හීන්දෙණිය-පට්ටිගොඩ දුම්රිය ස්ථානය වැඩි දියුණුවට පියවර | දිනමිණ

හීන්දෙණිය-පට්ටිගොඩ දුම්රිය ස්ථානය වැඩි දියුණුවට පියවර

ජනතාව ගැවසෙන පොදු ස්ථානයක තිබිය යුතු අවම පහසුකම් වන ජලය, වැසිකිළි වැනි පහසුකම් පමණක් නොව යන්නට එන්නට හරිහමන් පාරක්වත් නැති හීන්දෙණිය - පට්ටිගොඩ දුම්රිය ස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කර වැඩි දියුණු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මධ්‍යම ඉංජිනේරු අංශයේ නිලධාරීන් සමඟ පසුගියදා මෙම දුම්රිය ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණි අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව අනාවරණය කළාය. මේ සම්බන්ධව තමා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවී කරුණු පැහැදිලි කළ බව ද, එහිදී ස්ථානීය පරීක්ෂණයක් පවත්වා වැඩි දියුණු කිරීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා අදාළ ඉංජිනේරු අංශයට උපදෙස් දුන් බව එතුමිය සඳහන් ක‍ළාය.

හීන්දෙණිය - පට්ටිගොඩ දුම්රිය ස්ථානය ඉදිකර ඇත්තේ හීන්දෙණිය සහ පට්ටිගොඩ ගම්මාන දෙක වෙන්කරන වෙල්යාය මැදින් දිවෙන දුම්රිය මාර්ගය දෙපස රේල් පීලිවලින් සැකිල්ල තනා ඒ මත කොන්ක්‍රීට් ලෑලි ඇතිරීමෙනි. මගීහු දුම්රිය ස්ථානයට එන්නේත්, දුම්රියෙන් බැස යන්නේත් ගමන් කිරීම නීතියෙන් තහනම් දුම්රිය පාර දිගේයි. මේ හේතුවෙන් දුම්රියේ හැපී මියගිය සංඛ්‍යාව 15කට වැඩි බව ප්‍රදේශවාසීහු පවසති. මීට පිළියමක් ව‍ශයෙන් මගී වේදිකාව දුම්රිය හරස් පාර දක්වා අඩි 200කින් දීර්ඝ කිරීමට ස්ථානීය පරීක්ෂාවේදී තීරණය විය.

දුම්රිය ස්ථානයේ ජල ප්‍රශ්නය විසඳීම සඳහා දුම්රිය හරස් පාර අද්දර වල්වැදී ඇති ළිඳ පිළිසකර කර පොම්ප සවිකිරීමට තීරණය විය.

ජයවීර සුගතපාල
අත්තනගල්ල විශේෂ


නව අදහස දක්වන්න