මට නඩු වැටුණේ ඇත්ත කතා කරලා | දිනමිණ

මට නඩු වැටුණේ ඇත්ත කතා කරලා

දුමින්ද සම්පත්
සමාජ සවිබලගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක

නිතර මතුවන උද්ඝෝෂණ සහ වර්ජන, පැරණි අපරාධවලට විරුද්ධව නීතිය පමාවීම, බදු බර පිළිබඳ විපක්ෂයේ චෝදනාව, ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම ආදිය පිළිබඳ පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මැති හමුවට එක්වේ.

* ජනවාරි අට අපි ආවෙ නැත්නම් රටම විකුණනවා
* කොයි ආණ්ඩුවෙත් වැරදි තියෙනවා
* රෝද පුටුවෙන් උසාවි යන්නේ නෑ
* මට හොරුන්ගෙන් චරිත සහතික එපා
* මම අධිකරණයට අපහාස කළේ නැහැ

උද්ඝෝෂණ වැඩවර්ජන - විරෝධතාවල අඩුවක් නැහැ. ඔබ ඒ ගැන මොකද කියන්නෙ?

“කවුරුද කරන්නේ වර්ජනයක්” කියල ඔය ගැන ගීතයකුත් මම කළා. මේ උද්ඝෝෂණ, වර්ජන පීඩිත පන්තියෙ ජනතාව වෙනුවෙන් නෙවෙයි. රාජපක්ෂ මහත්වරුන්ට එක දිගට නඩු වැටිල. අපිට අධිකරණයට බලපෑමක් කරන්න බැහැ. මේ පවුලෙ නඩු අහන්න යම් කාලයක් ගත වුණා. ජොන්ස්ටන්ගෙ නඩුව 05 වෙනිදා උද්ඝෝෂණය හින්ද කියල මේ අය කියන්න හදනවා. ඒක අධිකරණයට ලොකු අපහාසයක්. මේ නඩුව පටන් ගත්තෙ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මිලියන පනස්ගාණක මුදල් සම්බන්ධ නඩුවක්. ඒ නඩුවට අදාළ ලියකියවිලි හොයා ගන්න කාලයක් ගියා. මේවා හොරු හදාගත්තු කතා

බොහොමයක් නඩු ප්‍රමාද වෙන්න හේතුව දේශපාලන ඩීල් කියලයි කියන්නෙ?

ඔය ජනතාවගෙ නොදැනුවත්කම හින්ද කියන දේවල්. නඩුවක් දැම්මම ඒවට අවශ්‍ය තොරතුරු හොයන්න කොච්චර අමාරුද කියල මම දන්නවා. රජයේ ආයතනවලට ගිහිල්ල තොරතුරු ගන්න, බැංකුවකින් වාර්තාවක් ගන්න, කොච්චර කාලයක් යනවද කියල මම ප්‍රායෝගිකවම දන්නවා. ලෝකයේ බොහෝ තැන්වල බැංකු, හොරුන්ව ආරක්ෂා කරනවා. සමහර රටවල බැංකු හොරු අල්ලන්න උදව් කරනවා. දියුණු වෙමින් පවතින රටවල බැංකු සල්ලිවල පිරිසුදුකම බලන්නෙ නැහැ. ඒ අය බලන්නෙ කළු සල්ලි හරි ගන්න. එහෙම බැංකු තමන්ගෙ ගිණුම් හිමියා ගැන කිසිම තොරතුරක් දෙන්නෙ නැහැ. මම ජනතාවගෙන් ඉල්ලන්නෙ ටිකක් ඉවසන්න. උදයංග වීරතුංගට පාස්පෝට් ගණනාවක් තියෙනවා. යුක්රේන රජයට අපි නිල් රතු වරෙන්තු යවනවා. අපේ නිලධාරීන් ඒ රටට ගිහින් බැලුවා. ඒත් තවම අපිට මේ අය ගෙන්න ගන්න බැරි වුණා. මේ රටේ හොරකම් කරපු මුදල් පිට රටවල තවම තියෙනවා.

මේ වැඩවර්ජන උද්ඝෝෂණ හරහා මිනිස්සු ආණ්ඩුවට කියන්නෙ ඔවුන්ගෙ දැවෙන ප්‍රශ්න. මේවට විසඳුම් දෙනව කියලයි මේ ආණ්ඩුව බලයට ආවෙ?

