කොළඹ - සන්නිය | දිනමිණ

කොළඹ - සන්නිය

මේ වනවිට කොළඹ ඉතා සන්සුන් ය. පරහකට ඇත්තේ නගරය පුරා විශාල කුණු කන්දක් ගොඩ ගැසී තිබීම පමණි. කුණු කන්ද ඉවත් කිරීම සඳහා කොළඹ නගර සභාවට සැලකිය යුතු පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත. කම්කරුවන් පරුස වචන භාවිත කරමින් කුණු කන්ද ඉවත් කරනු ඇත. කොළඹ වැටලීම හෙවත් ජනබලය පෙන්වීම අවසන් වී ඇත්තේ එලෙස ය. නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත යන කියමන සිහියට නැ‍ඟෙයි. ඒකාබද්ධ විපක්ෂය මේ විරෝධතාව සංවිධාන කර තිබුණේ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ය. එහෙත් ආණ්ඩුව ගෙදර යනු වෙනුවට තවදුරටත් ශක්තිමත් වුණේ ය.

කොළඹ සන්නියේ හරස්කඩක් ගතහොත්; එය මෙසේ ය. සියලුම බාර්වල ඇඟිල්ලක් ගසන්නට ඉඩක් නැත. සුපුරුදු බේබද්දන් අන්තිම අමාරුවේ ය. කඩලකාරයන් සිය බේසම බේරාගත්තේ ද ඉතා අපහසුවෙන් ය. පෙට්ටිකඩ, කෑම කරත්ත, අන්නාසි බේසම් යන සියල්ල අවසන් ය. පුංචි වෙළෙන්දන්ගේ හොද්ද බොර වුණේය. මේ අතර කොළඹ කුලී රථකරුවෝ ඒකාබද්ධ විපක්ෂයටත්, මහින්ද රාජපක්ෂ මහතාටත් කුණුහරුපයෙන් බණින්නට පටන් ගත්හ. ඔවුන්ගේ තර්කය වූයේ කොළඹට සෙනඟ ගෙන්වා නගරයේ ගමනාගමනය අඩාල කළ බව ය. මෙයින් ඔවුන්ගේ රැකියාව කරගත නොහැකි විය.

මහින්ද රාජපක්ෂ මහතා ජනප්‍රිය නායකයෙකි. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැත. එහෙත් ඔහු බුද්ධිමත් නායකයෙක් නොවේ. ඔහු ජනප්‍රිය නායකයකු බවට පත් වූයේ යුද්ධය ජයගත් නිසා මිස ශූර පාලකයකු නිසා නොවන බව පැහැදිලි ය. පෙරේදා පැවැති කොළඹ වටලෑම හෙවත් ජනබල මෙහෙයුමෙන් ද ප්‍රකට වන්නේ නායකයාගේ මෝඩකම් ය. කොළඹට විශාල සෙනඟක් රැස්වූහ. ඔව්හු කා - බී - නටා - ගයා විසිර ගියහ. මෙහි කිසිඳු දේශපාලන අර්ථයක් නැත. අවසන් ලෙස මහින්ද මහතා කියා සිටියේ මෙය ආණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩිමුරය බවය. එතුමා වෙඩිමුර කීයක් පත්තුකළා ද? කනගාටුව ඒ හැම එකක් ම පුස් වෙඩිලි බවට පත්වී තිබීම ය.

ආණ්ඩුවත්, පොලිසියත් මේ උද්ඝෝෂණය හමුවේ ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ බව පෙනෙයි. ආණ්ඩුව මේ උද්ඝෝෂණයට ඉඩ ලබාදෙමින් කරබාගෙන සිටියේ ය. අන්තිමට ඒකාබද්ධ විපක්ෂය හිස් අතින් ගෙදර ගියේ ය. පොලිසිය අවශ්‍ය බලය පාවිච්චි කරන්නේ යැයි කියූව ද, කිසිදු කැරලිකරුවකුට පහර දුන්නේ නැත. පෙළපාලි හසුරවන්නට ගියේ නැත. ජල ප්‍රහාර එල්ල කළේ නැත. එකම වෙඩිල්ලක්වත් පත්තු කළේ ද නැත. කොළඹ රෝහල පමණක් නොව; රාගම රෝහලත් සූදානම් කර තබන්නැ’යි ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ ය. රෝහල් සූදානමින් සිටිය ද තුවාලකරුවන් පැමිණියේ නැත. සිදුවූයේ ගම්මන්පිල මහතා පචවීම පමණි.

