බාරගත්තේ පුරන්වූ කුඹුරක් වැනි රටක් අද මුළු රටම අස්වැන්න බුක්ති විඳිනවා | දිනමිණ

බාරගත්තේ පුරන්වූ කුඹුරක් වැනි රටක් අද මුළු රටම අස්වැන්න බුක්ති විඳිනවා

සන්ධ්‍යා කරුණාරත්න

දැයේ අභිමානය ආරක්ෂා කරන්නේ එජාපයය
- ඇමැති සජිත්

වසර 2015 දී පුරන් වූ කුඹුරක් වැනි රටක් බාරගෙන විවිධ අභියෝග මධ්‍යයේ එය සකස් කරමින් වී වපුරා, දැන් අස්වැන්න නෙළන තත්ත්වයට පත් කර තිබෙන බවත් ඉදිරි කාලයේ දී පාක්ෂිකයන්ට මෙන්ම රටට එහි අස්වැන්න භුක්ති විඳිය හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ණය බරින් පිරුණු කුඹුරක් බාර ගන්නා විට සෙසු අය ප්‍රකාශ කළේ එය අපට අස්වැද්දීමට නොහැකි බව යැයි ද, කෙසේ හෝ අපි බාර ගත් කුඹුර වපුරා සාරවත් අස්වැන්නක් නෙළා ගැනීමට මේ වන විට කටයුතු කර ඇත්තේ යැයි ද අගමැතිවරයා පැවසීය.

සිරිකොත පැවති එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර උළෙලට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව ඊයේ (06) ප්‍රකාශ කළේය. “වැඩ කරන - වැඩ කරපු, 72 වැනි සංවත්සර සැමරුම“ තේමාව යටතේ මෙවර එජාප සංවත්සරය සැමරීම සිදු කෙරිණි.

අගමැතිවරයා එහිදී මෙසේද පැවසීය.

අපේ පක්ෂයේ 72 වැනි සංවත්සරය අද අපි සමරනවා. පාම්කෝට් මන්දිරයේ ආරම්භ කළ මේ සංවිධානය අද ශ්‍රී ජයවර්ධනපුර සිරිකොත සිට වැඩ කරනවා. මට පෙරේදා දුරකථන ඇමතුම් දෙක තුනක් ආවා. සර්, පක්ෂ සම්මේලනය තියන්න ඕනද, අර පැත්තෙන් පොහොට්ටුව එනවා. බලය අල්ලා ගන්න කියලා කෙනෙක් කතා කළා, ආණ්ඩුව ආරක්ෂා කර ගන්න සම්මේලනය කල් දාමුද කියලා තව කෙනෙක් ඇහුවා. ඇයි එහෙම කියන්නේ කියලා මම ඇසුවා. පොහොට්ටුව කියනවා ආණ්ඩුව පෙරළලා බලය ගන්නවා කියලා. ඔහු උත්තර දුන්නා. මාධ්‍යය කියනවා පොහොට්ටුව බලවත්, ශිෂ්‍යයන්ට හා මහජනතාවට හානි වෙන්න පුළුවන් කියලා බය කරනවා, අපි අනාථ වෙනවා. මම කිව්වා, අපි අපේ වැඩේ කරමු, ඒගොල්ලන්ට ඒ අයගේ වැඩේ කර ගන්න දෙමු කියලා. අද බලන කොට පොහොට්ටුවේ ජන බලයක් නැහැ. ඊට සහාය දුන් මාධ්‍යයේ පච බලයත් නැහැ. එක්සත් ජාතික පක්ෂයයි - අපේ 72 වැනි සංවත්සරයයි ඉතිරි වෙලා තිබෙන්නේ කියලා මම කියන්න කැමැතියි. ඊයේ සිද්ධ වුණ ඓතිහාසික වැඩ කටයුත්ත මොකද්ද කියලා මට කියන්න. පළමුවෙනි වතාවට නිවාස යෝජනා 138 ක් පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා ආරම්භ කළා. ඒක තමයි එදා දවසේදි සිදු වුණ ඓතිහාසිකම වැඩ කටයුත්ත. කොයි මාධ්‍යයේද ඒක තිබුණේ. එය කිසිදු මාධ්‍යයක පළ වුණේ නැහැ. මාධ්‍යයෙන් අපේ පක්ෂය නැති කරන්න බැහැ. ඩී.