සංවර්ධන-සංහිඳියා අරමුණු ජය ගන්න ජනපතිට උපරිම සහාය | දිනමිණ

සංවර්ධන-සංහිඳියා අරමුණු ජය ගන්න ජනපතිට උපරිම සහාය

ආධාර දෙන ජගත් සංවිධාන නියෝජිතයෝ සහතික වෙති

සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජය ගැනීමට ජනපති දරන වෑයමට තම පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයෝ පවසති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම නියෝජිතයන් අතර හමුවක් පසුගිය දා (5) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වුණු අතර එහිදී ඔවුහු මේ බව කියා සිටියහ. ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායනය, කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වැනි ප්‍රධාන ජාත්‍යන්තර ආයතන රැසක නියෝජිතයෝ මෙම හමුවට එක්ව සිටියහ.

දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා මෙම ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඉදිරියේ දී වඩාත් පුළුල් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

රජය ක්‍රියාවට නංවා තිබෙන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ පළාත් නවයම එක සමාන සංවර්ධනයකට ගෙන එමින් රටේ සියලූ ජනතාවට සංවර්ධනයේ සම ප්‍රතිලාභ ලබාදීම තම අරමුණ බවයි.

යුද්ධය හේතුවෙන් විනාශයට පත් වූ උතුරු නැ‍ෙඟෙනහිර ප්‍රදේශ සංවර්ධනය කරා ගෙන යමින් එම ජනතාවට ද සංවර්ධන අයිතින් ලබාදීම වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා එම ජනතාවගේ පානීය ජල ගැටලූ විසඳීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙළේ දී තවදුරටත් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනවල සොය අපේක්ෂා කරන බව කියා සිටියේය.

එමෙන්ම රටේ ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම වෙනුවෙන් දිළිදුකම පිටුදැකීමේ වර්ෂයක් ද ප්‍රකාශයට පත් කරමින් රජය පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා ද සියලූ පාර්ශ්වයන්ගේ සහාය අපේක්ෂා කරන බව කියා සිටියේය.

උතුරු නැ‍ෙඟෙනහිර අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සියයට 88ක් මේ වන විට අවසන් කර තිබෙන අතර, ඉතිරි සියයට 12 ද කඩිනමින් සම්පූර්ණ විය යුතුය යන අරමුණ ඇතිව රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා උතුරු නැ‍ෙඟෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව පිළිබඳ ගැටලූවට විසඳුම් සෙවීමට මෙන්ම, මත්ද්‍රව්‍ය උවදුර පාලනය වෙනුවෙන් ද රජය විශේෂ අවධානයක් යොමු කර වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බව සඳහන් කළේය.

රජය උතුරු නැ‍ෙඟෙනහිර පළාත්වල ක්‍රියාවට නංවා තිබෙන මෙම සංවර්ධන ක්‍රියාදාමය සාර්ථක කර ගැනීමේ දී එහි සියලූ දේශපාලන නියෝජිතයන්ගෙන් ලැබිය යුතු සහාය ඉතා වැදගත් බව ද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එම සියලූදෙනා එක්කර ගනිමින් සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජයග්‍රහණය කිරීම තම අපේක්ෂාව බව වැඩිදුරටත් කියා සිටියේය.

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට ස්ථාපිත කළ කාර්යාලයේ අතුරු වාර්තාව ඊයේ තමා වෙත ලැබුණු බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරියේ දී කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද අදහස් දැක්වීය.

අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී මෙම නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම වංචාවට සහ දූෂණයට වැට බඳිමින් පිරිසුදු රාජ්‍ය පාලනයක් ගොඩනැඟීමේ රජයේ කැපවීම ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

මේ අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිතවරිය ලෙස පත්ව ආ හානා සිංගර් මහත්මිය පසුගිය දා (5) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූවාය.


නව අදහස දක්වන්න