දියාරුවූ ජනබලය | දිනමිණ

දියාරුවූ ජනබලය

රැය පහන් කරනවා කීවාට ඊයේ උදේ ලේක් හවුස් වටරවුම

රට වනසන ආණ්ඩුව පලවා හරිමු - කොළඹ වටලමු තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට එරෙහිව සංවිධාන කළ ජනබලය පසුදා පහන් වනතුරු පවත්වන බවට එහි ප්‍රබලයෝ පුරසාරම් දෙඩුව ද ඊට එක්වූවෝ සංවිධායකයන් තරු පහේ හෝටල්වල සිටියදී කිසිඳු පහසුකමක් නොමැතිව මහපාරේ සිටින්නට නොහැකි බව අවබෝධ කර දෙමින් කළුවර වැටෙද්දීම ජනබලය අතහැර තම ගෙවල්වලට පිටත්ව ගොස් තිබුණි.

කොළඹ ලෝටස් වටරවුමෙන් පෙරේදා (05) සවස ආරම්භ කළ සත්‍යග්‍රහය රාත්‍රී 10ටත් පෙර නිම කරන්නට මේ නිසා සංවිධායකයන්ට අකමැත්තෙන් වුව ද සිදු ව තිබේ.

ජනබලය විරෝධතාවට සහභාගිවූවන්ට සංවිධායකවරු මත්පැන් හා දුම්වැටි ලබාදීම නිසා ඒවා භාවිත කළ ඇතැම් පුද්ගලයන් මාර්ගවල තැන් තැන්වල වැටී සිටි අයුරුද දැක ගන්නට ලැබුණි.

බත් පාර්සල්, ප්ලාස්ටික් වතුර බෝතල්, පොලිතින්, බැනර්, කටවුට් ආදිය තැන් තැන්වල දමා මාර්ගය අපවිත්‍ර කර අවලස්සන කර මීට සහභාගි වු පිරිස් විසිර ගොස් තිබුණි.

මේ නිසා නගරය පිරිසිදු කිරීමට කොළඹ මහ නගර සභාවේ කම්කරුවන්ට ඊයේ (06) දැඩි මහන්සියක්, වෙහෙසක් හා කාලයක් කැප කරන්නට සිදු විය.

ආණ්ඩුව පලවා හරින්නට රැය පහන්වන තුරු රැදී සිටින්නට පැමිණි මේ පිරිස අවසානයේ රස්තියාදු වෙමින්, මහාමාර්ග අවහිර කරමින්, සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත් කර විසිර ගොස් ඇත්තේ ඔවුන්ගේ කුණු ඇදීමේ කාර්යය ද රජයට පවරමිනි.

ඒකාබද්ධයේ ජනබලය මෙහෙයුම මේ නිසා ජනතාවගේ අප්‍රසාදයට හේතුවක් විය. ජනබලය විරෝධතා රැලිය මෙසේ අවසන් වුවත් එහි ඇතැම් සිදුවීම් සහ විඩියෝ දර්ශන මේ වන විට මුහුණු පොත හරහා හුවමාරු වෙමින් තිබේ.

විරෝධතාවට එක්වූවන් කිහිප දෙනකු ස්ථාන කිහිපයක බිම වැටී සිටි අයුරු සහ ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවිවල පළ වී තිබුණු අදහස් ඇතුළු තවත් ඡායාරූප පෙළකි මේ.

ඡායාරූප හිරන්ත ගුණතිලක, වාසිත පටබැඳීගේ


නව අදහස දක්වන්න