මහනුවර රෝහලේ අනවසර ආක්‍රමණ | දිනමිණ

මහනුවර රෝහලේ අනවසර ආක්‍රමණ

ඉන්ද්‍රාණි තෝරදෙණිය

ඉපදීම, ලෙඩවීම සහ මරණය කාටත් පොදු ධර්මතාවකි. අප කුමන තරාතිරමක ජීවත් වුවද මේ අවස්ථා තුන තරම් කෙනකුට හදවතට දැනෙන තවත් යමක් මිහිපිට නැත. ලොව එක් එක් අවශ්‍යතා සඳහා කුමන ස්ථානයන් තිබුණ ද මේ අවස්ථාවල දී අපට සිහිවන්නේ රෝහලයි. අප ඉපදෙන්නේ බොහෝ විට රෝහල තුළ දීය. රෝගි වූ විට යන්නේ රෝහලකටය. බොහෝ විට මරණය සිදුවන්නේත් රෝහලක් තුළදීය. කුමන අවශ්‍යතාවයකට හෝ රෝහලකට නොගිය කෙනෙක් ඒ සේවාව නොලබපු කෙනෙක් මිහිපිට නැත. එසේ නම් මෙහි තිබිය යුතු දෑ විනාශ කිරීමට මෙන්ම අයිති කර ගැනීමටද කිසිදු අයිතියක් කිසිවකුට නැත.

නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත රෝගී ජනකායකට සෙවණ සලසන මහනුවර ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම රෝහලයි. නේවාසිකව තුන්දහසකට අධික පිරිසක් ප්‍රතිකාර ලබන මෙහි බාහිර ප්‍රතිකාර අංශයෙන් සහ සායනවලින් දෛනිකව හයදහසකට අධික පිරිසක් ප්‍රතිකාර ලබති. දවසකට විසි දහස ඉක්මවන පිරිසක් මේ රෝහල් පරිශ්‍රය තුළ පාදය ස්පර්ශ කරති. මෙරට සිදුකළ ප්‍රථම හදවත් බද්ධය මෙම රෝහලේදී සිදු කෙරුණි.

මෙතරම් ජන ගඟක් ඇදෙන මෙම පොදු නිවහනේ දේපොළ පුද්ගලයින් එකසිය හැත්තෑදෙනකු බලෙන් අල්ලා ගෙන සමස්ථ ජනතාවටම අසාධාරණයක් සිදු කොට තිබේ. මෙම නිවහනට එන පාර අවහිරය. වාහන නතර කිරීමට තැනක් නැත. දිවා රෑ නොබලා සේවය සලසන වෛද්‍යවරු ඇතුළු කාර්යය මණ්ඩලයට නේවාසික ස්ථාන නැත. වෛද්‍ය අවශ්‍යතා සඳහා ඉදිකළ යුතු බොහොමයක් ගොඩනැඟිලි සැලසුම්වලට පමණක් සීමා වී ඇත. රෝහල් භුමිය පුරාවට ඉදිකෙරුණු ව්‍යාපාරික ස්ථාන දිනෙන් දින වැඩිදියුණු වෙමින් පවතී. ඒ අසල නතර කර ඇති සුඛෝපභෝගි වාහන අසරණ රෝගින්ගේ සහ රෝගින් බැලීමට පැමිණෙන ජනතාවගේ ගමන් මඟ අවහිර කර තිබේ. මානුෂිකත්වය පෙරදැරි නොවන තැන රෝගි ජනතාවගේ අයිතීන් දිනා දීම සඳහා රෝහල් බලධාරීහූ නීති මඟට බැස සිටිති.

මහනුවර ශික්ෂණ රෝහල සතු ඉඩම් ප්‍රමාණය අක්කර පනස් අටකි. මින් අක්කර විසි හතරක්ම අනවසර පදිංචි කරුවන් විසින් අල්ලා ගෙන තිබේ. ඉඩම් අල්ලාගත් බොහොමයක් පිරිස් එම දේපල කුලියට හෝ බද්දට ලබා දී ඇත. මෙහි අවහිරතාවය දකින්නේ භුක්ති විඳින්නේ මේ රෝහලේ සේවයෙහි නියුක්ති පිරිස සහ මෙහි සේවය ලැබීම සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනකාය පමණි.

