උද්ඝෝෂණයේ දී ආරක්ෂක අංශ මෙහෙය වූ ආකාරය ගැන අගමැතිට පැසසුම් | දිනමිණ

උද්ඝෝෂණයේ දී ආරක්ෂක අංශ මෙහෙය වූ ආකාරය ගැන අගමැතිට පැසසුම්

ශිරෝමි අබයසිංහ

ඒකාබද්ධ විපක්ෂය කොළඹ දී පැවැත් වූ උද්ඝෝෂණයේ දී විරෝධතාකරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස ආරක්ෂක අංශ මෙහෙයවීම ගැන පසු පෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී විශේෂ ස්තූතිය පළ කළේය.

එක්සත් ජාතික පෙරමුණු පසු පෙළ මන්ත්‍රීවරු ඉහත විශේෂ ස්තූතිය පළ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ 72වැනි සංවත්සරයෙන් පසුව අගමැතිවරයා හමුවීමෙන් අනතුරුවය.

කොළඹට ජනතාව කැඳවා ප්‍රකෝපකාරී සිදුවීම් ඇති කොට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ල කර ගැනීමට උත්සාහයක් තිබුණු බව සඳහන් කළ පසු පෙළ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නියමාකාරයෙන් හැසිරවීමට අගමැතිවරයා දුන් උපදෙස් අතිශය වැදගත් වුනැයි ද කියා සිටියේය.

පරිනත දේශපාලනඥයෙකුගේ ලක්ෂණ යළිත් පෙන්නුම් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය තමන්ට ද ආදර්ශයක් යැයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එහිදි කීවේය.

විශේෂයෙන්ම ජනාධිපති නිල නිවස හා කාර්යාල ආරක්ෂා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන තිබු වැඩපිළිවෙළ ද පසු පෙළ මන්ත්‍රීවරු අගය කළහ.


නව අදහස දක්වන්න