ඉන්දියාවට එරෙහි තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය චමරිට | දිනමිණ

ඉන්දියාවට එරෙහි තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය චමරිට

ෆවුස් මොහොමඩ්

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිලේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලේ නායකත්වයට යළි චමරි අතපත්තු පත් කර ඇත. ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා පිලේ සුක්කානම යළි චමරි අතපත්තුට ලැබුණේ පසුගියදා නිමාවට පත්වූ ආසියානු කුසලාන තරගාවලියෙන් පසුවය. ඒ වනවිට ඩෙංගු රෝගයට ගොදුරුවී සිටි බැවින් එම තරගාවලිය චමරිට අහිමිවිය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම පිතිකාරිනිය වන චමරි අතපත්තුගේ නායකත්වයෙන් නම් කළ ශ්‍රි ලංකා කාන්තා පිලට 17 හැවිරිදි රත්ගම දේවපතිරාජ විදුහලේ තුන්ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරි ඇතුළත් වී සිටී. මීට අමතරව පිතිකාරිනි ඉමල්කා මෙන්ඩිස් වසර දෙකකට පසුව යළි කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු හර්ෂ ද සිල්වා යටතේ තරග බිමට එක්වන ශ්‍රී ලංකා පිල මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල එක්දින ශූරතාවලියේ අවසන් ස්ථානයේ පසුවන්නේ කිසිදු ජයග්‍රහණයකින් තොරවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින ශූරතාවලියට අයත් තරග 3ක් ඇතුළත් ශ්‍රී ලංකා - ඉන්දීය එක්දින තරගාවලිය මේ මස 11 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරැඹේ.

ශ්‍රී ලංකා කාන්තා එක්දින පිල මෙසේය.

චමරි අතපත්තු (නායිකා), ප්‍රසාදිනි වීරක්කොඩි, අනුෂ්කා සංජීවනි, නිපුනි හංසිකා, ඩිලානි මනෝදරා, හසිනි පෙරේරා, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, ඉමල්කා මෙන්ඩිස්, ශ්‍රීපාලී වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචනා, කවීෂා දිල්හාරි.

නව අදහස දක්වන්න