පෙරේදා පැවැති උද්ඝෝෂණය පසුපස ඇත්තේ රාජපක්ෂ පවුල රජකරවීමේ ප්‍රයත්නය බව ඉතා පැහැදිලි ය. ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ද දේශපාලන ව්‍යාපාරයේ ස්වාධීනත්වය පාවා දෙමින් ද මේ කටයුත්ත ඉදිරියට යන බවක් පෙනෙයි. රාජපක්ෂ පවුල රටට සිදු කළ එකම යහපත යුද්ධය නිමා කිරීම පමණි. එහෙත් එහි ගෞරවය කෙළෙසා දමන තරමේ බරක් ඔවුන්ගේ අවිධිමත් පාලනයට තිබේ. රාජපක්ෂ පාලන සමය ඉතිහාස‍යට එකතුවී ඇත්තේ තවත් ආඥාදායක යුගයක් හැටියට ය. එම කාලය තුළ ස්වල්ප දෙනෙක් ජයට ජීවත් වූහ. ඔව්හු සිත්සේ රටේ සම්පත් සූරාකෑහ. දැන් යළිත් ඉල්ලා සිටින්නේ එබඳු කාලයක් ලබාදෙනු යන්න ය. එහෙත් මෙය රටේ බහුතරයකගේ ඉල්ලීම නොවේ.

රාජපක්ෂවරුන් මේ රට සම්බන්ධයෙන් දක්වන විශේෂ දර්ශනය කුමක් ද? එහෙම දෙයක් නැත. රාජපක්ෂවරුන්ගේ විශේෂ ආර්ථික වැඩපිළිවෙළ කුමක් ද? එහෙම දෙයක් නැත. රාජපක්ෂවරුන් රට ගැන හා ලෝකය ගැන සිදු කර ඇති හැදෑරීම කුමක් ද? එහෙම දෙයක් ද නැත. එහෙත් ඔවුන් යුද ජයග්‍රහණය විකුණාගෙන කෑමට දනී. ජාතිවාදය විකුණගෙන කෑමට දනී. ආගම්වාදය විකුණාගෙන කෑමට දනී. රාජපක්ෂ පවුල වටා මෝඩ ජනතාවක් එක්රැස්වන්නේ ජාතිය හා ආගම පදනම් කරගෙන ය. එය තනිකර මුළාවකි. රටේ බුද්ධිමතුන් රාජපක්ෂ වැඩපිළිවෙළ අනුමත කරන්නේ නැත. ජාත්‍යන්තරය එම වැඩපිළිවෙළ අනුමත කරන්නේ ද නැත. ඉතින් ඒකාබද්ධය ආණ්ඩු පෙරළන්නේ කෙසේ ද?

ආණ්ඩුවක් පෙරළා බලහත්කාරයෙන් බලය ගැනීමට එන කෙනකුට වුව රට ඉදිරියට ගෙන යා හැකි විශේෂ ආර්ථික දැක්මක් තිබිය යුතු ය. ජනතාවට පිළිගත හැකි දේශපාලන ව්‍යාපාරයක් බිහිවිය යුත්තේ ඒ මතය. වර්තමානයේ මතු නොව; රාජපක්ෂ පාලන සමයේ පවා එබඳු ආර්ථික දැක්මක් පැවැතියේ නැත. ශ්‍රී ලංකාව ලෝකයට අධික ලෙස ණය වූයේ ඒ නිසා ය. රාජ්‍ය ආයතන කඩා වැටුණේ ඒ නිසා ය. දූෂණ - වංචා හා අක්‍රමිකතා ඉහළ ගියේ ද ඒ නිසා ය. අන්තිමේ නියමිත කාලයටත් කලින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවූයේ ද ඒ නිසා ය. කිසිවකු රාජපක්ෂවරයකු රටේ නායකයා කිරීමට උත්සාහ දරත් ද? එයින් සිදුවන්නේ රෑ වැටුණු වළෙහි දවල්ට ද වැටෙන්නට වීම ය. එය වටහාගත යුත්තේ ද ජනතාවම ය.

පෙරේ දා කොළඹට රැස්වූ ජනතාව ද විශාල හිරිහැරයකට ලක් වූ ආකාරයක් දක්නට ලැබිණි. ඔවුන් යන තැනක් දන්නේ නැත. එන තැනක් දන්නේ නැත. රැස්වන ස්ථානයක් කිසිවකු දන්නේ නැත. බොහෝ දෙනා ආතක් - පාතක් නැතිව අතරමංව සිටියහ. සමහරු හොඳට ම බීමත්ව පාරේ නිදාගත්හ. තව සමහරු පපරබෑන්ඩ් වාදනය කරමින් නැටූහ. තවත් සමහරු ප්‍රසිද්ධියේ මත්පැන් පානය කරමින් පරුසවචන කීහ. මෝඩයන්ගේ සැණකෙළියක් බවට කොළඹ නගරය පත් වී තිබිණි. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මෙය දැ’යි විමසිය යුතුව තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය මෙය දැ’යි විමසිය යුතුව තිබේ. ආණ්ඩුව නිහඬව සිටීමෙන් රාජපක්ෂ දේශපාලනයට යස පාඩමක් ඉගැන්වූයේ යැයි සිතන්නට පුළුවන. එහෙත් ඒකාබද්ධය එම පාඩම ඉගෙනගත්තේ දැ’යි සැකයකි.

පෙරේදා පැවැති ජනබලය අප හඳුන්වන්නේ කොළඹ සන්නිය ලෙස ය. සන්නිය යනු ලෙඩකි. නැතහොත් රෝගයකි. ඊට බෙහෙත් තිබේ.

නව අදහස දක්වන්න