මේ රට වෙනුවෙන් ආණ්ඩුව ගත්තු තීන්දු ජනතාවට නොදැනීම ගැන මම දුක්වෙනවා. රාජපක්ෂ මහත්තය චීනෙට රට වික්කෙ සින්නක්කරව. ශ්‍රී ලංකා නිදහස් පකෂ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තයගෙ පිත්තල පිළිමෙත් එක්ක අක්කර 20ක ඉඩම සින්නක්කර වික්කෙ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො ලැජ්ජාවෙන්න ඕන. යුධ හමුදා මූලස්ථානය, රෝහල, පිට්ටනිය මේවත් එක්ක මේ ඉඩම වික්කෙ. මේව සමාව දෙන්න බැරි කාරණා. චීන ජනාධිපති ගෙන්වල චීන ජාතික ගීය කියල තමයි පෝට්සිටිය ලියල දුන්නෙ. යහපාලන ආණ්ඩුව ජනවාරි 08 ආවෙ නැත්නම් මේ අය ලංකාවම විකුණනවා. අපි ඒක බේරගෙන යන්තම් 99 බද්දට පොර්ට්සිටිය දුන්නා.

මම ඇහුවෙ වැඩකරන පන්තියෙ ජනතාට මේ ආණ්ඩුව යටතෙ සාධාරණයක් ඉටුවෙලා තියෙනවද කියලයි?

අපොයි ඔව්. මේවගේ සහන දුන්නු ආණ්ඩුවක් තවත් තියෙනවද? රජයේ සේවකයන්ට රුපියල් දස දහසක පඩි වැඩි කළා. ගෑස් මිල, පෙට්‍රල්, ඩීසල් බෙහෙත් වර්ග 75ක මිල අඩු කළා. ජාතික පත්තරවලයි නාලිකාවලයි අයිතිකාරයො රාජපක්ෂලා බව ජනතාව තේරුම් ගන්න ඕන. ජනවාරි 08 වැනිදා පැරදිච්ච රාජපක්ෂ මහත්තය 09 වෙනිදා ජනේලෙ එල්ලිලා කිව්වෙ මම පැරදිල නැහැ. මම ආයෙත් මේ රට අක්‍රිය කරනව කියලයි. පළවෙනි වෙඩිමුරය, දෙවෙනි වෙඩිමුරය කිය කියා එන්නෙ ඒකට. අවුරුදු හයකට රටක් දුන්නම විපක්ෂය මේ විදියට වද දෙන්නෙ නැහැ. රටට ආදරේ විපක්ෂයක් නම් ආණ්ඩුවට කාලයක් දෙන්න ඕන. මේ අවුරුදු තුනට මේ අය කොච්චර පාගමන් ගියාද, වැඩවර්ජන, උද්ඝෝෂණ කළාද? කොච්චර පාරවල් වැහුවද? දෙලක්ෂ හැත්ත පන්දාහක් පඩි ගන්න, රේල්ලුවෙ එන්ජින් ඩ්‍රයිවර්ල වෛද්‍යවරු ස්ට්‍රයික් කරනවා. මහපොළ ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයො උද්ඝෝෂණ කරනවා. දුප්පත් මිනිස්සු වෙනුවෙන් වර්ජන කරන්නෙ කවුද?

ආණ්ඩුව, ඡන්දයට කලින් ජනතාවට පොරොන්දු රැසක් දුන්නා. ඒ පොරොන්දු ඉටුකිරීම ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?

වැරදි අඩුපාඩු නැති ආණ්ඩු නැහැ. මේ ආණ්ඩුව තරම් පොරොන්දු ඉටුකරපු ආණ්ඩුවක් නැහැ. හැබැයි රගර් ක්‍රීඩකයො මරන්න, රාජ්‍ය ආයතන ගිනි තියන්න, මාධ්‍යවේදීන් මරන්න, මාධ්‍ය ආයතන ගිනි තියන්න, හිතවතුන්ට ගෙවල් දෙන්න බැරි වුණා. ආර්යාවන් හොරකම් කරන එක නැවතුනා. යුරෝපා මත්ස්‍ය තහනම අපි ඉවත් කරගත්තා. ඒක විශාල ජයග්‍රහණයක්. සුදු වෑන් නැවතුණා. කොමිෂන් සභා දැම්මා. උසාවිය නිදහස් කළා. තෙරතුරු දැන ගැනිමේ පනත විගණන පනත ගෙනාවා. GSP + සහන ගත්තා. ලෝකයේ අපිට තිබ්බ කළු පැල්ලම අයින් කළා. මේව එකපාර ජනතාවට දැනෙන්නෙ නැහැ. වහලුන් නොවන බුද්ධිමත් ජනතාව මේව තේරුම් අරන් ඉන්නෙ. ඒකනෙ උද්ඝෝෂණවලට ජනතාව ගැහුවෙ. ත්‍රෛ නිකායික මහනායක හාමුදුරුවන් එපා කියද්දිත් දළඳා මාලිගාව ඉස්සරහ රේස් දුවන එක අපි නැවත්තුවා. දැන් එහෙම කරන බේබිල නැහැ.