රෝහල් භුමියට අයත් මාර්ගය දෙපස නිවෙස් සහ ව්‍යාපාරික ස්ථාන ඉදිවී තිබේ. රෝහල් මාර්ගය එන්න එන්නම කුඩා වී ඇත. දෛනිකව මෙම මාර්ගයේ ගමන් කරන දහස් ගණනක් වාහන හේතුවෙන් නිතරම මෙහි ඇත්තේ දැඩි වාහන තදබදයකි. හදිසි ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගින් මෙම හේතුව නිසා දැඩි අවධානමකට ලක්ව තිබේ. පසුගිය දෙවසර තුළ මෙම තදබදයෙන් ප්‍රතිකාර ප්‍රමාදව රෝහල පෙනි පෙනි මිය ගිය ගණන තිදෙනකි. මෙම තිදෙනාට මහනුවර මහ රෝහලේ බාහිර රෝගි ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරියක් ද ඇතුළත්වීම අතිශය ඛේදජනකය. පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙම මාර්ගය මංතීරු හතරකට සැකසීම සඳහා සැලසුම් සකස් කොට තිබේ. එහෙත් අනවසර පදිංචිකරුවන් ඉවත් කළ යුතුව ඇත.

රෝහල් කාර්යය මණ්ඩලයට වාහන නතර කිරීමට රෝහල් භුමියේ සුළු ඉඩක් ඇතත් රෝගියකු රැගෙන රෝහලට පැමිණෙන්නකුට වාහන නතර කිරීමට හා ඉඩකඩක් නැත. බාහිර අයකු වාහනයක් නතර කිරීම සඳහා බොහෝ දුරක් යායුතුව ඇත. වාහන නැවතුම් පොළක් සඳහා රෝහල් පරිශ්‍ර යේ ඉඩක් වෙන්කොට සැලසුමක් සකසා ඇතත් එම ස්ථානය අනවසර පෞද්ගලික ව්‍යාපාරික ස්ථානවලින් පිරී තිබේ.

වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවය පැය විසි හතරේම කොයි මොහොතේ වුවද වටී. එසේ නමුත් අවශ්‍ය අවස්ථාවල දී බොහෝවිට එන්නට සිදුවන්නේ සිය නිවෙස්වල සිටය. මෙයට ප්‍රධාන හේතුව රෝහල් සේවකයින් සඳහා නේවාසික පහසුකම් නොමැති කමයි. වෛද්‍යවරුන් පිරිසකට පමණක් නේවාසික පහසුකම් ඇතත් විශේෂඥ වෛද්‍යවරුන්ට නේවාසිකාගාර තියා කාමරයක්වත් නොමැත. අනවසර පදිංචිකරුවන් ඉඩම් අල්ලාගනිමින් ආර්ථික වාසි සොයද්දී ඒ හරහා මෙලොව හැරයාමට රෝගීන්ට සිදුව ඇත. ව්‍යාපෘති පහකින් යුත් සේවක නේවාසික සැලැස්මක් ඇතත් එය ක්‍රියාත්මක කිරීමටද අනවසර පදිංචි කරුවන්ගේ බාධාව ඉදිරියට පැමිණ තිබේ.

වත්මන් රජය රෝහල් අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත රෝහලේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවා ඇත්තේ ජනතා සුබ සිද්ධිය සඳහාය. අනවසර පදිංචිකරුවන් දැඩි බාධාවක් වුවද බාධක මැඩගෙන ජනතා සේවාව මුදුන් පත් කර ගැනීමට බලධාරින් කටයුතු කර ඇත. ඒ අනුව මේ වන විට අනවසර පදිංචි කරුවන් හය දෙනකු පමණ නීති මගින් ඉවත් කර ඇති අතර ඉතිරි කටයුතු සිදු වන තෙක් සංවර්ධන ව්‍යාපෘතිද ක්‍රියාවට නංවා තිබේ.

