බෙල්ලන්විල දෙමහල් නිවසේ ගින්නෙන් ගැබිනි වෛද්‍යවරිය මරුට | දිනමිණ

බෙල්ලන්විල දෙමහල් නිවසේ ගින්නෙන් ගැබිනි වෛද්‍යවරිය මරුට

විජයානි එදිරිසිංහ

බෙල්ලන්විල දෙමහල් නිවසක ඊයේ (6) දහවල් ඇති වූ ගින්නකින් තිස් අට හැවිරිදි ගැබිනි වෛද්‍යවරියක් මිය ගොස් ඇගේ සැමියා වු විශේෂඥ වෛද්‍යවරයාට සහ ඔවුන්ගේ පස් හැ‍විරිදි පුතු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අංක 86 ශ්‍රි සෝමරත්න මාවත බෙල්ලන්විල බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි විදර්ශි ඩයස් නැමැති වෛද්‍ය වරියකි. මෙම වෛද්‍යවරිය හොරණ රජයේ රෝහලේ සේවය කර, දැනට සේවයෙන් ඉවත්ව සිටී. ඇය මිය යන විට ගැබිනියකව සිටි බව පොලිසියට තොරතුරු ලැබී ඇත.

ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වන එම වෛද්‍යවරයා සහ පස් හැවිරිදි පුතා කළුබෝවිල රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි. ඔවුන්ට ද ගින්නෙන් බරපතළ තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි.

මෙම ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව පවසන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරිමට හැකි තත්ත්වයක වෛද්‍යවරයා නොමැති බවද පැවසේ. ගින්න හදිසියේ ඇති වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා ගැනීමට බොරැලැස් ගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


නව අදහස දක්වන්න