විජේවීර සාකච්ඡාවට පස්ස ගැසූ හැටි | දිනමිණ

විජේවීර සාකච්ඡාවට පස්ස ගැසූ හැටි

ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සර්ව පාක්ෂික සමුළුවට තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගැනීමට එවකටත් එහි ලේකම්වරයා වූ අත්අඩංගුවේ සිටි ලයනල් බෝපගේට වුවමනා විය.

“මම පක්ෂයට පණිවුඩය යැව්වේ රජය ගෙනෙයන බොරුව පැහැදිලි කරලා පක්ෂයේ තහනම ඉවත් කරගන්නට අවශ්‍ය ජාතික සහ ජාත්‍යන්තර පදනම ගොඩනඟා ගන්න මේ සර්ව පාක්ෂික සමුළුව යොදාගන්න කියලා. මේ වගේ අවස්ථාවක රෝහණ සහෝදරයාගේ මානසික තත්ත්වය ගැන මට හැඟීමක් තිබුණ නිසා රෝහණ සහෝදරයා හරි, ඔහු එන්නට අකැමැති නම් ගමනායක සහෝදරයාගේ නායකත්වයෙන් පිරිසක් නීතිඥ කණ්ඩායමක් සමඟ එළියට එන්න කියලා මම යෝජනා කළා. එහෙම එළියට ඇවිත් ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක් තියල අපි සර්ව පාක්‍ෂික සාකච්ඡාවට සහභාගි වෙලා උතුරේ ප්‍රශ්නය, ජාතික ගැට‍ලුව විසඳන්න කළ යුතු දේවල් සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙනවා කියන්න කියලා.

“කොහොම වුණත් 1983 ජූලි කෝලාහල දවස්වල රජය ඉල්ලා තිබුණට යුද ආධාර එවන්න බටහිර රටවල් එතරම් උනන්දුවක් දක්වලා තිබුණේ නැහැ. මට මතක අන්දමට තිබුණා බටහිර රටවල් යුද ආධාර එවන්න කටයුතු කළොත් ලංකාවෙ අර්බුදයට යුදමය වශයෙන් මැදිහත් වෙන්න ඉන්දියාවට සිදුවෙන බව ඉන්දියාව අනියමින් දක්වලා. ඒ කාලේ ඉන්දියාව සෝවියට් දේශයත් ඒ කඳවුරත් සමඟ ඉතාමත් සමීප සම්බන්ධතාවයක් තිබුණා. 1984 මම නිදහස් වෙලා පක්ෂයෙනුත් අස් වුණාට පස්සේ මේ සර්ව පාක්‍ෂික සාකච්ඡා වට කිහිපයක් තිබ්බා. නමුත් ජේ. ආර්. ජයවර්ධන මහතාටවත් එක්සත් ජාතික පක්ෂයේ රජයටවත් මෙම සාකච්ඡා නිර්මාණාත්මක ලෙසින් ඉදිරියට ගෙනියන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා වට කිහිපයකින් සාකච්ඡා බිඳ වැටුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වශයෙන් උපක්‍රමිකව යොදා ගන්නට තිබුණ ඉතිහාසයේ මහඟු අවස්ථාවක් මඟ හරව ගත්තා‍.

“රජය අපව රඳවා ගෙන සිටියේ හදිසි නීති රෙගුලාසිවල 4 වන කොටසෙ 18(1) යට‍තේ. අවුරුද්දක් දක්වා කාලයක් එහෙම රඳවා ගන්න පුළුවන්. නමුත් අපව රඳවා තබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ (මුලින් සී. ඒ. ධර්මපාල මහතා, පසුව සේපාල ආටිගල මහතා) විසින් අත්සන් කොට දෙන ලද නියෝගයක් මාසයෙන් මාසයට අපට ලබා දිය යුතුව තිබුණා. මට මතක අන්දමට මුල් මාස දෙකේ පමණ එසේ කළත් පසුව මෙය අපට ලබා දුන්නේ නැහැ. ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා, මේකට විරෝධය දක්වලා අපිව රදවා සිටි කුටිවලින් පිටවෙලා ගොඩනැඟිල්ලෙන් එළියට ඇවිද ගෙන යන්න යෝජනා කළා. අපි සාකච්ඡා කළා. වැඩි දෙනෙක් යෝජනාවට එකඟ වුණා. සමහරෙක් කිව්වා අප පැනලා ගියා කියලා මරල දාන්න පුළුවන් කියලා. ඔවුන්ට අවශ්‍ය නම් අපි ඇතුළේ හිටියත් මරල දාන්න පුළුවන්. අපි අවදානම අරගෙන විරෝධය පෑ යුතුයි කියලා අපි කිව්වා.

