අපහාස චෝදනා නඩුව අත්හිටුවන්නැයි විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ඉවත දමයි | දිනමිණ

අපහාස චෝදනා නඩුව අත්හිටුවන්නැයි විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ඉවත දමයි

කුමුදු හෙට්ටිආරච්චි

තමාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනුකර ඇති නඩුවේ කටයුතු අත්හිටුවන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ උතුරු පළාත් අමාත්‍යවරයකු ලෙසට කටයුතු කළ බී. ඩෙනිස්වරන් එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් විග්නේෂ්වරන් මහතා ගොනුකළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දීය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විග්නේෂ්වරන් මහතා ගොනුකර ඇති අභියාචනා පෙත්සම සැප්තැම්බර් 28 වැනිදා සලකා බැලීමට දින නියම කළේය.

විජිත් මලල්ගොඩ, ප්‍රියන්ත ජයවර්ධන හා ඒ. ටී. ජී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම අභියාචනා පෙත්සම සලකා බැලිනි.

මෙම අභියාචනා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් බී. ඩෙනිස්වරන් මහතාගේ අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීම කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් 2008 ජූනි 29 වැනිදා නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙසට සී. වී. විග්නේෂ්වරන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.


නව අදහස දක්වන්න