ප්‍රතිකාර සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත පිළිකා රෝගින් සඳහා රුපියල් මිලියන 1950කින් පිළිකා රෝහල් සංකිර්ණයක් ඉදිකෙරේ. දැඩිසත්කාර ඒකක දෙකක් සහිතව ඇඳන් තුන්සිය පහකින් යුත් මෙම සංකිර්ණයේ වැඩ අවසන් වෙමින් පවතී. රුපියල් මිලියන අටසියයකින් හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක්ද ඉදිකෙරෙමින් පවති. තැලසීමියා රෝගින් සඳහා රුපියල් මිලියන එක්දහස් දෙසිය පනහකින් මහල් අටකින් යුත් තැලසීමියා ඒකකයක් ඉදිකෙරේ. මීට ලේ බැංකුවක් හා නවීන මුළුතැන්ගෙයක්ද අන්තර්ගතය. වකුගඩුරෝගී නේවාසිකාගාරයක් ඉදිකෙරේ. මේ සදහා රුපියල් මිලියන තුන්සියයක් වැය කෙරේ. යුද හමුදාව මේ සඳහා ශ්‍රම දායකත්වය උපරිමව ලබා දේ. මෙහි ඇඳන් පනහක රුධිර කාන්දුකරන ඒකකයක්ද රෝගීන් හැට දෙනකුට නේවාසික පහසුකම්ද ඇතුළත්වේ. රුපියල් මිලියන දෙසිය පනහකින් මහල් හතකින් යුත් මාතෘ රෝගින් සඳහා විශේෂ දැඩි සත්කාර ඒකකයක් ඉදි කෙරේ. රුපියල් මිලියන එක්දහස් පන්සියයක වියදමින් මහල් දහයකින් යුත් අංග සම්පුර්ණ රසායනාගාර පද්ධතියක් ඉදි වේ. නාය යාම වළකාලමින් පස සංරක්ෂණය සඳහා රුපියල් මිලියන නවසියයකින් වැඩ කටයුතු සිදු කෙරේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා,

"මෙම රෝහලෙන් දෛනිකව විශාල ජනකායක් සේවය ලබනවා. අපි අපේ සේවාව පුළුවන් උපරිමයෙන් ලබා දීමට කටයුතු කරනවා. වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා මෙහි තිබෙන සෑම අඩුපාඩුවක්ම සකසා දීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට රුපියල් මිලියන දහසකට අධික වෛද්‍ය උපකරණ ලබා දී තිබෙනවා. තව ලැබෙමින් පවතිනවා. එක් එක් අංශය සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සඳහා අමාත්‍යාංශ මුදල් වෙන්කර දැන් බොහොමයක් වැඩ අවසන් වෙමින් පවතිනවා. අපට ඇති එකම බාධාව මෙම රෝහල් භුමිය අනවසර පදිංචිකරුවන් අල්ලාගෙන සිටීම. මුළු භුමියෙන් අඩක් පමණ ඔවුන් අල්ලාගෙන තිබෙනවා. මේක සෑම කටයුත්තකටම බරපතළ ගැටලුවක්. අපි නීති මගින් ඔවුන් ඉවත් කිරීමේ කටයුතු කරගෙන යනවා. මේ වන විට හය දෙනකු ඉවත් කර තිබෙනවා. තව විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ අය ද ඉවත් කිරීමට කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පොදු ජනතාවට උපරිම සෞඛ්‍ය සේවාවක් මෙම රෝහල තුළන් ලබා දෙන්න. කවුරු කැමති වුණත් අකමැති වුණත් ජනතාව වෙනුවෙන් අපට ඒ තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා."

දවසකට මේ රෝහලට නේවාසික රෝගින් නවසියයක් පමණ ඇතුළත් වේ. හෙට දවසේ ඒ කවුරුන්ද කියා කාටවත් කිව නොහැක. එනිසා මේ රෝහල රෝහලේ අයිතිය සුරැකිය යුතුය. මනුෂ්‍යත්වය පෙරදැරිකරගත් බොහෝ දෙනකු රෝහල් සඳහා සිය සන්තක වස්තු බොහොමයක් පරිත්‍යාග කර තිබේ. ඒ මෙහි වටිනාකම දන්නවුන්ය. තවත් කෙනෙකුගේ ජිවිත වෙනුවෙන් සිතන්නවුන්ය. අද වන තුරු මේ රෝහල් භුමිය අනවසරයෙන් අයිති කරගත් කිසිවකුත් මෙහි බිම් අඟලක් වත් කැමැත්තෙන් ආපසු ලබා දී නැත. ඒ නිසාම බලධරයින් නීතියේ පිහිට පැතීමට පියවර ගෙන ඇත.

 


නව අදහස දක්වන්න