මහජන සුබසාධනය සඳහා වූ තැපැල් ගාස්තු ඉහළ දමන්නේ නෑ | දිනමිණ


 

මහජන සුබසාධනය සඳහා වූ තැපැල් ගාස්තු ඉහළ දමන්නේ නෑ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක
ඇමැති කබීර් හෂීම්

බත් පැකට් දී සෙනඟ ගෙනත් බලය ගන්න බෑ
- රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල

කැරම් ක්‍රීඩාව නැංවීමටත් ක්‍රීඩකයන් දිරිමත් කිරීමටත් පියවර ගන්න
- මන්ත්‍රී බිමල් රත්නායක (ජ.වි.පෙ.)

උතුරේ තැපැල් කාර්යාල හදන්න මුදල් නෑ
- මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා (ඊ.පී.ඩී.පී.)

තැපැල් මෙහෙයුම් ගාස්තු ඉහළ ගිය ද මහජන සුබසාධනය සඳහා වූ තැපැල් ගාස්තු ඉහළ නොදමන බව අධිවේගී, මාර්ග සංවර්ධන හා වැඩබලන තැපැල් ඇමැති කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (05) පැවැසීය.

තැපැල් ආඥා පනත යටතේ වන තැපැල් ගාස්තු සංශෝධන ව්‍යවස්ථා විවාදයට එක් වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

පාසල් තැපැල් ගාස්තු මිල අඩු කරනවා. පුණ්‍ය ආයතන තැපැල් ගාස්තු ඉහළ දමන්නේ නෑ. තැපැල් හැඳුනුම්පත් ගාස්තු වෙනසක් සිදු කරන්නේ නෑ. සාමාන්‍ය ග්‍රෑම් විස්සක් බර තැපැල් සඳහා රුපියල් 18ක් රජය වැය කරනවා. එහෙත් අය කරන්නේ රුපියල් 15ක් පමණයි. ව්‍යාපාරික තැපැල් ගාස්තුව වැඩි කරන්නේ නෑ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පස්වරු 1.00ට පාර්ලිමේන්තුව ආරම්භ විය.

කතානායක නිවේදන ලිපි ලේඛන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව තැපැල් ගාස්තු සංශෝධන විවාදය ආරම්භ විය.

වැඩබලන තැපැල් ඇමැති කබීර් හෂීම් මහතා

කාලීන තැපැල් ගාස්තු වියදම් වැඩිවීමත් සමඟ ගාස්තු සංශෝධනය කිරීමට සිදු වෙනවා. අවසන් වරට මෙයට වසර 4කට පෙර එනම් 2014.06.07 වැනි දා අවසන් වරට වැය කර තිබෙන්නේ 2010 වසරේ ග්‍රෑම් 20ක ලිපියක් යැවීමට වැය වන ගාස්තුව රුපියල් 20ක් බවට ඇස්තමේන්තු කර තිබෙනවා. අද වන විට ඒ සඳහා දරන ගාස්තුව වැඩිව තිබෙනවා. රුපියල් 10ක්ව තිබූ පුද්ගලික ලිපි තැපැල් ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කළා. සේවා වැඩි කිරීමටත්, විමසීම් ගාස්තු ඉවත් කර එම සේවාව නොමිලේ ලබාදීමත් මින් සිදු වෙනවා. දරුවන්ට තැපැල් හැඳුනුම්පත් සේවාව එලෙසට ලබාදීමට කටයුතු කරනවා. පුණ්‍ය ආයතන සඳහා අය කරන ගාස්තුවල වැඩි කිරීමක් කරන්නේ නෑ. ලොජ් පෝස්ට් කිලෝ ග්‍රෑම් 20 - 40 දක්වා වැඩි කළා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී එම්. වියලේන්ද්‍රන් මහතා

කොළඹ දිස්ත්‍රික්කයට වඩා විශාල භූමි භාගයක් ඇති මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධනයට යෙදවීමට අවශ්‍ය වාහන එහි සභාපතිවරුන්ට ලබා දී නෑ. යුද්ධයෙන් පීඩා විඳි ජනතාවට තැපැල් සේවාවට විශාල වෙහෙසක් දරා ගත යුතුයි. තැපැල් ජංගම සේවා හෝ ලබා දිය යුතුයි. කලවංචිකුඩි තැපැල් කාර්යාලයට ගොඩනැඟිල්ලක්වත් නෑ.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා (එ.ජා.ප.)

