වන්නේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළට ගෙන ඒමයි. මොකද අපේ ජනතාව පසුගිය මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කර තිබෙන ආකාරය විශ්ලේෂණය කිරීමේදී ඔවුන්ගේ දේශපාලන සාක්ෂරතාව පහළ මට්ටමක පවතින බව තේරුම් ගන්න පුළුවන්. අකුරු කියවීමට හෝ ලිවීමට හැකියාව තිබූ පමණින් දේශපාලන සාක්ෂරතාව ඉහළ යන්නේ නැහැ.

ඔබ කියන්නේ නව මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාවක් නැහැ කියලද?

මම එහෙම කියන්නේ නැහැ. ක්ලීන් සූට් ගහලා බහින්නේ මඩට නම් තේරුමක් නැහැ. සමානුපාතික ක්‍රමයද කොට්ටාස ක්‍රමයද නොවෙයි වැදගත්, හරි මිනිස්සු මහජන නියෝජිතයින් ලෙස පත් කිරීමයි. ඒකේ වගකීම තිබෙන්නේ ජනතාවට. දේශපාලන පක්ෂ කොහොමත් තමන්ගේ අපේක්ෂක ලැයිස්තු පිරිසිදු කර ගන්න පාටක් නැහැ. ඒ අයට ඕන කොහොම හරි තමන්ට උදව් කළ අයට අවස්ථාවක් දෙන්න. එහෙම නැත්නම් ඥාතීන්ට අවස්ථාවක් දෙන්න. මේ නිසා අපි දැන ගන්න ඕන හරි කෙනාව පත් කරලා අරින්න. ඒක නොවෙනතාක් මැතිවරණ ක්‍රමය වෙනස් කරා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොට්ඨාස රැසක ජයග්‍රහණය ලබා ගත්තා. ඔවුනුත් කොට්ඨාස ක්‍රමයට අකමැති වීම ප්‍රශ්නයක් නේද?

ඒ කණ්ඩායම ක්‍රියා කරන්නේ ඒ මොහොතේ තමන්ට පවතින වාසිය ගැන හිතලා මිසක් රටේ හෝ ජනතාවගේ පැත්ත ගැන හිතලා නොවෙයි. පැහැදිලි ප්‍රතිපත්තියක් මේ කණ්ඩායමට නැහැ. හොරකම්, වංචා දූෂණ කළා කියන එක මැතිවරණවලදී තීරණාත්මක සාධකයක් නොවෙයි. නැත්නම් අද ඒකාබද්ධය නියෝජනය කරන කී දෙනෙක්ව ජනතාව ප්‍රතික්ෂේප කරන්න ඕනද. මේ අය ඒවා දන්නවා. ප්‍රතිපත්ති හිතෙන හිතෙන වෙලාවට වෙනස් කළත් ජනතාවට ඒක ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ අද පවතින දේශපාලන පක්ෂ අතරින් යම් ප්‍රතිපත්තියක් ඇතිව කටයුතු කරන්නේ එජාපය හා ජවිපෙ විතරයි.

අසේල කුරුළුවංශ

************

බල තරගයේ අතුරු පලයක්

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය උපුල් අබේරත්න

 කවුරුත් නොසිතපු විදියට පාර්ලිමේන්තුව සීමා නීර්ණ වාර්තාව පරාජය වුණා. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?

සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ පරාජය කිරීම මේ රටේ දේශපාලනයේ ස්වභාවය ඉතා හොඳින් පෙන්නුම් කරන්නක්. එක් පැත්තකින් ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම විසඳා ගැනීමට මැතිවරණ කල් දා ගැනීමේ වුවමනාවක් තියෙනවා. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ මැතිවරණයකට මුහුණ දෙන්න සූදානමක් නෑ. අගමැතිවරයාත් මේ මොහොතේ මැතිවරණයකට යාමට මැලිකමක් දක්වනවා. ඒ හේතු නිසාම සීමානිර්ණ කමිටු වාර්තාව කොයිතරම් ජනතාවාදී වුවත් අවස්ථාවාදී දේශපාලකයන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මැතිවරණ කල් දැමීමෙන් මේ අයට ජනතාවගේ සහය ගන්න පුළුවන් වෙයි කියලා හිතනවාද?

