හැටන් සිට ජනබල මෙහෙයුමට ආ තිදරු පියා හදිසියේම මියගිහින් | දිනමිණ

හැටන් සිට ජනබල මෙහෙයුමට ආ තිදරු පියා හදිසියේම මියගිහින්

චන්දන ජයවීර

ජනබල මෙහෙයමුට සහභාගි වු හැටන් ප්‍රදේශයේ තිදරු පියෙක් හදිසියේ මිය ගොස් තිබේ.

මෙසේ ජිවිතක්ෂයට පත්වුයේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු ජගත් විමලසුරිය (39)නමැති තිදරු පියෙකි.

පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කළ ඔහු ඊයේ (05) පෙරවරුවේ හැටන් සිට ජනබල මෙහෙයුමට සහභාගිවීමට පැමිණ සිටි අතර එම අවස්ථාවේදී හදිසියේ අසනීප වීමත් සමඟ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පක්ෂයේ ඔහු සමඟ සහභාගිවුවෝ පවසති.

මෘත දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ. ඔහුගේ බිරිය රැකියාවක් සඳහා විදේශගතව ඇති අතර දරුවන් තිදෙනා සිය පියා සමඟ වාසය කරමින් අධ්‍යයන කටයුතු කරමින් සිටි.

තිදරු පියාගේ මරණය හෘදයාබාධයකින්

මරණ පරීක්ෂණයේදී අනාවරණය වෙයි

"ජනබලය කොළඹට" යනුවෙන් පෙරේදා (05) පැවැති ජන රැලියට සහභාගි වූ තිදරු පියකු හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරුමුවට පත්වීමේ සිද්ධියක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණයෙන් ඊයේ (06) වාර්තා විය.

හැටන් කුඩාගම සමඟි මාවතේ පදිංචි අබේවල මැදගෙදර ජගත් විමලසූරිය නැමැති 39 හැවිරිදි තිදරු පියෙකු මෙලෙස මරුමුවට පත්ව ඇත.

තමා සමඟින් මරණකරු ඊයේ (05) හැටන් සිට ජනබලය රැලියට සහභාගි වීම සඳහා පැමිණි බවත් කොළඹ මාළිගාවත්ත සද්ධර්ම මාවත ප්‍රදේශයේ සවස 3.30 ට පමණ බස් රථය නවතා පා ගමනින් ලේක්හවුස් වෙත පැමිණි බවත් පසුව මරණකරු දැකගැනීමට නොහැකි වූ බවත් සවස 6.45 ට පමණ ලේක්හවුස් සිට නැවත පාගමනින් බස් රථය නවතා තිබූ මාළිගාවත්තට ගොස් බසයට ගොඩ වී බැලීමේදී මරණකරු හාන්සි වී සිටි බවත් පසුව සියලු දෙනාම ඔහුව අවදි කිරීමට උත්සාහ කිරීමේදී අවදි නොවූ බැවින් බස් රථයෙන්ම කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් ඇති බවට එහි සිටි වෛද්‍යවරිය අප වෙත දැන්වූ බව පෙරේදා (05) පැවැති ජනබලය රැලියට සහභාගි වූ තිදරු පියෙකුගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (06) කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණයේදී රත්නායක මුදියන්සේලාගේ ශෂි විශ්වනන්ද රත්නායක (49) සාක්කි දෙමින් පැවසීය.

මෙහිදී මියගිය අයගේ පියා වන අබේවල මැදගෙදර විමලසූරිය (62) යන අය අධිකරණය හමුවේ සාක්කි දෙමින් මෙසේ කීය. මියගොස් සිටින්නේ මගේ පුතා. ඔහු විවාහකයි. ඔහුට දරුවන් තිදෙනෙකු සිටිනවා. ඔහුගේ බිරිය වි‍ෙද්ශ රටක රැකියාවක් සඳහා පිටව ගොස් තිබෙනවා. පුතා රැකියාව වශයෙන් පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු ලෙස කටයුතු කළා. පුතාට කිසිම දරුණු ලෙඩක් තිබුණේ නැහැ. නමුත් මීට අවුරුද්දක සිට පපුවේ රිදෙන බවට අපට කියා තිබෙනවා. 05 වැනිදා උදේ 9.30 ට පමණ කොළඹ ජනබල ‍රැලියට සහභාගිවීම සඳහා හැටන්වලින් පිටත් වුණා. පසුව රාත්‍රී 8.30ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවට ආරංචි වුණා. අද (06) පුතා මියගිය බවට දන්වනු ලැබුවා.

කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. සී. ලක්මාලි මහත්මිය මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය.

අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැළකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ‍මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා මියගිය අයගේ මරණය හෘදයාබාධයකින් සිදුවූ ස්වභාවික මරණයක් බවට නිගමනය කළේය.

මාළිගාවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් (55132) ජයන්ත හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් (27689) ලාල් පතිරණ යන නිලධාරීහු මෙහිදී සාක්කි මෙහෙයවූහ.

හේමන්ත ඩෙප්


නව අදහස දක්වන්න