දේශීය අල මිලදී ගැනීම සතොස හරහා | දිනමිණ

දේශීය අල මිලදී ගැනීම සතොස හරහා

සුභාෂිණී සේනානායක

දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව ඊයේ ( 05) රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

ලංකා සතොස මිලදී ගැනීමේ නිලධාරීන් අල ගොවීන් වෙතම ‍ගොස් අල කිලෝවක් රු.90.00 බැගින් ද, අල ගොවීන් විසින් ලංකා සතොස වෙත ගෙනැවිත් දෙන අල කිලෝවක් රු.100.00 බැගින් ද මිලදී ගැනීමට තීරණය කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එසේම මෙසේ මිලදී ගන්නා අල කිලෝවක් ලංකා සතොස අලෙවි කරන්නේ රු.115.00 ක මිලකට බවත් ඉහත සඳහන් මිල ගණන්වලටම අල ගොවීන්ගෙන්, අල මිලදී ගන්නා ලෙස අනෙකුත් පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල්වලින් ද ජීවන වියදම් කමිටුව ඉල්ලා සිටියි.

දේශීය අල ගොවියා, අතරමැදියන්ගේ සූරා කෑමෙන් වළක්වා, නියම ගොවියාගෙන්ම අල මිලදී ගැනීමෙන් හොඳ මිලක් ලබාදීම ලංකා සතොසේ අරමුණ වන බවද, එසේම දේශීය අල ගොවියා දිරිමත් කරමින් ඔවුන්ට වෙළෙඳපොළ තරගකාරීත්වයේ වාසිය ලබාදීමටත්, සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට අල අලෙවි කිරීමටත් අපේක්‍ෂා කරන බවත් රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අල ගොවීන්ගේ මිලදී ගන්නා අල, ලංකාව පුරා පිහිටි ලංකා සතොස සියලුම අලෙවිසල් ඔස්සේ පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා කියා සිටී.

නව අදහස දක්වන්න