ඒකාබද්ධයට නායකත්වය සෑම අවස්ථාවකම ගන්නේ මෝඩ දේශපාලන තීන්දු තීරණ. ඔවුන් මේ මොහොතේ මැතිවරණය මඟ නොහැර සිටියා නම් පළාත් සභා කිහිපයක හෝ බලය අල්ලා ගැනීමේ හැකියාවක් තිබුණා. එහෙත් ඔවුන්ගේ අභ්‍යන්තර ගැටුම සමථයකට පත්වන තුරු කල්මැරීම සීමානිර්ණයට පිටුපෑමෙන් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ දේශපාලන බල අරගලය නිසා මේ රටේ සියලු පුරවැසියන්ට අසාධාරණයක් සිදු වී ඇති බව පේනවා.

ජනතාව වෙනුවෙන් නියෝජිතයන් පත්කරගැනීමට සැකසුණ වාර්තාව පසෙක තබා දේශපාලනඥයන් ඔවුන් ඔවුන්ගේ දේශපාලන බල අරගලය මෙහෙයවීමක් කරන බව පේනවා. ඒ අයට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වැඩක් නෑ. ඔවුන් දේශපාලනයේ නියැලිලා ඉන්නේ, ධනවත් වීමේ අරමුණින්. ඒ නිසා ජනතාවට අවශ්‍ය කිසිවක් ඔවුන්ගෙන් ඉටුවෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ.

පාලකයන් ජනතාව ගැන සිතන්නේ නෑ කියන එකද මෙතැනින් පෙන්නුම් කෙරෙන්නේ?

මහජන මුදල් වැය කරලා සීමානිර්ණ කමිටු වාර්තාව හදලා තියෙන්නේ ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම්වලට අනුව. ඒ ජනතා අපේක්ෂාවලට වත්මන් දේශපාලනයේ ඉඩක් තියෙනවද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කමිටු වාර්තාවට එරෙහිවීමෙන් පෙන්නුම් කරන්නේ මේ රටට, මහජනතාවට අවශ්‍ය දේ පාලකයන් අතින් ඉටු නොවන බවයි. ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ගේ පැවැත්මට කියලා ඉතා පැහැදිලියි.

දුමින්ද අලුත්ගෙදර

*********

 ඡන්ද ක්‍රමයේ වරදට සීමා නිර්ණය බිලි වුණා

* රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ආචාර්ය ඉන්දි අකුරුගොඩ

 සීමා නිර්ණය වැදගත් මාතෘකාවක් වී තිබෙන්නේ ඇයි?

සීමා නිර්ණය කියන දේ අලුත් දෙයක් නෙවෙයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල ජනතාවගේ ඡන්දය භාවිතා කිරීමට ජනගහනය සහ භූමිය පදනම් කර ගෙන සීමා නිර්ණය සිදු වෙනවා. ඒ වගේම සීමා නිර්ණයේ දී ජනවාර්ගික, කාලගුණික වගේම දිළිඳු බව සහ නාගරික ප්‍රාදේශික ආදි නිර්ණායකත් අදාළ කර ගනු ලබනවා. මේ කරුණු ඡන්ද කොට්ඨාසයක් තීරණය කිරීමේ දී අවධානයට ලක්වෙනවා.

මේ වෙනුවෙන් පත්කළ කමිටුවේ අසමතුලිතතාවයක් දකින්න ලැබෙනවා ද?

සීමා නිර්ණ කමිටුවට පස් දෙනෙක් පත්කළා වගේම ජන වාර්ගික වශයෙන් ලංකාවේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් තුනම නියෝජනය වන ආකාරයෙන් එම පත්වීම් සිදු කළා. කමිටු සභාපතිවරයා ලෙස ද්‍රවිඩ ජාතිකයෙක් පත් කළ අතර මෙහි මුස්ලිම් මහාචාර්යවරයෙක් ආදි වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ග තුනම මේ කමිටුවේ නියෝජනය වුණා.

යම් ජන වර්ගයකට මෙයින් අසාධාරණයක් සිදු වී තිබෙනවාද?

2017 අංක 17 කියන පනත යටතේ පළාත් සභා සඳහා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. එය ජර්මනියේ ක්‍රියාත්මක වන ආකාරයේ හයිබ්‍රිඩ් ක්‍රමයක්.

ඡන්ද කොට්ඨාස 222 ජන වාර්ගික පදනම යටතේ බෙදී ගිහින් තිබෙනවා, ද්‍රවිඩ, මුස්ලිම්, ඉන්දීය දෙමළ යන කණ්ඩායම් අතරේ. ඒ අනුව බලනවා නම් මේ 222න් 78%ක් සිංහල ජනතාව නියෝජනය කිරීම සඳහා තමයි තිබෙන්නේ. කමිටු සභාපතිවරයාම පැහැදිලි කරන ආකාරයට පාර්ලිමේන්තුව මීට විරුද්ධ වුණේ ඇයි කියන එක ගැටලුවක්. කමිටුව පවසන්නේ ඔවුන්ට අනුව මෙය අතිශයින්ම නිවැරදි බවයි.