එහෙම වුණත් මේ ආණ්ඩුව මහා සංඝරත්නයෙන් පළිගන්නව කියලයි කියන්නෙ?

මොන ආගම වුණත් රටක නීතියට යටත්. ස්වාමීන් වහන්සේලාත් එහෙමයි. ආගමික නායකයො කියල ඒ අය සර්ව බලධාරීන් නෙවෙයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියල පංච මහා බලවේගෙන් බණ්ඩාරනායක මහත්තයා ආවට හාමුදුරු නමක්මයි එතුමට වෙඩි තිබ්බෙ. ඒ වෙලාවෙ මැතිණිය හාමුදුරු නමක් එල්ලුම්ගහට ගෙනිච්චා. ඒ නිසා වැරදි කළොත් හැමෝම නීතියට යටත්. හමුදාවෙන් පළිගන්නව කියලත් අපිට කියනවා. රණවිරුවොයි මිනීමරුවොයි අතර වෙනස හමුදාපති කිව්වා.

ජනතාව මත එන්න එන්නම බදු බර පටවමින් ආණ්ඩුව ජනතාව පීඩාවට පත්කරමින් ඉන්න බවට චෝදනා එල්ල වෙනවා?

ගියපාර මගෙ පඩියෙන් රුපියල් හැටහත් දහසක් බදුවලට කැපුනා. මගෙ චිත්‍රපටිවල බදු මම කතාකරල කැමැත්තෙන් දෙන්නෙ. අපි බදු ගෙවන්න ඕනා. රටක පාරවල් සමෘද්ධි, වැඩිහිටි දීමනා, සුබසාධනය, අපේ සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය නිදහස් මේවට සල්ලි ඕන.

සාමාන්‍ය ජනතාවගෙ භාණ්ඩ මිල වැඩි වෙලා. පාන් පිටි වලට අලුතෙන් බද්දක් එකතුකළා. මේ විදියට භාණ්ඩ මිල ඉහළ යාම ජනතාවට දරන්න බැරි බවයි කියන්නෙ?

ලෝක වෙළෙඳ පොළේ පිටි මිල ඉහළ ගියා. ඒක අපිට පාලනය කරන්න බැහැ. චීනයෙන් ඒ කාලෙ ණය දුන්නෙ සහන කාලයක් එක්ක. සහන කාලෙන් පස්සෙ ණය ගෙවන කාලෙ අහුවුණේ අපේ ආණ්ඩුවට. අපි ඇරියස් එක්ක ඒව ගෙවනවා. අපේ ආර්ථික විද්වතුන් මේව ජනතාවට තේරුම් කරල දෙන්න ඕන. ජනතාවට බදු ගහන්නෙ සතුටකින් නෙවෙයි. බදු ගහල ආණ්ඩුවක ජනප්‍රියත්වය නැති කරගන්න කැමති කවුද? මේ සේරම කරන්නෙ රටේ ණය ගෙවන්න. ඒ කට්ටිය තමන්ගෙ අම්ම තාත්තගෙ සොහොන් කොත්පවා හැදුවෙ ජනතාවගෙ සල්ලි වලින්. කවුරුවත් නැති වායුසමනය කරපු මහා සම්මන්ත්‍රණ ශාලාවක් හම්බන්තොට තියෙනවා. චීනය එක්ක රොකට් යවන්න කෝටි ගණන් ජනතාවගෙ බදු සල්ලි යෙදෙව්වා. ඒවයෙ ප්‍රතිලාභ නැහැ. මේව හරහා විශාල මුදල් ප්‍රමාණයක් හම්බ කළා.

පසුගිය කාලෙ ඔබ විවිධ ගැටලුවලට මැදිහත් වෙන බවක් දැක්කා. මේ හැම එකක්ම මාධ්‍ය සංදර්ශන විතරයි නේද?