එස්. සේනානායක මහතා ඇතුළු පක්ෂය ගොඩනැඟූ සියලු නායකයන්ට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එදා ඩී.එස්. මහතා කීවේ පක්ෂය ජය ගත්තොත් රට හදනවා, පරාජය වුණොත් විපක්ෂයේ සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියන එක. ඒ දෙකම එජාපයේ අවුරුදු 72 ක කාලය තුළදි සිදු කළා කියලා මම කියනවා. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මහත්වරු මේ පක්ෂයේ නායකත්වය ගත්තා. අපි ජයග්‍රහණය කළා. පරාජය වුණා. මේ පක්ෂය නැති වුණේ නැහැ. මේක තමයි මුල් බැසගෙන තිබෙන දේශපාලන ව්‍යාපාරය. 1946 ආණ්ඩුව කරපු පක්ෂවලින් කීයක් ඉතිරි වෙලා තිබෙනවාද. කීයක්ද හැම ඡන්දයකදීම ඉදිරිපත් වුණේ. එක්සත් ජාතික පක්ෂය විතරයි. ඒ නිසා එජාපයේ සාමාජිකයෙක් වෙන්න මම ආඩම්බර වෙනවා. අපි සියලුදෙනාම ආඩම්බර වෙනවා. මේ පක්ෂය ගැන මට ඉස්සරවෙලා කතා කළ නිලධාරීන් කතා කළා. මට පස්සේ කතා කරන නිලධාරීන් කතා කරන්න ඉන්නවා. අපි 2015 දි ආණ්ඩු බලය ගත්තා. ජාතික ආණ්ඩුවක් විදියට තමයි බලය ලබා ගත්තේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස ජයග්‍රහණය කර මම අගමැති වුණා. 2015 ජයග්‍රහණය කරමින් අපි බාර ගත්ත කුඹුර ගැන කියලා වැඩක් නැහැ. මේ කුඹුර ණය වෙලා, ණය වෙලා විකුණන්න හිටියේ. කුඹුර බලපු කෙනා පැනලා ගියා, ණය ගෙවා ගන්න බැරිව. අවුරුදු ගණනාවක් වගා කර තිබුණේ නැති කුඹුර අපි බාර ගත්තා. මේ කුඹුර අපි බාරගත්තාට අපිට කර ගන්න බැරි වෙයි කියලා ගොඩක් අය හිතුවා. මේ කුඹුර කරන කොට අපි ගංවතුරට, ඉඩෝරයට මුහුණ දුන්නා. හැම ප්‍රශ්නයකටම මුහුණ දුන්නා. දැන් අපි බලා ඉන්නේ අස්වැන්න එනකම්. අපි අස්වැන්න නෙළා ගමු. අස්වැන්න පක්ෂයේ සාමාජිකයන්ටත් දෙමු. රටේ ජනතාවටත් දෙමු. වෙන කවුරු හරි මේ රට 2015 දි බාර ගත්තා නම් අද රටක් නැහැ. අමාරු කාලයක අපි රට බාර ගත්තේ. ඒ කුඹුර අමාරුවෙන් වපුරන තෙක් අපි නිකං හිටියේ නැහැ. විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ රුපියල් 2000 ක් වූ ශිෂ්‍යාධාර රුපියල් 4000 ක් දක්වා වැඩි කළා. ලැප්ටොප් පරිගණක ලබා දුන්නා. හොඳම පාසල - ළඟම පාසල වැඩසටහන යටතේ පාසල් 9000 කට ගොඩනැඟිලි ලබාදුන්නා. පාසල් 10000 යි තිබෙන්නේ. විදුහල්පති ඇබෑර්තු 4000ක් පිරෙව්වා. පාසල් සිසුන් රක්ෂණය කළා. මේ සියලු දේ කළේ කුඹුර වපුරන ගමන්. ඒ නිසා තවම අස්වැන්න ඇවිත් නැහැ. සෞඛ්‍ය සේවාව තුළ නොමිලේ හදවත් රෝගීන්ට ස්ටෙන්ත් දෙන්න පටන් ගත්තා. ඖෂධ මිල අඩු කළා. සුවසැරිය පටන් ගත්තා. රජයේ සේවකයන්ට රුපියල් 10000 කින් වැටුප් වැඩි කළා. තෙල් මිල අඩු කළා. ජී.