සීමා නිර්ණය පිළිබඳ පවතින අනවබෝධය කුමක් ද?

දේශපාලනඥයින් දිගින් දිගටම කියන්නේ මෙහි බරපතළ වැරදි තිබෙනවා කියලයි. නමුත් ප්‍රාදේශීය ආණ්ඩු පත් කරගැනීමේ පළාත් පාලන මැතිවරණ මීට පෙර තිබුණා. එතනදි 60%ක් සරළ බහුතර ක්‍රමය යටතේත් 40%ක් සමානුපාතික ක්‍රමය යටතේත් නියෝජිතයන් තෝරාගත්තා.

මෙතනදි සීමා නිර්ණයක් සිදු වුණා. කිසි කෙනෙක් බලාපොරොත්තු නොවූ විදියට පොහොට්ටු පක්ෂයට විශාල වරමක් ලැබුණා. මෙය ආණ්ඩුවවත් ශ්‍රීලනිපය වත් බලාපොරොත්තු වූ දෙයක් නෙවෙයි.

බොහෝ දෙනා, විශේෂයෙන් දේශපාලනඥයින් බලන්නේ සීමා නිර්ණය කියන දේ මැතිවරණ ක්‍රමයත් සමග සම්බන්ධ කරලයි. නමුත් මේ එකක් නොවෙයි.

2017 අංක 17 පළාත් සභා සංශෝධන පනතත් එක්ක මැතිවරණ ක්‍රමය වෙනස් කර ගත්තා. සීමා නිර්ණය කියන එකයි මැතිවරණ ක්‍රමය කියන එකයි දෙකක් කියන එක පිළිනොගෙන ඔවුන් සීමා නිර්ණයේ වැරැද්දෙන් තමයි ඔවුන්ට අඩු ජන නියෝජනයක් ලැබෙන්නේ කියන එක කියන්න හදනවා .

මෙතනදි මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා මිස සීමා නිර්ණයට දොස් කියලා වැඩක් නෑ. නැවතත් කියනවා නම් මැතිවරණ ක්‍රමයේ අඩුපාඩුවකට සීමා නිර්ණ‍යට ඇඟිල්ල දිගු කරලා හරියන්නේ නෑ.

සීමා නිර්ණය පක්ෂග්‍රාහි බවට එල්ල වන චෝදනාව පිළිබඳව ඔබේ අදහස කුමක් ද?

සීමා නිර්ණයේ දී ද්‍රවිඩ ජනතවාට, මුස්ලිම් ජනතාවට විශේෂත්වයක් කළා කියන අන්තවාදී කණ්ඩායම් ඉන්නවා. නමුත් සීමා නිර්ණ කමිටුවේ සිටින මුස්ලිම් මහාචාර්යවරයා පවසන්නේ සුළු ජන වර්ගය නියෝජනය කිරීම සම්බන්ධයෙන් සමහර පළාත් සභාවලට කිසිම ඡන්ද කොට්ඨාසයක් නැති වුවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු තීරණයක් නොගත් බව. පාර්ලිමේන්තුවට ඒ තීරණය ගන්න ඉඩ තැබූ බව ඔහු සඳහන් කර තිබෙනවා.

එයින්ම පෙනෙනවා අනෙක් අය කියන පරිදි මේ කමිටුව කිසිදු බලපෑමක් කර නැති බව වැටහෙනවා. ඒවගේම තමයි දේශපාලන පක්ෂ සම්බන්ධයෙනුත්, ඔවුන් ගේ කිසිම පක්ෂග්‍රාහි බවක් නැති බව පැහැදිලියි.

සීමා නිර්ණය ගැටලුවක් කර ගෙන මැතිවරණ කල් යාමේ ප්‍රතිඵල කුමක් වේද?

පළාත් සභා 09න් පළාත් සභා 05ක කාලය ඉකුත් වී තිබෙනවා. තවත් 04ක කාලය ලබන මාසයේ දී ඉකුත් වීමට නියමිතයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව ප්‍රාදේශීය ආණ්ඩු තිබෙන්නේ පළාත් සභා යටතේ. දැන් සිදු වෙමින් පවතින්නේ පළාත් සභා යටතේ පළාත් පාලන ආයතන පැවතීමත් සමග, පළාත් සභා නැති තත්ත්වය ඇතුළේ ප්‍රදේශීය ආණ්ඩුවලට මධ්‍යම ආණ්ඩු යටතේ කටයුතු කරන්න සිදු වෙනවා.

