පුංචි වයසින් ලොකු පින් කරන නන්දසාර හාමුදුරුවෝ | දිනමිණ

පුංචි වයසින් ලොකු පින් කරන නන්දසාර හාමුදුරුවෝ

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ රජමහා විහාරාධිකාරි, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, කිතලගම නන්දසාර ස්වාමීන්වහන්සේගේ 35 වැනි ජන්ම දිනය සහ පැවිදි දිවියෙහි 27 වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් එම විහාරස්ථානයෙහි හෙට (8) සහ අනිද්දා දෙදින තුළ සිදු කෙරෙන පින්කම් මාලාවකි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දෙස් විදෙස් ලොව පතළ මහා ප්‍රාඥයන්, උගතුන්, වියතුන්, බුද්ධිමතුන් රැසක් මෙන්ම වටිනා බුද්ධ පුත්‍රයන් වහන්සේලා රැසක්ම සසුන් කෙතට දායාද කළ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයෙහි කිතලගම නම් වූ ඈත පිටිසර සුන්දර ගම්පියසෙහි හේවාපත්තිනිගේ ආරියදාස හා හේවාපැලැන්දගේ ඩැනී නෝනා පින්වත් මහෝපාසක මාපියන්ට දාව, සහෝදර සහෝදරියන් තුන්දෙනකුගෙන් යුක්ත වූ පවුලක ‘බඩපිස්සා’ ලෙස 1983.09.13 දා මෙලොව එළිය දුටු පින්වත් කුලකුමරුවා, හේවා පත්තිනිගේ සුමිත් චන්දිම නම් විය.

මාතර, කිතලගම බටහිර මහා විදුහලෙහි 3වෙනි ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු කරමින් සිටියදී එනම් වයස අවු 8දී තරම් ළාබාල අවධියේදීම 1991 ඔක්. මස 24 වෙනි දින පැවිදි දිවියට ඇතුළත් වූයේ කිතලගම නන්දසාර නමිනි. ත්‍රිපිටකවේදී ගංගොඩගම පඤ්ඤාවේද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් එම විහාරස්ථානයේ වසර කිහිපයක් වැඩවාසය කළ කිතලගම නන්දසාර පොඩි හාමුදුරුවෝ ඉන්පසුව මහරගම සිරි වජිරඥාණ ධර්මායතනය වෙත වැඩම කර “මහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන හා ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන වෙතින් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර 2003 වසරේදී මහරගම වජිරඥාණ ධර්මායතන සීමාමාලකයේදී උතුම් වූ අධිශීල සංඛ්‍යෘත උපසම්පදා විනය කර්ම තත්ත්වයට පත්වූයේ මඩිහේ පඤ්ඤාසීහ මහනායක හිමියන්ගේ ආචාර්යත්වයෙනි.

නුගේගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකරගත් උන්වහන්සේ මහරගම ධර්මායතන නායක ස්වාමීන්වහන්සේගේ කාරුණික ඉල්ලීම හා අවශ්‍යතාවයට අනුව වාද්දුව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථානයට වැඩම කළේ දෙල්දූව, නුගගොඩ, පොතුපිටිය, වස්කඩුව හා කළුතර, පොහොද්දරමුල්ල යන ගම් ප්‍රදේශවල වෙසෙන බෞද්ධ ජනතාවගේ පූර්ව භවයේ විශාල පිනකට යැයි පැවසිය හැක. කිතලගම නන්දසාර හිමියන්ගෙන් ප්‍රදේශයේ ජනතාවට, පාසල් දරුවන්ට පමණක් නොව සංඝයා වහන්සේලාට ද විශාල ශක්තියක් හා උපකාරක සේවා රැසක්ම ඉටු වී ඇත.

දෙල්දූව, ගනේවත්ත පුරාණ රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ, කළුතර, තොටමුණ දෙපළාතේ ප්‍රධාන සංඝනායක හා අමරපුර සංඝසභාවේ (කළුතර) අධිකරණ සංඝනායක, පැලෑනේ සද්ධර්මවංශ නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව එම විහාරාධිපති ධුරයට පත්වූ කොළඹ - කළුතර දෙපළාතේ අධිකරණ සංඝනායක, දෙල්දූව සුමන නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ද වන කිතලගම නන්දසාර හිමියෝ, දෙල්දූව සුමන ගුරු දේවෝත්තම ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ සියලු අඩුපාඩුකම් සම්පූර්ණ කරමින්, ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල දායක දායිකාවන්ගේද සහයෝගය හා උපකාරද ඇතිව විහාරස්ථානය, කඩිනමින් සංවර්ධනය කිරීම ආරම්භ කළහ.

