රවිට යළිත් කැබිනට් ඇමැතිකමක් | දිනමිණ


 

රවිට යළිත් කැබිනට් ඇමැතිකමක්

ශිරෝමි අබයසිංහ

හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍යධූරයක් දීමට තීරණය වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී පෙරේදා (5) පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මේ බව බව සඳහන් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි අලවතුවල හා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි. පෙරේරා යන මහත්වරු දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වි සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්දීමට අනුව නීතිපති මතය ද ලබන සතියේ දැනුම් දීමට නියමිතය.

ඉහත පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධූරය ස්ථිර වශයෙන්ම හිමිවීමට නියමිතය.

නව අදහස දක්වන්න