මට හොරුන්ගෙන් චරිත සහතික ඕන නැහැ. හොරු කවදාවත් මම හොඳයි කියන්නෙ නැහැ. හොරු කවදාවත් කියනවද රන්ජන් දැන් හොඳට හොරු ටික අල්ලන්න වැඩ කරනව කියල. දෙපැත්තෙ කකුල තියාගෙන එහෙත් මෙහෙත් පැන පැන හිටියනම් කියයි. රන්ජන් කොච්චර හොඳ කෙනෙක්ද හොද නළුවෙක් කලාකාරයෙක් කියල කියයි. මට ඒ සෙටිපිකට් එක ඕන නැහැ. මං පිං පඩිකාරයෙක් නෙවෙයි. මං ගන්න වැටුපට මම වැඩකරන්න ඕන. මිනිස්සු තරහකරගෙන, මිනිස්සු මා එක්ක වෛර බැඳගෙන මම කරන්නෙ ජීවිත පරිත්‍යාගයෙන් කරන වැඩක්.

අල්ලස් සිද්ධි සම්බන්ධයෙන් ඔබ පසුගිය කාලෙ විශාල හඬක් නැඟුවා. අල්ලස් කොමිසමට පැමිණිලිත් ඉදිරිපත් කළා. ඒවයේ දැන් තත්ත්වය කොහොමද?

පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව මම පැමිණිලි කළා. පර් පෙචුවල් ට්‍රෙෂරීස් එකෙන් මුදල් ගත්තු මැති ඇමැතිවරුන් ගැනත් පැමිණිලි කළා. ඒ සම්බන්ධව අල්ලස් එකෙන් මට මේ 13 වෙනිදා එන්න කියල තියෙනවා. වැඩි හරියක් මුදල් අරන් තියෙන්නෙ අපේ අය. “මට අද නයෙක් ගහල එන්න විදියක් නැහැ” කියල හොරා කිව්වම ඉස්සර කොමිසමේ හිටපු අය ඒ අයව ෂේප් කරනවා. දැන් එහෙම නැහැ. අල්ලස් කොමිසම සක්‍රීයයි. කොච්චරද කියනව නම් ජනාධිපති ලේකම්වත් අල්ලනව ඒක තමයි වෙනස. මේක මිනිස්සුන්ට පේන්නෙ නැති එක ගැන මට කනගාටුයි.

ඔබට විරුද්ධව නඩු 22ක් උසාවිය තියෙනවා. මෙච්චර නඩු ප්‍රමාණයක් වැටුණෙ ඇයි?

මම ඇත්ත කතා කරපු හින්ද? ලංකාවේ නඩුකාරයන්ගෙයි නීතිඥයන්ගෙයි දූෂණ හෙළි කළා කියල සුප්‍රීම් කෝට් එකේ මට පෙත්සම් දෙකක් තියෙනවා. සාරුවා සුනිල්ට ස්ත්‍රියක් දූෂණය කළා කිව්ව කියල, මහින්දානන්දගෙ වත්කම් ගැන කිව්වා. ඩී. වී. උපුල් ලංකා පුත්‍ර බැංකුවෙන් සල්ලි ගත්ත කිව්වා. මේවගේ ඒවට තමයි මට නඩු තියෙන්නෙ. මේ සේරම නඩු ජනතාව වෙනුවෙන් දාගත්ත ඒවා. මේව මගේ නඩු නෙවෙයි.

මේ නඩු අතරින් අධිකරණයට අපහාස කළාට ගොනු කළ නඩුව මහත් ආන්දෝලනයකට ලක්වුණා?

මට චිත්‍රපටිවලදී කියන්නෙ වන්ෂොට් කියලනෙ. වන්ෂොට්ගෙ ආයෙ වචන දෙකක් නැහැ නෙ. සමාව ඉල්ලන්නෙත් නැහැ. අධිකරණයට රෝද පුටුවෙන් යන්නෙත් නැහැ. මගෙ මුත්‍රාශයේ ගල් නැහැ. මට සීනි, කොලොස්ටරෝල් නැහැ. ජැපනීස් එන්සැපලයිටීස්, කක්කල් කැස්ස ඒව මොකුත් නැහැ. මට දෙන දඬුවම මොකක්ද මම විඳිනව. මට අවුරුදු 5ද 10ද දෙන්නෙ මම ඒවට සටන් කරන්නෙ නැහැ. එස්. බී. දිසානායකට හිටපු අගවිනිසුරුතුමා ෆෝන් එකට කතා කරල කිව්වලු එස්. බී. බය නැතුව ගිල්ටි කියල කියන්න. අත්හිටවූ සිරදඬුවමක් දෙන්නෙ කියල. එහෙම කියල විත්ති කූඩුවට නැග්ගම අවුරුදු දෙකකට හිරේ දැම්ම කියල එස්. බී. දිසානායක මහත්තය මේ ළඟදි රූපවාහිනී වැඩසටහනකදී කිව්වා. ලෝකෙ කො‍හේවත් විනිසුරුවරයෙක් එහෙම කතා කියනවද? මේ රටේ තිබිල තියෙන්නෙ විකට උසාවියක්.

