වතුරත් නැති පාරක් නැති වවුලගල ජනපදය | දිනමිණ

වතුරත් නැති පාරක් නැති වවුලගල ජනපදය

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

හොරණ, මුනගම, වවුලගල ජනපදයේ පදිංචිකරුවෝ දිගු කලෙක සිට උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා ඇතැයි පවසති. වරින් වර ගමට පැමිණෙන මහජන නියෝජිතයින් ජලය ලබා දෙන බවට පොරොන්දු දී ඡන්දය දිනා ගැනීමට කටයුතු කළත් මෙතෙක් ඔවුන්ට දිය බිඳක් ලබා ගැනීමට නොහැකි වූ බව පෙන්වා දෙති .

79 කොටසේ ආරම්භයේ ටැංකියක් ද, කඳු මුදුනේ තවත් ටැංකියක් ද ඉදිකර එයට ජලය පොම්ප කර ගබඩා කිරීමෙන් ගම්වැසියන්ට ජලය බෙදා දීමට කටයුතු සැකසී තිබුණද එම ව්‍යාපෘතිය අතරමග නැවති වසර හත අටක් ගතව ඇති බව ගම්වාසීහූ පවසති. එම ටැංකියේ වැසි ජලය එක් වී පල් වීම නිසා මේ වන විට පාරිසරික ප්‍රශ්න ගණනාවක් ඇතිවීමේ අවදානමක් ද තිබේ .

හරිහැටි පාරක් නොමැති මෙම ජනපදයේ පදිංචිකරුවන් පා පැදියකින් පවා යා නොහැකි අඩි පාරේ ගමන් කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ එදිනෙදා කුලි රැකියාවල නියැලෙමිනි. ඉංගීසී පාලන සමයේ දිය නෑමට ඉදිකළ පිහිනුම් තටාකය මෙම වැසියන්ගේ පවස නිවන එකම ජල සම්පත වී ඇතත් එහි ජල ප්‍රමාණය පවුල් හාරසියකට ආසන්න පිරිසකට ප්‍රමාණවත් නොවේ. එයද පානයට මෙන්ම නෑම සහ රෙදි සේදීම වැනි කටයුතු වලටද යොදා ගත යුතු බැවිනි .

ඉන්දිකා කුමාරි - "467 , 79 කොටස වවුලගල, හොරණ ලිපිනයේ තමයි මම පදිංචි වෙලා ඉන්නේ. දැන් අවු 10 ක් විතර වුණා මෙහෙට ඇවිත්. ළමයි තුන්දෙනෙක් ඉන්නවා. මේක සුද්දකුගේ වත්තක්. හැම තැනම ගල්. ළිං කපා ගන්න පුළුවන්කමක් නැහැ . සුද්දා නාපු ටැංකිය තමයි දැන් මුළු වත්තටම තියෙන එකම ළිඳ. ඒකත් දැන් හොඳටම අබලන් වෙලා කැඩි කැඩි යනවා කිසිම අලුත්වැඩියාවක් නැහැ. මේ ටැංකියට වතුර එන්නෙ කොහෙන්ද කියලා අපි හරියටම දන්නෙ නැහැ. මං හිතන්නේ පොළොව යටින් දාල තියෙන බටයකින් තමයි වතුර ටික එන්නෙ. පායන කොට ඒකෙත් වතුර හිඳෙනවා."

රෝහිණි සුරංගි - "අපි ඇවිල්ලත් අවුරුදු 8ක් විතර. එදා ඉඳලම තියෙන්නෙ වතුර ප්‍රශ්නේ. ළිං දෙකක් කැපුවා. වතුර නෑ . ගමට වතුර දෙනව කියල පයිප්ප ටික යට කෙරෙව්වෙ අපේ ශ්‍රමයෙන්. ලක්ෂ ගාණක් වියදම් කරල ටැංකියකුත් බැන්ඳා . ඒ ළඟම මෝටරේට කාමරේකුත් හැදුවා. දැන් බට ටික පොළොව යට. එතනින් එහාට ඒ ව්‍යාපෘතිය ගියෙ නෑ. වතුර ටික දීල පාරවල් ටික හදල දෙනව නම් ලොකු දෙයක් ."

එම් . සමන්ත - "අවුරුදු සීයකටත් වැඩි මේ පරණ ටැංකියෙන් සුද්දාට පිංසිද්ධ වෙන්න තමයි වතුර පොඩ්ඩ හරි අපිට ලැබෙන්නෙ. නැත්නම් කොහොමටවත් වතුර බින්ඳුවක් නැහැ. මුළු වත්තෙම කට්ටිය හවස් වෙන කොට මේ ටැංකිය ළඟට පිරෙනවා. මෙතන ලයිට් එක පිච්චිලා දැන් හුගක් කල්. රෑට වැඩ ඇරිල එන අය කරුවලේ තමයි නා ගන්නෙ. පාරවල්වලත් හුඟක් ලයිට් පිච්චිලා . ඒවයෙ නඩත්තුවක් ඇත්තේ නෑ. කට්ටියක් සමිතියක් හදාගෙන වතුර අරන් තියෙනවා. ඒකට ලොකු ගාණක් මාසෙකට බිල එනවා. එදා වේල හොයා ගන්න දුප්පත් මිනිස්සුන්ට ඒකට බැඳෙන්න පුළුවන්කමක් නෑ."

ඩි. සුමිත් - "දේශපාලනඥයෝ ඇවිත් වතුර දෙන්නම් කියල තමයි අපේ ඡන්ද ටික ගන්නේ. ඊට පස්සෙ පැත්ත පළාතෙ එන්නෙ නෑ. මීට පස්සෙ අපි ඕවට රැවටෙන්නෙ නෑ. බට ලයින් ඔක්කොම දාල තියෙද්දිත් අපිට වතුර ටික දෙන්න කිසි කෙනෙක් නැහැ. මේ පාරවල් සේරම කැඩිල ගිහිල්ලා. මළගෙයක් වුණත් මිනිය ගෙනියන්නෙ කරේ තියාගෙන. වාහනයක් යන්න හරියකට පාරක් නෑ හොරණට කිට්ටුව මේ වගෙ ගමක් තියෙනව කිව්වම කොච්චර ලැජ්ජද ? "


නව අදහස දක්වන්න