සෑම පක්ෂයකම සහාය 20 දිනවන්න ගන්නවා | දිනමිණ

සෑම පක්ෂයකම සහාය 20 දිනවන්න ගන්නවා

චමීර ඇල්ලදෙණිය

20වැනි සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා අරඹන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

එක පුද්ගලයෙක් සතු ඒකාධිපති විධායක බලතල ඉවත්කොට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව තිබෙන බවත් විධායක ජනාධිපතිධුරය ඇතිකර ව්‍යවස්ථාව හඳුන්වාදෙන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ එයට විරෝධය දැක්වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී හේරත් මන්ත්‍රිවරයා විධායක ජනාධිපතිධුරයට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බවත් එහි අවසන් ක්‍රියාමාර්ගයක් හැටියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ බවද කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා,

එය අපි පාර්ලිමේන්තුවට භාරදුන්නා. කථානායකවරයා විසින් එය නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ නිර්දේශ සහිතව 2018 ජූලි මාසයේ 06වැනිදා ගැසට් පත්‍රයක් ලෙස නිකුත් කළා. ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එය න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලෙසත් සුදුසු දිනයක් ලබාදෙන ලෙසත් අපි කථානායකවරයාගෙන් ඉල්ලූවා. පසුව පසුගිය 05වැනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණා. එලෙස පූර්ව දැනුම්දීමකින් පසුව තමයි අපි මෙය පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කළා. මින් පසුව තිබෙන්නේ එම සංශෝධනය කථානායකවරයා විසින් විෂය භාර ඇමැතිවරයාට යොමු කිරීමයි. නමුත් වර්තමාන ආණ්ඩුවේ ව්‍යවස්ථා කටයුතු ඇමැතිවරයෙක් නැහැ. එනිසා එය යොමුකළ යුතු වන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස අගමැතිවරයා වෙතයි. පසුව මාස 06ක කාලයක් ඇතුළත ආණ්ඩුවේ ස්ථාවරය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුව තිබෙනවා. අවශ්‍ය නම් ආණ්ඩුවට පුළුවන් සති දෙකකින් හෝ මාසයකින් තමන්ගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. කාලය තීරණය වෙන්නේ ආණ්ඩුව මතයි. කෙසේ වෙතත් මාස 06ක් ඇතුළත ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමෙන් පසුව මෙය පාර්ලිමේන්තුවේ තුන්වැනි වර කියවීම සඳහා ඉදිරිපත් කළ යුතු අතර එය පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරගත යුතුව තිඛෙනව.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි බලාපොරොත්තු වෙනවා, මෙම කෙටුම්පත සඳහා 2/3 බහුතරය ලබාගැනීම සඳහා නිල වශයෙන් පක‍ෂ සමඟ සාකච්ඡා කරන්න. ඒ අතර මෙම සංශෝධනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන්, පක‍ෂවලින් යෝජනා අදහස් අපි බලාපොරොත්තු වෙනවා. එම ඉදිරිපත් වන යෝජනා අදහස් සලකා බලා ඊට අනුව පනත සංශෝධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වනවිටත් මන්ත්‍රීවරුන් සමඟ විවිධ අවස්ථාවල මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපට හැකිවුණා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කිරීම සම්මත කරගැනීමට හැකිවුණේ. කෙසේ වෙතත් මේ සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පාර්ශ්ව සමඟ සාකච්ඡාවක් අවශ්‍යයි. අපි මෙම පනත ගෙනාවේ පුද්ගලයෙකු ගැන හෝ පක‍ෂයට වාසි-අවාසි ගැන හිතලා නෙවෙයි. මෙහි ප්‍රධාන අරමුණ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි. විධායක ජනාධිපතිධුරය භාවිතා කරලා මේ රටට සිදුකර තිඛෙන විනාශය ඕනෑවටත් වඩා අපි අත්විඳලා තිඛෙනවා. මැතිවරණ කල් දැමීම, ඡන්ද කොල්ලකෑම්, හොරුන්, දූෂකයින්ට ජනාධිපති සමාව දීම වැනි අශිෂ්ට දේවල් විධායක බලතල පාවිච්චි කර සිදුකරමින් තිඛෙනවා. ඒ නිසා අපේ රට තුළ ශිෂ්ටත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කළ යුතුයි. එම සද් චේතනාව මුල්කරගෙන තමයි අපි මේ යෝජනාව ගේන්නේ.

මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී මාධ්‍ය මගින්ද ඇතැම් වැරදි තොරතුරු ප්‍රචාරය වුණා. මෙම සංශෝධනයන් මගින් ජනාධිපතිවරයා සතු බලතල අගමැතිවරයාට පැවරෙන්නේ නැහැ. සිදුවෙන්නේ ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට සහ ව්‍යවස්ථා සභාවට විමධ්‍යගතවීමයි. රට ඛෙදන, රට කඩන කිසිදු වගන්තියක් 20වැනි සංශෝධනයේ අඩංගු වෙන්නේ නැහැ. එනිසා රටට ආදරය කරන කිසිවෙක් මේ සම්බන්ධයෙන් බිය යුතු වන්නේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවට සහතික වෙනවා රටට අහිතකර කිසිවක් මෙම සංශෝධනයෙන් සිදුවෙන්නේ නැහැ කියලා.

මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා 2/3ක් අවශ්‍යයි. එනිසා මහින්ද රාජපක‍ෂ මහත්තයාගේ කණ්ඩායමේත් ජනාධිපතිවරයාගෙත් එක්සත් ජාතික පක‍ෂයේත් දෙමළ ජාතික සන්ධානයේත් ඊ.පී.ඩී.පී. පක්ෂයේත් සහයෝගය අවශ්‍ය වෙනවා. මන්ත්‍රීවරුන් 225ම සහාය නැතත් බහුතර මන්ත්‍රී පිිරිසකගේ සහාය මේ සඳහා අවශ්‍ය වෙනවා. එය ලබාගත හැකි බව විශ්වාසයක් අපට තිඛෙනවා. අපේ රටේ බහුතර ජනතාවකගේ අපේක‍ෂාවක් තිඛෙනවා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතු බව. ජනතාවගේ එම අපේක‍ෂාව ඉටුකිරීම දේශපාලනඥයින්ගේ වගකීමක් වෙනවා. පළමු පියවරේ ජයග්‍රහණය ලබාගත්තා සේම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා උපරිම වශයෙන් අපි මැදිහත් වෙනවා. ඒ වගේම අනෙකුත් දේශපාලන පක‍ෂවලින් ඉල්ලනවා පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා නොගෙන මෙය සම්මත කරගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා. ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් රට ඛෙදන ගිවිසුම්වලට කිසිදා සහාය දෙන්නේ නැහැ. මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහාද අපි සූදානමින් ඉන්නවා. ජනතාවගේ වටිනා ඡන්දය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පාවිච්චි කරන්න කියලා අපි ඉල්ලනවා. මෙය ජවිපෙ ක්‍රීයාමාර්ගයක් පමණක්ම නොවෙයි. මෙහි වාසි ලැඛෙන්නේ රටේ ජනතාවටයි. එම නිසා මෙය සම්මත කරගැනීමට සහාය වීම ජනතාවගේ යුතුකමක් ලෙසයි අපි සලකන්නේ.

මාධ්‍යෙව්දීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා

නමුත් ඊයේ පැවැත්වුණේ විරෝධයකට වඩා නාඩගමක්. කාලා බීලා පාරේ නටන එක ඇත්ත ජනතා විරෝධයක් නොවෙයි. අපි දැක්කේ විකාරරූපී රංගනයක් විතරයි. එවැනි දේවල්වලින් සිදුවන්නේ ඇත්ත ජනතා විරෝධය හෑල්ලූවට ලක්වීම පමණයි. ඔවුන්ගේ විරෝධය අසාර්ථක එකක් වුණේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් විරෝධතාවය මෙහෙයවූ සංවිධායකයින්ම අසාර්ථකයි කියලා කියලා තිබුණා. උද්ඝෝෂණයට පෙර මෙය සංවිධානය කරපු පිරිස් විවිධ දේ කිව්වා. සම්පූර්ණයෙන් කොළඹ අල්ලනවා කිව්වා. ආණ්ඩුව ගන්නේ නැතිව ආපහු යන්නේ නැහැ කිව්වා. නොනිදන රැයක් ගත කරනවා කිව්වා. මහින්ද රාජපක‍ෂ අගමැති යැයි පාරම් බාපු විමල් වීරවංශ විසින් මෙහෙයවන වෙබ් අඩවියේම ජනතාව බනිමින් යන්න යති ඒකාබද්ධයේ ජන බල විරෝධය අවසන්˜ කියලා හවස් වෙනකොටම නිවුස් ගැහුවා. සංවිධායකයින්ම විරෝධතාවය විවේචනය කරන්න පටන් අරගෙන තිඛෙනවා. ඇතැම් වෙබ් සයිට්වල තිබුණා ඒකාබද්ධයේ දේශපාලනඥයින් කොළඹ හෝටල් වෙන් කරවා ගනියි, ආධාරකරුවන් මහපාරේ තොවිල් නටයි˜ කියලා. ඒ නිසා ඇත්තටම එම විරෝධතාවයේ අසාර්ථකභාවය පිළිබඳව අපිට අලූතින් කියන්න දෙයක් නැහැ.

 

නව අදහස දක්වන්න