එස්.පී. ප්ලස් ලබා ගත්තා. දේශපාලනය තුළ කාන්තාවන්ට නියෝජනයක් ලබා දුන්නා. ඒ ඔක්කොටම වඩා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. අද මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒකයි සන්ධානයේ මන්ත්‍රීවරයෙක් මට කීවේ, සර්ලා ඉන්නකම් අපිට කමක් නැහැ, අපට නිදහසේ ඉන්න පුළුවන් කියලා. අපි අමාරු කාලයක් ගත කරන්නේ. අපි රට බාර නොගත්තා නම් රට සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අපි මහා මාර්ග ආරම්භ කළා. එදා සුදු අලියෙක් වූ හම්බන්තොට වරාය අද ආර්ථික කේන්ද්‍ර ස්ථානයක් කර තිබෙනවා. මත්තල ගුවන්තොටුපොළත් ඒ වගේම සාර්ථක කරනවා. අමාරුවෙන් තමයි අපි මේවා කරන්නේ. මේ හැමදෙයක්ම කළේ රට වෙනුවෙන්, රට හදන්න. ඊළඟ පරම්පරාවට ණය බර තිබෙන ආර්ථිකයක් නොවේ ණය ගෙවන්න හැකි ආර්ථිකයක් බාර දෙන්න අපි කටයුතු කරනවා. නුවර ජාතිවාදි කෝලාහලවලට අපිට මුහුණ දෙන්න වුණා. ප්‍රාදේශීය සභා ඡන්දවලින් පරාජය වුණා. අපි ඒවා පිළිගන්නවා. අපේ අඩුපාඩුකම් හදා ගන්න ඕනෑ. ගම්පෙරළිය ආරම්භ කරමින් අපි ගමට ගොස් තිබෙනවා. එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භ කළා. තවත් වැඩසටහන් ගණනාවක් තිබෙනවා ආරම්භ කරන්න. දැන් රැකියා ලබාදීමට පටන් ගෙන තිබෙනවා. සමෘද්ධි දෙන එක ආරම්භ කර තිබෙනවා. මේ විදියට අපි වැඩ කරමු. ක්‍රමානුකූලව කරමු. එක සැරෙන්ම මේවා කරන්න පුළුවන් නම් මමත් කැමතියි. අපිව පරාජය කිරීමට විශ්වාසභංග පවා ගෙනාවා. ප්‍රශ්න එක්ක අපි මේ ගමන ඉදිරියට යනවා වගේම ඉතාම සාර්ථකව ගමන අවසන් කරනවා. ඊළඟ ඡන්දයෙන් ජයග්‍රහණය කරනවා. 2025 දි හොඳ රටක් හදලා 2030 තෙක් ඉදිරියට යන්නට අපි දැන් සැලසුම් කර තිබෙනවා. පක්ෂය ඉදිරියට ගෙන යනවා. ඒ සඳහා අපි ගමට බහින්න ඕනෑ. හැම ඡන්ද පොළේම අපේ කණ්ඩායම් පිහිටුවන්න ඕන. ඒ සඳහා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට මම උදව් උපකාර කර තිබෙනවා. ගමේ කණ්ඩායම් එකතු කරන්න බැරි නම් දේශපාලනය කරන්න එපා. ගමෙන් ආරම්භ කරන්න. අපෙන් ඈත් වෙලා සිටින අය කතා කරලා ළඟට ගන්න ඕනෑ. මේ පක්ෂයේ ඊළඟ නායකයන් අපි හදනවා. ඒ අයට පක්ෂය බාර දෙනවා. අපි එක්සත්ව ගමන ඉදිරියට යාමට හැමෝම එකතු වෙමු. හොඳ කාලයයි අමාරු කාලයයි දෙකම තිබෙනවා. පක්ෂය හදන්න යනකොට බැණුම් අහන්න වෙනවා. කමක් නැහැ. අපි ඉදිරියටම යමු. 