දියුණු වෙමින් පවතින ලෝකයේ තැපැල් සේවාව දියුණු වෙමින් පවතිනවාද යන්න විමසා බැලිය යුතුයි. මේ සේවාව වටිනා සේවාවක්. තැපැල් ඇමැතිවරයා කියන්නේ වටිනා ඇමැති ධුරයක්. තැපැල් ඇමැතිවරයාව සිටි ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ධුරයට පත් වුණා. අද මේ තැපැල් අමාත්‍යාංශයට යොමුව තිබෙන අවධානය අඩු වී තිබෙනවා.

පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජ. වි. පෙ.)

සතියකට පෙර අපේ රටේ කැරම් කණ්ඩායම ලෝක ශූරතාව ගෙනාවා. මේ ක්‍රීඩාව නැංවීමටත්, ක්‍රීඩකයන් දිරිමත් කරන්නත් පියවර ගන්න. ජාතික කැරම් කණ්ඩායමට අපේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා.

තැපැල් දෙපාර්තමේන්තුව මුදල් වැඩි කර දියුණු කරන්න පුළුවන්ද යන්නයි අද කතා කරන්නේ. මේ රජයේ තිබෙන දූෂිතම ආයතනයක් තමයි තැපැල් දෙපාර්තමේන්තුව. ජනාධිපතිවරුන් බොහෝ දෙනකුගේ ලේකම්වරුන් හොරුන් ලෙස අද කතා බහට ලක් වී තිබෙනවා. මේ තනතුරේ තමයි ප්‍රශ්නය තිබෙන්නේ. ජනාධිපතිවරයාට චෝදනා නොකර ජනාධිපති ලේකම්වරයා පිට චෝදනා පැටවෙනවා. මේ නිසයි විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව කියන්නේ. මොරගහකන්ද සඳහා ජාතික උත්සව 4ක් තිබ්බා. ඊළඟ උත්සවය වතුර හිඳුනා කියා තියාවි. එක දිස්ත්‍රික්කයක් සංවර්ධනය කරන මුදල මේ එක ජාතික උත්සවයකට වැය වෙනවා. විදේශ තැපැල් විශාල දූෂණ සිදු වෙනවා. ඒ සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය පළුදු වී තිබෙනවා.

නීතිය හා සාමය නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා

තැපැල අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස අපි දකිනවා. විශ්‍රාමික මව්වරුන් පියවරුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම වැනි විශාල සේවාවක් තැපැල් හරහා සිදු වෙනවා. දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ විතරයි අද විපක්ෂය නියෝජනය කරන්නේ. විපක්ෂයේ පිරිසක් අද විරෝධතා සිදු කරමින් අසාර්ථක උත්සාහයක නියැළෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රජයක්. උද්ඝෝෂණ වළක්වන්නේ නෑ. එහෙත් මහජනතාවගේ, රාජ්‍ය දේපළවල ආරක්ෂාව අපි තහවුරු කරනවා. අද බස් ඇවිත් තිබෙන බව වාර්තා වෙනවා. බස් ඇතුලේ ඉන්නේ හතර පස් දෙනයි. ආණ්ඩු පෙරළන්නලු එන්නේ. ජනතාව දුක් විඳිද්දී මහින්ද රාජපක්ෂ ටාජ් සමුද්‍රා හෝටලයේ සුපිරි කාමර වෙන් කරගෙන. අනෙක් අය තවත් හෝටල්වලත් කාමර බුක් කරගෙන සැප සම්පන්නව ඉන්නවා. මේකයි මේ අයගේ ඇත්ත කතන්දරේ. මේ අයට වසර දෙකකින් විඳින්න වෙන බව දැනගෙන ජනතා පළිහක් කරගෙන ජනතාවගේ මිනී පෙට්ටි මතින් තමයි මේ එන්නේ. කොළඹ නගරයේ හදවත ෂැංග්‍රිලා හෝටලයට දී පෝට්සිටි එකට චීනයට අක්කර ගණන් විකුණපු අයට කොළඹට එන්න අයිතියක් නෑ. මේ අයට 50,000ක් ගේන්න පුළුවන් නම් අපිට ලක්ෂ පහක් ගේන්න පුළුවන්. මේ ආණ්ඩු හදන හත් වන හෝ අට වන අවස්ථාව. හෙට ආණ්ඩුව පිහිටුවලා අගමැති ජනපති පත් කරලා කැබිනට්ටුව පත් කරලා දිවුරුම් දී සතියකින් විතර යන්න පුළුවන්.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා (ඊ. පී. ඩී. පී.)

