නරඹා පින් කරගන්න අලුවිහාර පෙරහර | දිනමිණ

නරඹා පින් කරගන්න අලුවිහාර පෙරහර

ලොව ප්‍රථම වතාවට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ මාතලේ ඓතිහාසික අලුවිහාරේ සංගායනා පෙරහර 45 වන වතාවට මෙවරත් සැප්තම්බර් මස 7 වන දින විදි සංචාරය කෙරේ. එය ආලෝක විහාරාධිපති පුජ්‍ය ආචාර්ය්‍ය ඉනාමලුවේ නන්දරතන හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව, දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ආලෝක විහාරාධිපති පුජ්‍ය ආචාර්ය ඉනාමලුවේ නන්දරතන හිමිපානන් වහන්සේ,

"ක්‍රි.පු 3 වන ශත වර්ෂයේදී ශ්‍රී ලංකාවට සම්බුද්ධ ධර්මය ලැබුණට පස්සේ, මාතලේ ප්‍රදේශයේ හිටපු ප්‍රභුන් වනවාසී නිකායට අයත්ව තිබුණු බණ භාවනා කරන භික්ෂුන් වහන්සේලා ගේ ප්‍රයෝජනය සඳහා මේ සියලු ගල් ලෙන් කටාරම් කෙටිමෙන් පසුව භික්ෂුන් වහන්සේලාට පුජා කළා. උන් වහන්සේලා ඒ ගල්ලෙන්වල භාවනා යෝගිව වැඩ සිටියා.

ක්‍රි .පු. 1 වන ශත වර්ෂය වන විට උන් වහන්සේලා කටපාඩමින් ආරක්ෂා කරගෙන ආව ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කිරීමේ අවශ්‍යතාව ඇතිවුණා. වළගම්බා රජු කාලයේ වසර 14 දුර්භික්ෂයක් නිසා ලංකාවේ හිටපු මහරහතන් වහන්සේලා පිරිසක් ඉන්දියාවට වැඩියා. ත්‍රිපිටකය ආරක්ෂා කරගනිමින් ඇවිත් ත්‍රිපිටක ධර්මය, බුද්ධ ධර්මය ආරක්ෂා කරගෙන වැඩ සිටියා. ඉන්දියාවට වැඩම කළ ස්වාමින් වහන්සේලා ලංකාවට වැඩියා. උන් වහන්සේලා ලංකාවේ ඉතිරිවෙලා හිටපු ස්වාමින් වහන්සේලා සමඟ කතා බහ කරලා දෙපිරිස අතර කට පාඩමින් තිබෙන ධර්මය යම් වෙනස්කමක් තිබුණ ද කියලා මණ්ඩලාරාම විහාරස්ථානයට රැස්වෙලා සාකච්ඡා කළා. එහිදී යම් විදිහකින් අනාතයේදි මෙවැනි දුර්භික්ෂයක් හෝ වෙන යම් හානියක් ඇතිවුවහොත් ඒවායින් ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන යාම සඳහා ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කර තැබිය යුතුයි කියලා තිරණය වුණා. උන් වහන්සේලා මාතලේ අලුවිහාරස්ථානය ඒ කාලයේ හැඳින්වූයේ ලෙනක් විදිහට. එහි රැස්වෙලා මේ ත්‍රිපිටකය පුස්කොල පොත්වල ග්‍රන්ථාරුඪ කරවනවා . ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කළාට පස්සේ තමයි ථේරවාදි ධර්මය රට රටවලට පැතිරිලා ගියේ . ඒ නිසා මේ ඓතිහාසික වටිනාකම ඇති ආලෝක විහාරය ආලෝක වුණේ මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කළාට පස්සේ.

දැනට ස්භාවික ලෙන් වශයෙන් විහාර 13 ක් පමණ තිබෙනවා. සමහර ලෙන්වල ප්‍රතිමා වහන්සේලා ඉදි කරන්නේ ග්‍රන්ථාරූඪ කළාට පසුව. ත්‍රිපිටක ධර්මය ආරක්ෂා වෙලා පුස්කොළ පොත්වල තිබෙනවා. අලුවිහාරය නිසා 5 වන ශත වර්ෂයේදී පමණ බුද්ධඝෝෂ හාමුදුරුවෝ අනුරාධපුර අභයගිරිය මහ විහාරයේ පුස්තකාල තිබියදීත්, ආසියාවේ බෞද්ධ මහ පුස්තකාල තිබියදීත් උන් වහන්සේ ආලෝක ලෙනට වඩිනවා. එයට ප්‍රධාන හේතුව ත්‍රිපිටකය පොත් අලුවිහරේ ආලෝක ලෙනෙහි තිබුණ නිසා. උන් වහන්සේලා ත්‍රිපිටක ධර්මයට අටුවා කතා පාලි අටුවාවෙන් ලියන්නේ ත්‍රිපිටකය පරිහරනය කරමින්. මේ නිසාම උන් වහන්සේලා වැඩ හිටි ගල්ලෙන බුද්ධඝෝෂ ලෙන වශයෙන් හඳුන්වනවා.

මේ ත්‍රිපිටකය ආරක්ෂා කරමින් වෙමින් මේ අලුවිහරේ ආලෝක ලෙනෙහි තිබුණත් 1848 වර්ෂයේ මාතලේ කැරැල්ලේදී වීරපුරන් අප්පු, ගොන්ගාලේගොඩ බංඩා ඇතුළු සිංහල සේනාව අලුවිහාරේ සැඟව සිට ඉංග්‍රීසින්ට පහර දීම නිසා එදා ඉංග්‍රීසි හමුදාව විනාශ වෙනවා. පසුව ඉංග්‍රීසින් විසින් වෙහෙර විහාර ඉඩ කඩම් වැවිලිකරුවන්ට බෙදා දෙනවා. ඉංග්‍රීසි හමුදාව 1920 වර්ෂයේදී විහාර දෙකක් පවතින තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරලා දෙනවා.