72 වැනි සංවත්සරයේදි පක්ෂයේ ප්‍රතිසංවිධානය කටයුතු යළිත් ආරම්භ කරමු.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදි කිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා- අධිරාජ්‍යවාදි බලවේගවලින් රට බේරාගත් පක්ෂය නිසා එජාපයට ලොකු හයියක් තිබෙනවා. දැයේ අභිමානය ආරක්ෂා කරන පක්ෂය තමයි අපේ පක්ෂය. පක්ෂයේ හොඳ නායකයන් හිටියා. ඒ නිසා අදටත් අපට හොඳ, ශක්තිමත් පක්ෂයක් උරුම වෙලා තිබෙනවා. පක්ෂයේ නායකයන් සියලු දෙනා කැපව සිටියේ සුන්දර, සෞභාග්‍යමත් රටක් බිහි කිරීමට. නව යුගයට ඔබින සංවර්ධිත ශ්‍රී ලංකාවට බිහි කිරීමට අපි අත්වැල් බැඳ ගත යුතුයි. එජාප ආණ්ඩුව යටතේ ජාති, ආගම්, කුල භේදයෙන් තොරව උදා ගම්මාන බිහි කරමින් තිබෙනවා. ජනාධිපති, අගමැති, මුදල් ඇමැති උපදෙස් හා මඟ පෙන්වීම තුළ උදාගම්මාන වැඩසටහන් ඉතා සාර්ථකව කර ගෙන යනවා. මේ වන විට උදා ගම්මාන 1273 ක් බිහි කර තිබෙනවා. ලබන වසරේ දෙසැම්බර් 31 වැනිදා වෙන කොට උදා ගම්මාන 2500 ක් ඉදි කර අවසන් කරනවා. 2020 ජනවාරි 01 වැනිදා වන විට තවත් උදා ගම්මාන 5000 ක් ආරම්භ කරනවා. ඒ දෙවැනි පියවර විදියට. තුන්වැනි පියවර විදියට උදා ගම්මාන 10,000 කුත්, සිවුවැනි පියවර විදියට උදා ගම්මාන 2500 කුත් ආරම්භ කරනවා. පසුගිය ආණ්ඩුව කාලයේ සියයට 41 ක් නිවාස හා ඉඩම් නොමැතිව පීඩනයෙන් හිටියා. ඒ බව ඒ කාලයේ පාලනය කළ උදවිය නොදන්නා විදියට හිටියා. නිවාස ගැටලු නොමැති බව ජනතාවට පෙන්වන්න ඔවුන් උත්සාහ කළා. ඒ කාලයේ ආණ්ඩු බලයේ සිටි අය දැන් පොහොට්ටුවක් හදාගෙන නැවත බලයට පත්වීමට උත්සාහ කරනවා. අපි උදා ගම්මාන සංකල්පය ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යාමෙන් අපේ ආණ්ඩුව කාටවත් පෙරළන්න නොහැකි වෙනවා. කිසිම දවසක පොහොට්ටුවට බලයට එන්න නොහැකි වෙනවා. රෙගුලාසි නොතකා එජාප පාක්ෂිකයා ආරක්ෂා කිරීමට අපි පියවර ගත යුතුයි. ඒ සඳහා දැනටමත් අගමැතිතුමා පිඹුරුපත් සකසා අවසන් . අපේ නායකතුමා ඉතාම තීක්ෂණ බුද්ධියකින් පක්ෂය ඉදිරියට ගෙනයාම සඳහා කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා- 1994 වසරෙන් පසුව එජාපයෙන් ගිලිහී ගිය