තැපැල් සේවකයන් දින 72ක් වර්ජනයක් සිදු කළා. සතියක වර්ජනයකින් මිලියන ගණන් ලියුම් ගොඩ ගැසුණා. මේ සේවය වැදගත් සේවාවක්. සම්පත් නිසි පරිදි භාවිතයට ගෙන කටයුතු කළා නම් තැපැල් සේවය අලාභ ලබන්නේ නෑ. ආදායම් ලබන විදියට මෙය වෙනස් කරන්න බැරිද? උතුරේ තැපැල් කාර්යාල හදන්න මුදල් නෑ. කොළඹ පැරණි තැපැල් ගොඩනැඟිල්ල හෝටලයකට විකුණන්න යනවා.

ස්වදේශීය කටයුතු රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතා

ජනතාව මහින්දව දෙපාරක් පරාජයට පත් කළත් බත් පැකට් දී සෙනඟ ගෙනත් බලය ගන්න බෑ. ඒකාබද්ධ විපක්ෂය අද වන විට බත් පැකට් සහ තවත් දේවල් දී සෙනඟ කොළඹට ගෙන එනවා.

රජයේ මුදල් අවභාවිත කළාට මේ අයට චෝදනා තිබෙනවා. කොළඹට සෙනඟ ගෙන එන්නේ ජනතාවට බලපෑම් කරමින්. ජනතාවට ලබා දුන් පොරොන්දු අපි කඩිනමින් ලබා දෙන්න ඕන. මහින්ද රාජපක්ෂ හැම පෝයටම සිහින දකිනවා. යහපාලන රජය ජයග්‍රහණ රැසක් අත් කර ගත්තා. කොපමණ සෙනඟ ගෙනාවත් අපි බිය වෙන්නේ නෑ.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ඇතැම් පූජනීය භික්ෂූන් වහන්සේලාගේ කටයුතු නිසා අපේ ජනතාව පීඩාවට පත් වෙලා තිබෙනවා. මේවා වහා නතර කළ යුතුයි. තැපැල් සේවය නවීකරණය කර ජනතාවට යහපත් සේවාවක් ලබා දිය යුතුයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එ. ජා. ප.)

තැපැල් සේවය වැඩිපුර භාවිත කරන්නේ දුප්පත් ජනතාවයි. අද වන විට ජනතාව තුළ තැපැල් සේවාව ගැන ඇති වී තිබූ ජනතා විශ්වාසය නැති වී තිබෙනවා. තැපැල් සේවයේ වංචා, දූෂණ ඉහළ ගොස් තිබෙනවා.

මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී එස්. යෝගේෂ්වරන් මහතා

මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාලයේ සිට තැපැල් මලු ගෙන යන වාහන අබලන් වෙලා. වාහන පණ ගන්වන්නේ තල්ලු කරලා. ඇමැතිවරයා මේ සඳහා නිසි අවධානය යොමු කර අලුත් වාහන දෙකක් ලබා දෙන්න. පැරණි පරිගණක තමයි තැපැල් කාර්යාලවල තිබෙන්නේ. මේ කාර්යාලවලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (එ. ජා.ප.)

එදා පියුම් මහත්තයා සමඟ බැඳුණු තැපැල් සේවය තමයි අද නවීකරණය වෙලා තිබෙන්නේ. අද අන්තර්ජාලය සමඟ සම්බන්ධවීම වගේම වෙනත් කටයුතුත් තැපැල් සේවයෙන් සිදු කරනවා. අද විපක්ෂය පාර්ලිමේන්තුවේ නෑ. ඒ අයට අමුතු චූං එකක් ඇවිත්. රට කාබාසිනියා කළ කණ්ඩායම අද රටේ බලය ඉල්ලනවා. ඉඩම් ටික ජනතාවට දී, ණය පහසුකම් දී අවශ්‍ය සහන ජනතාවට දෙන විට මේ අය අද එළියට බහින්නේ ඇයි. අපේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මේ අය අයුතු ලෙස භාවිත කරනවා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා (එ. ජා. ප.)