එවිට බලය විමධ්‍යගත කිරීම කියන කාරණය අර්ථ විරහිත දෙයක්. දැනට විමධ්‍යගතකරණය සම්බන්ධයෙන් තිබෙන එකම ආයතනික ව්‍යුහය තමයි පළාත් සභා . මෙය අඩපණ වීම තුළ පළාත් පාලන ආයතනවලට සිදු වන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ වැඩ කරන්න. මෙතනදි විමධ්‍යගතකරණ උත්සාහයන් අසාර්ථක ‍වී නැවතත් මධ්‍යගත වීම ශක්තිමත්.

ක්‍රිසන්ති විතාරණ

*********

කමිටුව ඒ ගැන තීරණයක් ගනියි

* නීතිඥ ලසන්ත මනෝජ් නානායක්කාර

 රජය ගෙන ආ සීමානීර්ණ කමිටු වාර්තාව ඒ අය විසින්ම පරාජයට පත් කරනවා. මෙය බරපතළ තත්ත්වයක් නෙවෙයිද?

ඇත්තටම මෙය බරපතළ තත්ත්වයක්. ආණ්ඩුව විසින් සීමා නිර්ණය හදන්න කොමිසම් පත් කළා. කොමිසම වාර්තාව හැදුවම එය ඉදිරිපත් කළ ඇමැතිවරයත් ඊට විරුද්ධ වෙනවා. තමන් ගෙන ආ වාර්තාවට ඇමැතිවරයාම විරුද්ධ වීම ඉතිහාසයේ පළමු වතාවටයි අපි දැක්කේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් විරුද්ධවීම සහ ජනතා විමුක්ති පෙරමුණ පවා ඡන්දය නොදී සිටීම යන කාරණා ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි.

ඊළඟ කාරණය තමයි ඇයි මෙහෙම විරුද්ධ වුණේ කියන එක. මේ සඳහා පත් කළේ ස්වාධීන කොමිසම් සභාවක්. ස්වාධීන කොමිසම් සභා හොඳයි. නමුත් මේ පිරිස තමන්ටවත් ඇහුම්කම් දුන්නේ නැහැ කියලා විෂය භාර ඇමැතිවරයාම කියනවා. ඒකෙන් පේනවා කොතන හරි වැරැද්දක් වෙලා තිබෙනවා කියලා.මෙවැනි වාර්තා හදද්දි ජන ගනත්වය, ජනවාර්ගිකත්වය ගැන හොඳට සැළකිල්ලට යුතුයි. එහෙම නොවුණොත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ.

මෙය ඡන්ද කල්දාන්න රජය යෙදූ උපක්‍රමයක් කියන චෝදනාව එල්ල වෙනවා?

බැලූ බැල්මට එවැනි දෙයක් හිතෙන එක සාධාරණයි. නමුත් පළාත් සභා ඡන්ද තියන්න ඕනේ නම් අලුත් ක්‍රමයම අවශ්‍ය නැහැ. ඕනකමක් තියේනම් සියලුදෙනාටම එකතු වෙලා පරණ ක්‍රමයට හරි මෙය තියන්න පුළුවන්. මෙය වරද්ද ගන්නේ දේශපාලන කෝණයෙන් බලන්න ගියාම ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දය කල් දාන්න ගියොත් එයින් සිදුවෙන්නේ පවතින ආණ්ඩුව පිරිහෙන එක විතරයි.

වාර්තාව හදන්න යොදවපු මුදල්වල බරත් අවසානේ මහජනතාවගේ කරමතට නේද?

එවැන්නක් සිදුවෙන්නේ මේ වාර්තාව පැත්තකට දානව නම් නේ. එහෙම වෙන්නේ නැහැ කතානායකවරයා ඔහුගේ බලතල අනුව අගමැතිවරයගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කළා. ඒ කමිටුව මේ වාර්තාව විසි කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ මෙහි ඇති අඩුපාඩු බලලා සංශෝධන එකතු කරලා නැවත ඉදිරිපත් කිරීමයි. එම නිසා මුදල් අපරාධයක් වෙන්නේ නැහැ.

මේ හේතු නිසා ඡන්දය කල් දැමීමක් සිදු වුණොත් එය රටට බලපාන්නේ කොහොමද?

