පොහොට්ටුවට ජනබලයක් නෑ | දිනමිණ

පොහොට්ටුවට ජනබලයක් නෑ

සන්ධ්‍යා කරුණාරත්න

උද්ඝෝෂණයෙන් ඓතිහාසික සිද්ධියක් වුණෙත් නැහැ

ආණ්ඩු බලය ලබා ගන්නා බව කියමින් පොහොට්ටුව ජනබලය සංවිධාන කළ ද, පොහොට්ටුවට ජන බලයක්වත්, ඊට සහාය ලබා දුන් මාධ්‍යයට පච බලයක්වත් නොමැති බවත් ඉතිරිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයත් - එහි 72වැනි සංවත්සරයත් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කිසිම ඓතිහාසික සිද්ධියක් ජන බලයෙන් සිදු වුණේ නොමැති බවත් එදා දිනයේ දී සිදු වූ ඓතිහාසිකම සිදුවීම වනුයේ නිවාස අමාත්‍යාංශය යටතේ නිවාස යෝජනා 138ක් පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා අතින් යහපාලන ආණ්ඩුවේ සහාය ඇතිව විවෘත කිරීම බවත් අගමැතිවරයා පැවැසුවේය.

එම සංවර්ධන වැඩසටහන කිසිදු මාධ්‍යයක පළ නොවූ බවත් මාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය නැති කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. සිරිකොත පැවැති එක්සත් ජාතික පක්ෂයේ 72වැනි සංවත්සර උළෙලට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව ඊයේ (6) ප්‍රකාශ කළේය.

'වැඩ කරන - වැඩ කරපු, 72 වැනි සංවත්සර සැමරුම' තේමාව යටතේ මෙවර එජාප සංවත්සරය සැමරීම සිදු කෙරිණි.

සම්මේලනය තියන්න ඕනද? කියලා අසමින් තමාට දුරකථන ඇමැතුම් කිහිපයක් පසුගිය දින කිහිපයේ ලැබුණු බවත්, ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා සම්මේලනය කල් දාමුද කියා තවත් අය ඇසූ බවත් අගමැතිවරයා පැවැසුවේය.

එසේ පැවැසූ අයට තමා දුන් පිළිතුර වූයේ අපි අපේ වැඩේ කරමු එයාලා එයාලගේ වැඩේ කර ගනීවි යැයි ද අගමැතිවරයා කීය.

1946 වසරේ දී ආරම්භ කළ පක්ෂ අතරින් අදටත් ඉතිරිව තිබෙනුයේ එජාපය බවත් පක්ෂයේ සාමාජිකයන්වීම ගැන අපි ආඩම්බර විය යුතු බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ජාතික ආණ්ඩුවක් ලෙස 2015 වසරේ දී එජාපය ද බලය ලබා ගත් අතර, ණය උගුලක හිර වී සිටි ආණ්ඩුවක් බාර ගත් බවත්, ණය බර තිබෙන ආර්ථිකයක් නොව ණය ගෙවිය හැකි ආර්ථිකයක් ඉදිරි පරම්පරාවට උරුමකර දීමට කටයුතු කරන බවත් අගමැතිවරයා පැවැසීය.

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යනාදි වැඩසටහන් මේ වන විට රට සංවර්ධනය කිරීමේ අරමුණෙන් ආරම්භ කර ඇතැයි ද, ඉදිරියේ දී තවත් වැඩසටහන් ගණනාවක් ආරම්භ කරන්නේ යැයි ද අගමැතිවරයා පැවැසුවේය.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න