මාස දෙකකට වැඩි කාලයක සිට වෛද්‍යවරයකු නෑ | දිනමිණ

මාස දෙකකට වැඩි කාලයක සිට වෛද්‍යවරයකු නෑ

දිනපතා 40 -50 ක පමණ පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණෙන ගොකරැල්ල ආයුර්වේද බෙහෙත් ශාලාවේ මාස දෙකකට වැඩි කාලයක සිට වෛද්‍යවරයෙකු නොමැතිවීම හේතුවෙන් එහි පැමිණෙන අයට හිස් අතින් ආපසු යාමට සිදුව තිබේ. ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව මඟින් මෙම බෙහෙත් ශාලාව පවත්වාගෙන යනු ලබයි.

මෙහි සේවය කරමින් සිටි වෛද්‍යවරිය 2018.06.23. දින සිට ප්‍රසුත නිවාඩු ලබා සිටින අතර ඒ සදහා ආදේශක වෛද්‍යවරයෙකු පත් නොකිරීම නිසා මේ තත්ත්වය උද්ගතවී ඇතැයි කියති. මෙහි සේවය කරන සේවකයින් දෙදෙනෙකු දිනපතා බෙහෙත් ශාලාව විවෘත කරන නමුත් කිසිදු කටයුත්තක නොයෙදී ඔවුනට සවස ආපසු යාමට සිදුව තිබේ. මේ තත්ත්වය තුළ මෙහි ඇති වටිනා ඔෂධ කල් ඉකුත් වෙමින් පවතින බවද වාර්තාවේ.

අප එහි ගිය අවස්ථාවේ ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණ සිටි ගොකරැල්ල, ඉහළ වල්පොල ආර්.එම්. බිසෝමැණිකා මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

මම දැන් අවුරුදු දෙකකට වැඩි කයක ඉදල දණහිස් අමාරුවකට මෙතනින් බෙහෙත් ගන්නව. මුලින් ඉංග්‍රීසි බෙහෙත් කළා සුවයක් ලැබුනේ නෑ. දෙයියන්ගෙ පිහිටෙන් මෙතන නෝනගේ බෙහෙත් වලට මට අඩු වුණා. ඇවිදගෙන යන්න අමාරුවෙන් සිටිය මට දැන් ඇවිදින්න පුළුවන්. නෝනා මීට මාස දෙකකට විතර ඉස්සර දරුවෙක් ලැබෙන්න නිවාඩු ගියා. යන්න ඉස්සර ඒ නෝනා කිව්ව මම ගියත් තව හොද මහත්තයෙක් එනව අම්ම දිගටම ඇවිල්ල බෙහෙත් ටික ගන්න කියල. දැන් මගේ බෙහෙත් ඉවර වෙලා. අදවත් බෙහෙත් ටිකක් ගන්න කියලයි ආවේ. අද මම බෙහෙත් ගන්න ඇවිල්ල දොස්තර කෙනෙක් නැතුව ආපහු යන හතරවෙනි දවස. මහත්තයෝ මෙතෙන්ට එන්නෙ දුප්පත් මිනිස්සු .

මේ පිළිබදව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති යු.කේ. සුමිත් උඩුකුඹුර මහතාගෙන් විමසු විට ඔහු මෙසේ පැවසීය.

අපි ඩොක්ටර් කෙනෙක් දෙන්න කියල‍ා වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කරල තියෙනවා. නමුත් තවමත් වෙද්‍යවරයෙක් දීලා නෑ. පසුගිය සතියෙත් මම ඒ අයට මතක් කළා. එත් ලැබුනේ නෑ. මම නැවත වරක් හෙට අනිද්දම මේ ගැන ඒ අයත් එක්ක කතා කරනවා.

පොල්පිතිගම සමුහ

 


නව අදහස දක්වන්න