1973 වර්ෂයේදී එවකට අලෝක විහාරස්ථානාධිපතිව වැඩ වාසය කළ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහෝපාධ්‍ය මංගල කීර්ති ශ්‍රී සුමංගල ඇතිපොළ ශ්‍රී මේධාංකර හිමිපාණන් වහන්සේ , සී.බී. අලුවිහාරේ මහතා, ඇලික් අලුවිහාරේ මහතා ඇතුළු පිරිස සාකච්ඡා කරගෙන එවකට මාතලේ දිසාපතිව සිටි සිරිල් ගමගේ මැතිතුමා හා රාජ්‍ය නිලධාරීන් සමඟ කතා බහ කරලා පෙරහර සංවිධානය කර තිබෙනවා. ලෝකයේ සෑම රටකටම ත්‍රිපිටකය පවතින්නේ ක්‍රි .පු. 1 වන ශතවර්ෂයේ මේ ආලෝක ලෙනෙහි ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කිරීම නිසා. මෙය ගුණානුස්මරණය කිරීම උදෙසා ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩවමින් රට වැසියන්ටත් ජනතාවටත් දායක දායිකා පිංවතුන්ටත් ආශිර්වාද පූර්වකව මහ සංගායනා පෙරහරක් ලෙස 1973 වර්ෂයේ දී ආරම්භ කළා. මෙවරත් සැප්තම්බර් මස 7 වන දින රාත්‍රී 7 ට පෙරහර ආරම්භ වෙනවා. පෙරහර අවසානයේ දිය කැපීමේ පෙරහර සැප්තම්බර් මස 8 වන දින පෙ.ව. 10 ට සිදුවනවා. ශාන්ති කම් පුජා නර්ථනය 9 වන දින ප. ව. 6 ට ආරම්භවෙනවා."

බස්නායක නිලමේ ඩල්ජිත් අලුවිහාරේ,

"මාතලේ අලුවිහාරේ සංගායනා පෙරහර 45 වන වතාවටත් මෙවර අලංකාරව ගෞරවනීයව මේ මස 7 වන දින පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙවර පෙරහරේ ගමන් මාර්ගය, වටවන්දනා මාර්ගයේ ගමන් කර විහාරස්ථානයට ගෙවදිනවා. මිට පෙර මාතලේ නගරයට පිවිස දින දෙකක් පෙරහර පැවැත්වූ නිසා දායක දායිකා පිරිසකගේ ඉල්ලීම පරිදි එකඟතාවය මත මෙවර වටවන්දනා මාර්ගයේ වීදි සංචාරය කරනවා. ආලෝක රජමහා විහාරේ මහ පෙරහර නොවෙනස්ව එම ගමන් මාර්ගයේ මහජනතාවගේ පහසුව පිණිස පැවැත්වෙනවා.

මා නගරාධිපති ධුරයට පත් විමත් සමඟ මේ රජමහා විහාරය ලෝක ඉතිහාසයට එක්කරන සිද්ධස්ථානයක් ලෙස ලෝකවාසි බෞද්ධ ජනතාවට බුද්ධාගම රඳා පැවැතීමටත් ප්‍රධාන හේතුවක් වෙනවා. ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කර ඉතිහාස පොත්වල සඳහන්වෙලා.

(බස්නායක නිලමේ හා ප්‍රධාන ලේකම්) ධම්මික අලුවිහාරේ,

" වසර 45 ක ඉතිහාසයක් ඇති මෙම ජාතික පෙරහර වෙනුවෙන් හිටපු කැබිනට් අමාත්‍ය ඇලික් අලුවිහාරේ මැතිතුමා මෙම පෙරහරේ ප්‍රථම බස්නායක නිලමේ විදිහට කටයුතු කර තියෙනවා. සාලිය අලුවිහාරේ මැතිතුමා, මාතලේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති නිමල්ජයවර්ධන මහතාද පෙරහරේ බස්නායක නිලමේවරු විදිහට කටයුතු කළා. පසුව වසන්ත අලුවිහාරේ මහතාත් පසුව වර්තමාන නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා ද ඉතා ඕනෑකමින් යුතුව පෙරහර අලංකාර කිරීමට සියලු කටයුතු සංවිධානය කරමින් දායක සභවේ හා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කටයුතු කරනවා."

දායක පිංවත්තු හා ග්‍රාමනිලධාරීහූ පෙරහර සංවිධානය කිරීමටත් අලංකාර කිරීමටත් ශ්‍රම පරිත්‍යාගයෙන් සේම ධන පරිත්‍යාගයෙන්ද සහයෝගය ලබා දෙති. මෙවර පෙරහර සඳහා අලි ඇතුන් 12 ක ප්‍රමාණයක් ගමන් කරන බවත් උඩරට පහත රට නර්ථන ඇතුළත්ව සංස්කෘතික අංග රැසක් සහිතව අංග සම්පූර්ණ පෙරහරක් ලෙස විහාරස්ථානය වටා ඇති වටවන්දනා මාර්ගයේ වීදි සංචාරය කිරීම විහාරාධිපති පුජ්‍ය ආචාර්ය ඉනාමලුවේ නන්දරතන හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව කෙරේ.

ප්‍රියන්ත සුමනසේන
උකුවෙල සංචාරක


නව අදහස දක්වන්න