“ඒ අනුව එක දවසක් උදේ සහකාර පොලිස් අධිකාරී පුණ්‍යා ද සිල්වා මහතා පළමුවැනි තට්ටුවට ඇවිත් ඉන්න කොට ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාත් මමත් ගිහින්, අපව රඳවා ගෙන ඉන්න බවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අත්සන් කරපු නියෝගයක් අපට දීල නැහැ, ඒ නිසා අපව රඳවා ගෙන ඉන්නට ඔබලාට අයිතියක් නැහැ කියල කිව්වා. අපි අනෙක් අයත් එකතු කරගෙන රඳවා ගෙන හිටපු කොටසේ දොරටුවෙන් පිටත් වෙලා කොරිඩෝවට ඇවිද ගෙන ගියා. අප බිම් මාලයට බහින තරප්පු පෙළ ළඟට එන කොට උප පොලිස් පරීක්ෂක චන්ද්‍රා වාකිෂ්ට මහතා උඩ තට්ටුවක ඉඳල සෝපානයෙන් ඇවිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මුද්‍රාව ගහපු කොළ අපට පෙන්නලා ‘අපි ඔබලා තබා ගෙන ඉන්නේ නීත්‍යානුකූලව. ඒ නිසා පිටවෙලා ගියොත් බලය පාවිච්චි කරන්න වෙනවා.’ කියලා කිව්වා. අපිට නැවත ආපසු එන්නට සිදු වුණා.”

බෝපගේ රඳවා ගෙන සිටි කාලයේ දී ම වාස් තිලකරත්න සහ අම්පාරේ පීරිස් අත්අඩංගුවට ගෙන හතරවන තට්ටුවට ගෙනැවිත් තිබේ. ඒ කාලය අවසානයේ පමණ හතරවන තට්ටුවේ දී ඔහු අහම්බෙන් දුටු තවත් කෙනකු වූයේ වෛද්‍ය චන්ද්‍රා ප්‍රනාන්දු ය. ජනතා විමුක්ති පෙරමුණට සහාය වුණු කලාකරුවන් ගැන හතරවන තට්ටුවේ දී සාකච්ඡා කිරීම ආරම්භ කරන්නට ඇත්තේ වාස් තිලකරත්න සහ අම්පාරේ පීරිස් විසින් යැයි බෝපගේ කල්පනා කරයි. ඔවුන් අත්අඩංගුවේ පසුවන බව සහ ඔවුන් පැවසූ ඇතැම් කරුණු බෝපගේට දැන ගන්නට ලැබෙන්නේ ද නිලධාරීන් සමඟ කතා බහ කරන විට දී ය.

එක් දිනක් බෝපගේ නාන කාමරයට ගෙන යන විට වාස් ද එම නාන කාමරයටම ගෙනැවිත් සිටියේය. නාන කාමරයට යන විට රහස් පොලිස් නිලධාරීන් ඔවුන් සමඟ ගියත් ඔව්හු නාන කාමරය තුළට නොඑති. වාස් තිලකරත්න පක්ෂයෙන් ඉවත් කිරීමේ තීරණයට බෝපගේ මැදහත් වූවද ඔවුන් කිසිවකු සමඟ බෝපගේ තරහකින් සිටියේ නැත. ඒ නිසාම බෝපගේ වාස් සමඟ නාන කාමරය තුළ දී ම කතා බහ කරන්නට පටන් ගත්තේය.එහි දී බෝපගේ, අනවශ්‍ය දේවල් ගැන කතාබහ කිරීමෙන් ඔවුන්ටත් වාස්ටත් වාසියක් නොවන බවත් එවැනි දේවල් ගැන කතාබහ කිරීමෙන් වැළකෙන ලෙසත් වාස්ට පැවසීය. ඔහු ඊට සවන් දුන් බව බෝපගේට පෙනුණේය.