මේ රජය ඡන්ද තියන්නේ නැහැ කියනවා. පසුගිය රජය ඡන්ද තිබ්බා කියනවා. හැබැයි ඔවුන් ඡන්ද තිබ්බේ කෑල්ලෙන් කෑල්ල. එහි ප්‍රතිඵල අපි වයඹින් දැක්කා. මගේ අදහස නම් පළාත් සභා මැතිවරණ එක විට තිබිය යුතුයි. එහෙම නැති වුණාම තමයි ප්‍රශ්න එන්නෙ. මෙහෙම ඡන්ද නොතිය ගියොත් වෙන්නේ රට දවසින් දවස විනාශයට යෑමයි. මේ රජය කළ යුත්තේ මැතිවරණ කල් දාන එක නෙවෙයි. තමන් රටට ජනතාවට සංවර්ධන වැඩ කරලා නියමිත වෙලාවට මැතිවරණයට යෑම.

 

නුවන් කොඩිකාර

********

වාර්තාව වැරදි නෑ මම අභියෝග කරනවා

 *කැ‍ෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්

 රජය විසින් ගෙන ආ සීමානිර්ණ කමිටු වාර්තාව තුනෙන් දෙකකින් පරාජයට වුණා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

මේ වෙන කොට සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ මැතිවරණ පරණ ක්‍රමය යටතේ තියන්න බැරි නම් අලුත් ක්‍රමය යටතේ තියන්න ඕන නිසා තමයි මෙම වාර්තාව සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එහෙම ඉදිරිපත් කළ වාර්තාව ආණ්ඩුව විසින්ම පරාජය කළා. මින් පේන එකම දේ මේ ආණ්ඩුවට ඡන්ද තියන්න කිසිම වුවමනාවක් නැහැ කියන එකයි. ඒ නිසා තමයි ඔවුන් විසින් ම ගෙන ආ වාර්තාව ඔවුන් විසින් ම පරාජයට පත් කළේ.

ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂයටත් මැතිවරණයේ අවශ්‍යතාවක් නැහැ. මොකද ඔවුන්ටත් අවශ්‍ය මෙය පුළුවන් තරම් කල් යන එක. හේතුව ඕනෑම රජයක් දවසින් දවස අපකීර්තියට පත් වෙනවා. ඒකෙන් වාසි ලබාගන්න තමයි විපක්ෂය පවා බලාගෙන ඉන්නේ. බොරුවට මිනිස්සුන්ට පේන්න කෑ ගැහුවට ඇත්ත කතාව තමයි ඒ අයටත් මැතිවරණවල අවශ්‍යතාවක් නැහැ.

වැරදි අඩුපාඩු නැත්නම් වාර්තාව පරාජය වෙන්නේ නැහැ නේද?

මම අභියෝග කරනවා මෙහි තියෙන වැරැද්දක් අඩු පාඩුවක් පෙන්වන්න කියලා. අහවල් පිටුවේ අහවල් වැරැද්ද තියෙනවා කියල පෙන්වන්න කියලා. අපි මුල ඉදලා මේ දේ එක්ක හිටපු නිසා දන්නවා. ප්‍රශස්ත මට්ටමේ වාර්තාවක් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. මෙහි කිසිම වැරැද්දක් නැහැ. හැම තැනම ගිහින් අවශ්‍ය තොරතුරු අරගෙන සියලුදෙනාටම සාධාරණයක් ඉටුවෙන විදියටයි මෙය සකස් කරල තිබෙන්නේ. මෙය වැරදි කියලා කියන කිසිම දේශපාලනඥයෙක් කොතැනද වැරැද්ද කියලා කියන්නේ නැහැ. ඉන් පේනවා මෙතන තිබෙන්නේ දේශපාලන අරමුණු විතරයි කියලා. ඒ එකම අරමුණ පුළුවන් තරම් ඡන්දය කල්දා ගැනීම.

තව දුරටත් මේ වාර්තා කල් ගියොත් මොකද කරන්නේ ?

ඔබ මගෙන් අහන්නේ තව දුරටත් ඡන්දය නොතිබ්බොත් කියන කාරණය. එහෙම වුණොත් මහජනතාව පාරට බහින එක වලක්වන්න බැහැ. එය ලෝකය දිහා බැලුවම දකින්න පුළුවන්. අද විපක්ෂය මහජනතාව පාරට ගේන්නේ ඇයි. ඒ කාරණය හොඳට බලන්න. වේලාවට ආණ්ඩුව ඡන්දය තියනව නම් විපක්ෂයට සටන් පාඨත් නැහැ, මෙහෙම පාරට බස්වන්න වෙන්නෙත් නැහැ. අනිත් කාරණය තමයි මේ තත්ත්වය ඉදිරියට යන්න යන්න අපේ රට විනාශ වෙන එක වලක්වන්න බැහැ. මේ ඇති වෙමින් තිබෙන තත්ත්වයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි.

නුවන්


නව අදහස දක්වන්න

Or log in with...