යහපාලන රජය පත් වෙලා මාස තුනෙන් නුගේගොඩ ආණ්ඩු ගන්න ගියා. ගෝල්ෆේස් ආවා. ආණ්ඩු පෙරළීමේ පළමු වෙඩි මුරය කියා පටන් ගත්ත පස් වෙනි පුස් වෙඩිල්ල මේ ගෙනාවේ. මේ අයට වගේම අපිටත් ඕන පළාත් සභා මැතිවරණය තියන්න. මනාප ක්‍රමය කැමති නම් මතය කියලා මැතිවරණය පවත්වන්න කටයුතු කරන්න ඕන. ඔය මැතිවරණය තිබ්බත් මහින්ද මහත්තයා අගමැති, ගෝඨාභය ජනපති වෙන්නේ නෑ. මේ අයගේ අභ්‍යන්තර දෙදරා යෑම වළක්වාගන්නයි මේ කටයුතු කරන්නේ. ජනතාව ගැන හිතනවා නම් උසස් පෙළ ඇගයීම් කරනවා. මේ පෙළගැස්ම සෙනසුරාදා ඉරිදා තියන්න තිබුණා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එ. ජා. ප.)

සමාජයේ මේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර සිටින මොහොතක යළි උත්සාහ කරනවා බලය ලබා ගන්න. ස්වාධීනව ජීවත් වෙන්න පරිසරයක් අද ස්ථාපිත කර තිබෙවා. තැපැල් කන්තෝරුව ජනතාවට සුවිශාල සේවාවක් කළ පැරණිම ආයතනයක්. අතීතය අමතක කර අපිට ගොඩනැඟෙන්න බෑ. අතීතයේ සේවා සිදු කළ තැපැල් සේවය සුවිශාල කළඑළියක් කළ යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා (එ. ජා. ප.)

රටට සුවිශාල සේවාවක් කළ දෙපාර්තමේන්තුවක් තැපැල් දෙපාර්තමේන්තුව. අවාසනාවට තැපැල් දෙපාර්තමේන්තුව පසුගාමීත්වයක පසු වෙනවා. එදා තැපැල් කාර්යාල සියලු සේවා සපයනවා මෙන්ම ගමේ බැංකුව බවටත් පත්ව තිබුණා. සුදු අලි වගේ සංවර්ධන ව්‍යාපෘති සිදු කර මේ රටේ ජනතාව අතරමං කර අපේක්ෂිත නොවන අවස්ථාවක පරාජයට පත් වී මේ පාලකයන් එදා සිටම සිදු කරන්නේ උද්ඝෝෂණ කර රට අකර්මණ්‍ය කරන්න. රට ආපස්සට හරවන්න කටයුතු කරන්න.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා

වතු ක්ෂේත්‍රය සමඟ තැපැල් සේවය ද හඳුන්වා දී තිබුණා. තැපැල් සේවයේ ඇති පුරප්පාඩු පුරවා දෙන්න. වතුකරවල ඉතා දුෂ්කර සේවයක් මේ අය සිදු කරන්නේ. වැවිලි ක්ෂේත්‍රයේ තැපැල් සේවාව සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා (එ. ජා. ප.)

වතුවල තැපැල් බෙදීම සම්බන්ධයෙන් සෑහීමට පත්වෙන්න බෑ. වතු සේවකයන්ට නිසි වේලාවට ලිපි ලැබෙන්නේ නෑ. මේ අයගේ දරුවන්ට රැකියා අවස්ථාවලට නිසි දින යෑමට නොහැකි වී තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ වතු ජනයාට සාධාරණය ඉටු කරන්න අද ජනතාවට සහන රැසක් සලසා තිබෙනවා.

පාර්ලිමේන්තුව යළි රැස් විය.

නව අදහස දක්වන්න