ආණ්ඩුව ඇතුලෙ ඉඳගෙන අධිකරණය දූෂිතයි කීම බරපතළ තත්ත්වයක් නේද?

මම කවදාවත් උසාවියට අපහාස කරන්නෙ නැහැ. මම කියන්නෙ හිටපු විනිසුරුවන්ගෙන් හා නීතිඥයන්ගෙන් හොරු අල්ලන්න ලැබෙන සහාය මදියි කියල. අපි කොමිෂන් සභා හදාගෙන අධිකරණය ස්වාධීන කරල මේ රට තැනකට ගේන්න යද්දි අර පරණ හිටපු අගවිනිසුරුවරු කරපු වැඩ ගැන තමයි මම මේ කියන්නෙ. නඩුව ආවම, එකින් එක සේරම මම එළියට දානවා. මම අපහාසයක් කරන්නෙ නැහැ. “විනිසුරන් එරට අධිකරණය නීතිය සහ” සුනිල් ආරියරත්න මහත්තයගෙ නන්දා මාලිනී මහත්මියගෙ සින්දු, වික්ටර් අයිවන් මහත්තයගෙ නොනිමි අරගලය පොත ප්‍රසන්න විතානගේගෙ උසාවිය නිහඬයි චිත්‍රපටිය මගෙ ගීත මේ සියල්ල කියන්නෙ ජනතාවගෙ ප්‍රශ්න. ඉතිං මේ අධිකරණය සුද්දකරගෙන පිරිසිදු කරගෙන හොඳ ගමනක් යන්නයි මේ ඔක්කොම කරන්නෙ. ජොන්ස්ටන්ගෙ නඩු තීන්දුව ගැන අපි සතුටුයි. ඒ තමයි හරි ක්‍රමය රුපියල් මිලියන ගාණක් ගහපු නාමල්ගෙ හොර ගෑනු ළමයෙක්ව අපි අල්ලගෙන ආව ඩුබායි ඉඳල උසාවියට ගියාම විනිසුරු පොලිසියෙන් අහනව මෙයාව රිමාන්ඩ් කරනවට විරුද්ධද කියල. නැහැ කියනව. පැය භාගෙන් ගෙදර. කොස්ගෙඩියක්, අඹගෙඩියක් කඩාගත්තොත් අවුරුදු දෙකක් මාසහයක් හිරේ. මේවට තමයි අපි ඇටෑක් කරන්නෙ. අධිකරණයට කිසිම අපහාසයක් මගෙන් වෙලා නැහැ.

ඔබේ ප්‍රකාශ එක්ක ජනතාව අධිකරණය ගැන වරදි වැටහීමක් ඇතිකරගන්න පුළුවන් නේද?

මම නියෝජනය කරන්නෙ අධිකරණයෙන්, විනිසුරන්ගෙන්, නීතිඥයන්ගෙන්, අගතියක් වෙච්ච පීඩිත පන්තිය. පසුගිය දවස්වල සල්ලිගෙවන්න විදියක් නැහැ කියල අලුත්කඩේ නීතිඥයො කාන්තාවකගෙ කනකර ගලව ගත්තනෙ.

හොරු අල්ලන්න මෙච්චර කෑගහන රන්ජන් ETI ප්‍රශ්නෙදි නිහඬයි කියලත් තියනවා?

මම ඒවගෙන් සල්ලි අරගෙන නැහැ. මම ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියෙ කතා කළා. මට චෝදනා නැහැ නෙ. ගෙයක් නැති එකම ඇමැති. මම ඉම්රාන් ඛාන්ගෙ, අබ්දුල් කලාම්ගෙ, රෝල් එක කරන්නෙ. මම හොරු අල්ලන එක කරන්නෙ පුදුම ආත්ම විශ්වාසයකින්. හොරු අල්ලන්න යනවනම් චෝදනා නැති වෙන්න එපැයි.


නව අදහස දක්වන්න

Or log in with...