“අපට එරෙහිව චෝදනාවක් නඟන්නට තරම් කිසිදු කාරණයක් තිබුණේ නැහැ. රහස් පොලිසිය ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ඒ මඟින් ඉහළ දේශපාලන අධිකාරයට දන්වා තිබුණා. ඒත්, අපව නිදහස් කෙරුණේ නැහැ. අප පිළිබඳ ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිබුණත් ඉහළ දේශපාලන අධිකාරයේ තීරණ වෙනස් කරන්න ඒ අයට බැහැ. ඒ අනුව චිත්‍රා සහෝදරිය ඒ කාලේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාව සිටි නිමල් සේනානායක මහතාගේ මැදිහත් වීමෙන් නීතිඥ සාලිය මැතිව් මහතා මඟින් 1983 ඔක්තෝබර් 6 වන දා ශ්‍රී ලංකා අභියාචනාධිකරණය වෙත හබයස් කොර්පස් අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කළා. ඒ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් සේපාල ආටිගල, පොලිස්පති රුද්‍රා රාජසිංහම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමරසේන රාජපක්ෂ යන මහත්වරුත් මාත් දක්වා තිබුණා.

අභියාචනාධිකරණය 1983 ඔක්තෝබර් 28 වන දා ඒ අයැදුම් පත්‍රය විභාගයට ගන්නා බවට 1983 ඔක්තෝබර් 17 වන දා නොතීසි නිකුත් කරනවා. මේ හේතුව නිසා එතෙක් කල් ලැබුණ සාමාන්‍ය විනාඩි පහ වෙනුවට පැය බාගයක් චිත්‍රා සමඟ කතා කරන්න මට ඉඩ ලැබෙනවා.

“1983 නොවැම්බර් 11 වන දා ඔවුන්ගේ පරීක්ෂණවලින් 1983 ජූලි 24 කෝලාහලවලට ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සම්බන්ධයක් නැති බව නිගමනය කර තිබෙනවා.ඒ නිසාම බොහෝ විට අපිව වෙනත් බන්ධනාගාරවලට ගෙන යන්නට පුළුවන් කියලා මට රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා ලියා දැන්වුවා.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 52 දෙදෙනෙක් ඒ වෙනකොටත් ඝාතනය කොට තිබෙනවා. එවැනි අනතුරකට අපේ ජීවිත පාත්‍ර වෙන අන්දමට වෙනත් බන්ධනාගාරවලට අප ගෙන යෑමට දරන උත්සාහයක් වේ නම් එය වළක්වාලන ලෙසට 1983 නොවැම්බර් 14 වන දා මම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වෙත ලිපියක් ලිව්වා. සති 14 ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණවලින් 1983 ජූලි කෝලාහලවලට ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සම්බන්ධයක් නැති බව ඔප්පු වී තිබෙනවා, ඒ නිසා ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ සියලු දෙනා නිදහස් කරන්නටත් ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කරන්නටත් වහාම පියවර ගන්නා ලෙසත් ඒකේ මම දන්වා සිටියා .

“මේ වෙන කොට දේව බණ්ඩාර සේනාරත්නත් ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාත් නිදහස් කළා. මේ කාලෙ වෙන කොට ජනතා විමුක්ති පෙරමුණේ කිසිම කෙනෙක් රජයේ ක්‍රියාවක් නිසා ඝාතනයට පත් වෙලා තිබුණේ නැහැ. මේ නිසා ජීවිත හානියක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ අපිට ඒ දවස්වල තර්ජනයක් තිබුණු බව මම අදත් විශ්වාස කරන්නේ නැහැ.”

සිසිර යාපා

හෙට - රොහාන්ට ඇවිල්ලා

කටඋත්තර දීලා යන්න කියන්න..


නව අදහස දක්වන්න

Or log in with...