ආණ්ඩු බලය නැවත අපි ලබා ගෙන තිබෙනවා. ඒ ලබා ගත් බලය හරහා රට සංවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් යහපාලන ආණ්ඩුව යටතේ ආරම්භ කර තිබෙනවා. දැන් පොහොට්ටුව ආණ්ඩු බලය අල්ලන්න හදනවා. කෑ ගහන තරම් බලයක් පොහොට්ටුවට නොමැති බව අපිට පෙනුණා. කොළඹ වටලලා ආණ්ඩු බලය අතට ගන්නවා කී පොහොට්ටු නායකයන් රාත්‍රි 12 වෙන කොට හොයා ගන්නත් නැහැ. රටට දරා ගත නොහැකි වංචා දූෂණ කළ උදවිය තමයි රටේ බලය නැවත ලබා ගන්න උත්සාහ කරන්නේ. මේ අයට බලය දෙනවාද කියලා රටේ ජනතාව බුද්ධිමත්ව සිතිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා- වසර 72ක් පුරා පැමිණි ගමන අමාරුයි. හැත්තෑ ගණන්වලදි අපි විශාල ගැටලුවලට මුහුණ දුන්නා. අපේ නායකයන් ජීවිත පරදුවට තබමින් පක්ෂය හා රට වෙනුවෙන් වැඩ කළා. පක්ෂයේ සාමාජික සාමාජිකාවන්ගේ දේපළ, ගෙවල් ගිනි තියනකොට ඔවුන් පක්ෂය වෙනුවෙන් කැප වුණා. පක්ෂය වෙනුවෙන් එය මුල් කරගෙන වැඩ කළ නිසා තමයි එහෙම කැපවීම් කළේ. දැන් අපි බලයට ඇවිත් සිටිනවා. සම්පූර්ණම බලය නොතිබුණත් සීමිත බලයක් යටතේ වුණත් රට සංවර්ධනය කිරීමට උත්සාහ කරනවා. රැකියා විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. තවත් විශාල ප්‍රමාණයක් ලබාදෙන්න තිබෙනවා. පක්ෂයේ නායකයන්, සාමාජිකයන් දඩයම් කරන කාලේ ඒවා ඉවසා දරා ගනිමින් පක්ෂයත් සමඟ සිටියා නම් ඉදිරි කාලය තුළ ඉන්න එක එතරම් අමාරු නැහැ. එහෙම කරන්න හැකි නම් 2020ත් අපේ. 2025 ත් 2030 ත් අපේ කියලා මම කියනවා. ජේ.ආර්. ජයවර්ධන මහතා හැදූ වැඩපිළිවෙළ අනුව අපි දිගටම ආණ්ඩුව කළා නම් පරාජය වෙන්නේ නැහැ. නැවතත් ඒ වරද්දා ගැනීම සිදු නොකර පක්ෂය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ජන බලය මගින් කොළඹ පෙරළනවා කිව්වා. රාජපක්ෂ මහතා දැනගෙන හිටියේ නැහැ, අපි ඊට කලින් ගමට ගිහිං ගම්පෙරළිය තුළින් ගම පෙරළලා කියලා.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා- ජාතිවාදි නොවන සමඟිවාදි පක්ෂයක් අපි නිර්මාණය කර තිබෙනවා. අලියා කියන ලකුණෙන් කියවෙන්නේ පක්ෂයේ ශක්තිමත්භාවය. මේ වන විට පොහොට්ටුව පිපෙන්නටත් කලින් පරවෙලා. රාජපක්ෂ මහත්තයලා හයිබ්‍රිඩ් පොහොට්ටුවක් හැදුවා. හදපු පොහොට්ටුවේ සාමාජිකයන් කොළඹට ගෙනැත් කොළඹ වටලලා ආණ්ඩු බලය ලබා ගන්නා බවට ජන බලය මගින් ප්‍රකාශ කළා. කන්න, බොන්න දීලා ජනතාව කොළඹට ගෙන්වීමට ජන බලය මගින් කටයුතු කළා.

