අතුරුදන්වූවන්ගේ අයිතිවාසිකම් යුක්තිය ඉටුකිරීම රාජ්‍ය වගකීමක් | දිනමිණ

අතුරුදන්වූවන්ගේ අයිතිවාසිකම් යුක්තිය ඉටුකිරීම රාජ්‍ය වගකීමක්

මහින්ද අලුත්ගෙදර

අතුරුදන්වූවන්ගේ අයිතිවාසිකම් සහ අව්‍යශ්‍යතා සම්බන්ධ කටයුතුවල දී යුක්තිය ඉටුකිරීම ප්‍රධාන රාජ්‍ය වගකීමක් ලෙස පවතින බව අතුරුදන්වූතැනැත්තන් පිළිබඳ කාර්යාලය නිකුත්කළ අතුරු වාර්තාව මඟින් පෙන්වාදෙයි.

බලහත්කාරයෙන් කරන ලද අතුරුදන් කිරීම්වලට අදාළ වගකිවයුතු තැනැත්තන් නීතිය ඉදිරියට පැමිණවීම අතුරුදහන්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැලසීමේ දී අත්‍යවශ්‍යය පියවරක් වනවා පමණක් නොව එය සමස්ත සමාජයක් ලෙස වැදගත් වන බවද අතුරුදන් වූ හෝ අතුරුදහන් කරන ලද අයවලුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මඟින් ඇතිකරන ලද හානිය, හානිපූරණය කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද එම වාර්තාව මඟින් පෙන්වාදෙයි.

ඊට අමතරව හානිපූරණය කිරීම සඳහා ඵලදායි සහ විශ්වසනීය කාර්යාලයක් බවට පත්කරනු වස් නීති සම්පාදනය කිරීම ඉතා වැදගත් බවද පවුල්වල දිවි පෙවෙත රැකබලා ගත් තැනැත්තන් අතුරුදන්වීමෙන්, අතුරුදහන්වූවන්ගේ පවුල් පත්ව ඇති අන්ත දුක්ඛිතභාවයත් ඒ නිසාම මතුව ඇති සහන සැලසීමේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඇතැයි ද එම වාර්තාව කියාසිටී.

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පෙරේදා (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වන ලද අතර එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් එම වාර්තාව භාරදෙනු ලැබීය. මාස 06 ක් තුළ සිදුකෙරුණු පරික්ෂණ අනුව සකස් කෙරුණු අතුරු වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙහිදී අදහස් දැක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ මේ පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, කැබිනට් අනු කමිටුවක් ද පත්කිරීමට කටයුතු කරන බවයි. අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන කාර්යයන් 4ක් ඇති අතර අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීම, අතුරුදහන්වූවන් සොයා යාම සහ එකී අතුරුදහන්වූවන්ට අත්ව ඇති ඉරණම සහ එකී අතුරුදහන්වීම්වලට අදාළ තත්ත්වයන් පැහැදිලි කිරීම, අතුරුදහන් කිරීම් නැවත සිදුනොවීම සහ අවම කිරීම සඳහා වගකිව යුතු ආයතන සඳහා අවශ්‍ය නිර්දේශයන් කිරීම, අතුරුදහන් කරවන ලද වින්දිතයින්ගේ සහ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සහ බැඳියාවන් ආරක්ෂා කිරීම සහ සහන සැලසීම සඳහා යෝග්‍ය ප්‍රවේශයන් හඳුනාගැනීම ඒ අතර වෙයි.

ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත මඟින් පිහිටුවා තිබෙන අතර අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමත් එවැනි අතුරුදහන්වීම් නැවත සිදුනොවීම සඳහා නිර්දේශ ලබාදීමත් අතුරුදහන්වූවන්ගේ හා ඔවුන්ගේ ඥාතින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තහවුරු කිරීමත් සහන සැලසීම සඳහා සුදුසු ක්‍රමවේදයන් සකස් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම අපරාධ වරදක් ලෙස ස්ථාපිත කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙන මෙම අතුරු වාර්තාව යුක්තිය පසිඳලීම සඳහා වැදගත්වන විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණයන් අතර මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරන පවුල්වල සාමාජිකයන්, ක්‍රියාධරයන් සහ මානව හිමිකම් නීතිඥයන්ට එරෙහිව සිදුවන බිය ගැන්වීම් සහ හිංසනයන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව ද නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අතුරුදන්වූවන් සහ අතුරුදහන්කරවන ලද තැනැත්තන් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, කොමිෂන් සභා සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් විසින් රැස්කර ඇති දත්ත සියල්ල අධ්‍යයනය කර එක් ලේඛනයක් සකස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදෙන එම අතුරු වාර්තාව අතුරුදන්වූවන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මෙම වාර්තා අනුකූලකර ගැනීමේ විශේෂි කාර්යභාරය ඉටුකරමින් මධ්‍යගත ලේඛනයක් සකස් කිරීමට පියවර ගන්නා බවද මෙම අවස්ථාව වනවිටත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පසුගිය කොමිෂන් සභා වාර්තා ද ඇතුළුව දැනට පවත්නා දත්තයන් සහ තොරතූරු ඒකරාශී කිරීම ආරම්භකර ඇති බවද කියාසිටී.


නව අදහස දක්වන්න