මී කඩන්න ගිය හේන් ගොවීන්ට වලස් පවුලකින් ප්‍රහාර | දිනමිණ

මී කඩන්න ගිය හේන් ගොවීන්ට වලස් පවුලකින් ප්‍රහාර

අනුරාධපුර මධ්‍යම විශේෂ

කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයේ රජයට අයත් කැලෑවක මී කැඩිමට ගිය හේන් ගොවියන් තිදෙනෙකු වලස් පවුලක ප්‍ර හාරයට ලක්වී අනුනවයෙන් දිවිගලවා ගැනීමේ පුවතක් පෙරේදා කැබිතිගොල්ලෑවෙන් වාර්තා විය.

මේ දිනවල පවතින වැසි රහිත කාලගුණ තත්වය නිසා පවතින අගහිඟතාවන් හේතුවෙන් හේන් ගොවියන් පිරිසක් දා (03) දහවල් කාලයේ මීකැඩීම සඳහා වාහල්කඩ ප්‍රදේශයේ පිහිටි කැලෑවට අතුළුවී විශාල දුරක් පයින් ගමන්කර තිබේ. කැලෑවේ අභ්‍යන්තරයට පැමිණිමෙන් අනතුරුව විශාල මයිල ගසක ඇහැටු ගසක හා තවත් ගස් කිහිපයක බැද තිබූ විශාල ප්‍රමාණයේ මී වද හතරක් කඩා ගැනීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා නැවතත් සිය හේන් පිහිටි ප්‍රදේශයට පා ගමනින් පැමිණ තිබේ.

මීවද කඩාගත් ස්ථානයේ සිට සැතපුම් තුනක් පමණ ඉදිරියට කටු හා මාන පදුරු පීරාගෙන ඉදිරියට ඇදෙද්දී කිසියම් පුද්ගලයෙකු අපහසුවෙන් කථා කරනා මෙන් හඩක් ඇසීම නිසා ඔවුන් අවට වටපිටාව පරික්ෂා කර බැලුවත් කිසිදු පුද්ගලයෙකු දර් ශනය නොවීම නිසා නැවතත් පා ඉක්මන් කර ඉදිරියට ඇදෙද්දී කුඩා වලසුන් තිදෙනෙකු හා විශාල ප්‍රමාණයේ වලසෙකු ඔවුන් ඉදිරියට පැමිණ සටන් කිරීමට සූදානම්වී තිබේ.මහ වලසා පොළව පහුරු ගාමින් දෑත් ඉහළට ඔසවා පසුව පාද හතරෙන් වේගයෙන් ඉදිරියට දිවවිත් තිබේ.

වලසා මෙල්ලකර ගැනීම සදහා පහරදීමට කිසිවක් ඔවුන් අත නොතිබූ නිසා ඔවුන් තිදෙනා හිස්ලූලූ අත දිවයද්දී වැලහින්න බවට සැකකළ හැකි සතා ඔවුන් පසුපස පන්නා ඇති අතර එක් අයෙකු අසල තිබූ ගසකට නැග ඇති අතර සෙසු දෙදෙනා කැලෑව දෙසට දිව යද්දී එක් අයෙකු පය පැටලි බිම ඇදවැටී තිබේ. ඔවුන් පසුපස වේගයෙන් දිව ආ වලසා වැටුණු පුද්ගලයාගේ පාදයෙන් අල්ලා ගැනීමට තියුණු නිය පහර එල්ල කළ අවස්ථාවේ ඔහු ඇදසිටි කලිසමට වැදී ඉරියාමත් සමඟ ඔහු නිමේෂයෙන් නැවත නැගිට කැලෑව දෙසට දිවගොස් තිබේ.

ඔවුන් වලස් වැටලීමට නතුවූ අවස්ථාවේ එක් අයෙකු අතතිබූ මී වදයක් බිම වැටී ඇති අතර වැලහින්න බවට සැකකරන සතා එය රැගෙන බොහෝ වේලාවක් එම ස්ථානයේ රැදිසිට නැවත කැලෑව දෙසට ගොස් තිබේ.ගොවියන් පිරිස මී කඩා ගෙන නැවත හේන් වලට යද්දී කුස ගින්නේ සිටි වලස් රංචූවට මී වදවල සුවද දැනී මිවද පැහැර ගැනීමට එන්නට ඇති බවට ඔවුහු සැකකරති.

පසුගිය කාලයම පුරාම කැබිතිගොල්ලෑව විල්පත්තුව හොරොව්පොතාන වැනී විශාල වනාන්තර වලට විවිධ දෑ සොයා ගැනීමට ගොස් වලස් ප්‍රහාරයන්ට ලක්වූ විශාල පිරිසක් බරපතළ තුවාල අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබූහ.

 


නව අදහස දක්වන්න