අපට එහෙම අවශ්‍ය නැහැ. අපි දැන් කරගෙන යන වැඩපිළිවෙළ අනුව වසර 2030 දක්වා ආණ්ඩු බලය ගෙනයාමට හැකියාව තිබෙනවා. දූෂණය නොමැති සමාජයක් බිහි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා. සමාජය තුළ අපි කරන වැඩ මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නේ නැහැ. රුපියල් 99 ක් අපි රට වෙනුවෙන් වියදම් කළොත් එය මාධ්‍යයේ පළ වන්නේ රුපියලක වැඩක් විදියට. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේ රුපියලක වැඩක් කළොත් එය මාධ්‍යයේ පළ වු‍ණේ රුපියල් 99 ක වැඩක් කළ ගානටයි. මාධ්‍ය මගින් අපේ පක්ෂයට එහෙම කළත් අපි ශක්තිමත්ව ජනතාව ඉදිරියට යනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා- 1994 වසරෙන් පසුව එජාපයෙන් ගිලිහී ගිය ආණ්ඩු බලය නැවත අපි ලබා ගෙන තිබෙනවා. ඒ ලබා ගත් බලය හරහා රට සංවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් යහපාලන ආණ්ඩුව යටතේ ආරම්භ කර තිබෙනවා. දැන් පොහොට්ටුව ආණ්ඩු බලය අල්ලන්න හදනවා. කෑ ගහන තරම් බලයක් පොහොට්ටුවට නොමැති බව අපිට පෙනුණා. කොළඹ වටලලා ආණ්ඩු බලය අතට ගන්නවා කී පොහොට්ටු නායකයන් රාත්‍රි 12 වෙන කොට හොයා ගන්නත් නැහැ. රටට දරා ගත නොහැකි වංචා දූෂණ කළ උදවිය තමයි රටේ බලය නැවත ලබා ගන්න උත්සාහ කරන්නේ. මේ අයට බලය දෙනවාද කියලා රටේ ජනතාව බුද්ධිමත්ව සිතිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා- මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ එකම පක්ෂය එජාපය බවට හඳුන්වා දෙන්න පුළුවන්. සම්මුති සාකච්ඡා මාර්ගයෙන් අපේ පක්ෂය ඉදිරියටම ගෙන යාමට අපිට පුළුවන්. පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙනයාම සඳහා රටපුරා සමුළු 152 ක් පැවැත්වීමට අපි ආරම්භ කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එය ආරම්භ කළා. සමෘද්ධිය ලබාදීම, ගම්පෙරළිය ආරම්භ කිරීම යන වැඩසටහන් මගින් ජනතාව අතරට අපට හොඳට යා හැකියි. පක්ෂයේ පසු පෙළ කණ්ඩායම් ශක්තිමත් කිරීම, තරුණ සංවිධානය ඉදිරියට ගෙන ඒම, කාන්තා නියෝජනය වැඩි කිරීම යනාදිය මගින් පක්ෂය තවත් ශක්තිමත් වෙලා තිබෙනවා. අභිමානවත් පක්ෂයක් විදියට එජාපය ඉදිරියට යාම කිසිවෙකුටත් නැවැත්විය නොහැකියි.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා- ජන බලය කොළඹට රැස් කළ දා සිදු වුණේ හොරුන්ගේ රස්තියාදුවක් පමණයි. මෙහිදී මා අරුම පුදුම සිද්ධි කීපයක්ම දුටුවා. ටාජ් සමුද්‍රා හෝටලය ඉදිරිපිට අලංකාරයට වවා තිබෙන පොල් ගසකට නැගුණු වහල්ලු පිරිසක් කුරුම්බා කඩාගෙන බොන අයුරු මා දුටුවා. තව කීප දෙනෙක් ලයිට් කණුවක් උඩට නැඟ විකාර කරමින් සිටියා. ඒ සිදුවීම් දෙකම පොහොට්ටුව පිළිබඳව හොඳ නිර්වචනයක් බව කිව යුතුයි. මේ අය රෑ එළිවෙන තුරු සිටින බව පැවසුවා. එලෙස සිටියා නම් බත් පැකට් දහසක් හදාගෙන ගොස් දීමට මා කටයුතු කරනවා. රාජපක්ෂලාට අවශ්‍ය අරලියගහ මැදුර, ජනාධිපති මැදුර ආදියෙහි සැප විදීමට පමණයි. රට ගොඩනැඟිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මේ උත්ඝෝෂණයට පැමිණ සිටි කිහිප දෙනෙක්ම මත්වී පාරේ වැටී සිටින විට සුව සැරිය ගිලන් රථවලින් රැගෙන යන අයුරු මා දුටුවා.

මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකවරුන් ද, එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් ද, පළාත් සභා මන්ත්‍රිවරුන් , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ක්‍රියාකාරී සාමාජිකයන්, වෘත්තීය සමිති නායකයන් , මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක, රාධ ක්‍රිෂ්ණන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, රිෂාඩ් බදියුදීන් ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න