නන්දසාර හිමියන් ඒ සඳහා මුලින්ම කළේ, විහාරස්ථානයට තව තවත් සාමනේර හිමිවරුන් සසුන්ගත කරවා ගැනීමය. දිවයිනේ විවිධ දුරබැහැර ප්‍රදේශවල ඇවිද ගොස්, දැඩි දුෂ්කරතා හා ගැටලු රැසක් ද මැද්දේ පිරිමි දරුවන් සොයාගෙන ගොස් ඔවුන්ගේ මවුපියන්ගේ කැමැත්ත ලබාගෙන තම විහාරස්ථානයේදීම පැවිදි කරවාගෙන ගනේවත්ත විහාරස්ථානය දිනෙන් දින සැදැහැවතුන්ගේ නෙත් සිත් ඇදීගිය උදාර පින්බිමක් බවට පත් කෙරිණි.

දර්ශනීය වාහල් දොරටු ප්‍රවේශයක්, අටවිසි බුදු පිළිමවහන්සේලා තැන්පත් කරවන ලද අලංකාර බෝධි ප්‍රාකාරයක්, විශාල ඝන්ඨාර කුළුණක්, පැලෑනේ සද්ධම්මවංශ අනුස්මරණ ධර්ම පුස්තකාලයක්, බොදු දරු දැරියන් 800කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන දහම්පාසලක්, බෝධීන්වහන්සේ වටා ඉදිකරන ලද දර්ශනීය රන්වැටක්, ස්වාමීන්වහන්සේගේ පරිහරණය සඳහා කැසිකිළි, වැසිකිළි පද්ධති 2ක්, දේවාල මන්දිර කිහිපයක් යනාදී විවිධ අංශ ගණනාවක් මේ වනවිට උන්වහන්සේ විසින් ඉදිකොට අවසානය.

මේ වනවිට සසුනට දායාද කර ඇති සාමනේර වහන්සේලා සංඛ්‍යාව 55කට ආසන්න ය.

ඉකුත් විභාගයේ ප්‍රතිඵල අනුවද තවත් හිමිනමක් විශ්වවිද්‍යාල වරම් ලබා සිටීම නන්දසාර හිමියන් විශාල සතුටක් බැව් විශ්වවිද්‍යාල වරම් ලැබූ එම ස්වාමීන්වහන්සේ පවසති.

නේවාසිකව වැඩවසන හිමිවරුන් වහන්සේලාගේ වැඩ විසීම සඳහා මේ වනවිට එම විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින සිවුමහල් සදහම් ධර්ම මන්දිරයකි. එම ධර්ම මන්දිරයේ මහල් දෙකක වැඩ මේ වනවිට නිමවී ඇති අතර ඉතිරි වැඩ නිම කරවා ගැනීම සඳහා පින්වත් දායක දායිකාවන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වේ.

කළුතර ප්‍රදේශයේ බෞද්ධ සහ අබෞද්ධ දරුවන්ට මෙන්ම පොදු ජනතාවට ද නන්දසාර හිමියෝ පසුගිය සුනාමි ව්‍යසනයේදී පිහිට වූයේ ඔවුන්ගේ ජාති, ආගම් හෝ කුලභේදය නොසලකමින්ය.

උන්වහන්සේ විසින්, ශාසනික, සාමාජික, අධ්‍යාපනික හා පොදු ජනතාව වෙනුවෙන් මෙතෙක් ඉටුකර ඇති අතිවිශාල වූ කාර්යභාරය හා සමාජ මෙහෙවර ඇගයීමට ලක්කළ, අමරපුර මහා සංඝ සභාව, උන්වහන්සේට “ශාසන ශෝභන කීර්ති ශ්‍රී” යන ගෞරව නාමයද ඊට පෙරත් මුළු දිවයිනටම බලපාන පරිදි ‘සාම විනිසුරු’ පදවිය ද පිරිනමා ඇත.

දිවි මගේ 35වෙනි ජන්ම දිනය හා උතුම් වූ සම්බුද්ධ සාසනයේ පැවිදි දිවියෙහි ඉතාම ගුණ යහපත්වූද, ලොව සියලුම භික්ෂූන් වහන්සේලාට ආදර්ශවත්ව තම භික්ෂූ ජීවිතය සැබෑ බුද්ධ පුත්‍රයකු ලෙස ගත කරන කිතලගම නන්දසාර ස්වාමීන්වහන්සේගේ 27 වෙනි පැවිදි දිවියද සිහිපත් කරමින් උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා පිරිස විසින් සංවිධානය කරන ලද පින්කම් මාලාවක් දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරයේදී සැප්. 8, 9 දෙදින තුළ සිදුකෙරේ.

එච්. එල්. සුනිල් ශාන්ත
කළුතර මධ්‍යම විශේෂ

 


නව අදහස දක්වන්න