‍රොහාන්ට ඇවිල්ලා කට උත්තරයක් දීලා යන්න කියන්න | දිනමිණ

‍රොහාන්ට ඇවිල්ලා කට උත්තරයක් දීලා යන්න කියන්න

මඟ හැරුණු මිනිසා 70

මම භාරගත් දේශපාලන වැඩකටයුතුවලින් ප්‍රධානතම දේ ජනාධිපති ජයවර්ධන මහතා මුණ ගැසීම. ඒ හරහා පක්ෂයට පනවා තිබෙන තහංචි සහ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කිරීම. මම ඒක කළේ නාවල හන්දිය අසල පදිංචිව සිටි ජනාධිපති ජයවර්ධන මහතාගේ පුද්ගලික ලේකම්වරයකු වූ පෙරේරා මහත්මයා මඟින්. ඔහු මට වෝර්ඩ් පෙදෙසේ නිවසේදී ජනාධිපතිවරයා මුණ ගැසෙන්නට අවස්ථාවක් සලසා දුන්නා. මේ හමුවේ දී මම, ජනාධිපතිවරයාට ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව පවත්වපු රහස් පොලිස් පරීක්ෂණවලින් 83 ජූලි කලබලවලට ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සම්බන්ධයක් නැති බව,සනාථ කරලා තියෙන බව කියා සිටියා.

ඒ නිසා අත්අඩංගුවට අර‍ගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අපි සියලුම දෙනා කිසිම කොන්දේසියක් පනවන්නේ නැතිව නිදහස් කළා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ශක්ති මුද්‍රණාලයේ සීල් ඉවත් කරලා ඊට එරෙහිව පනවා තිබෙන තහංචි ඉවත් කරලා පක්ෂයේ මුද්‍රණ යන්ත්‍ර සහ වාහන නඩත්තු කරන්නටත් ඒවා පක්ෂයේ වැඩ කටයුතුවලට යොදා ගන්නටත් අවසර දෙන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා.

“දෙසැම්බර් 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අභියාචනාධිකරණයෙන් නිදහස් කළාට පස්සේ මම මාවරමණ්ඩියේ නිවසට ආපහු ගියා. ඒත්, පක්ෂයේ නායකයන් සමහරක් යටි බිම් ගතව සිටින නිසා මාව නිදහස් කළාට මං යන එන තැන් පස්සේ රහස් පොලිසිය සෝදිසියෙන් ඉන්නවා කියලා මට සැකයක් තිබුණා. පස්සේ මගේ ඒ සැකය ඔප්පු වුණා. මම ගෙදර ආවට පස්සේ එක දවසක අපේ පොඩි දුවට සනීප නැති වෙලා මට මතක අන්දමට වෛද්‍ය අතුල සුමතිපාල සහෝදරයාගේ ගෙදරට බෙහෙත් ගන්නට ගියා. අපි ආපහු ගෙදර එන කොට ගෙදර වත්තට ඇතුළු වෙන පාරෙන් වාහනයක් වේගයෙන් එළියට ආවා. වත්තේ අපේ කාර් එක ඇරෙන්න වෙන වාහන තිබුණේ නැහැ. මම වත්තට හරවන ගමන් වේගයෙන් වත්තෙන් පිටවෙන වාහනය දිහා බලුවා. වාහනයේ හිටියේ මම දන්න රහස් පොලිසියේ කණ්ඩායමක්. මම වාහනය නතර කරලා ඇහුවා ‘මොකද මහත්වරු ආයෙ මේ පැත්තේ?’ කියල. ඒ අය හිනහ වෙලා ඇහුවා ‘මම කොහේද ගියේ කියලා?’ මම කිව්වා දුවට බෙහෙත් ගන්න ගියා කියලා. ඒ අය ‘යන්නම්’ කියලා ආපහු ගියා.

“ඔය හින්දා මම යන එන තැන් සොයන්නට රහස් පොලිසියේ කණ්ඩායමක් යොදා තියෙන බව මම දැනගත්තා. මාව එළියට දාල මා පස්සෙ ගිහිල්ලා හැංගිලා ඉන්න සහෝදරවරු අත්අඩංගුවට ගන්න තමයි බලා පොරොත්තු වෙන්න ඇත්තේ. ඒ අතරිනුත් විශේෂයෙන්ම රෝහණ සහෝදරයාව. මේ නිසා මම වෙනදාටත් වැඩිය බොහෝ පරිස්සමෙන් මගේ කටයුතු කරගත්තත් මගේ කටයුතු නතර කළේ නැහැ. මේ කාලය තුළ චිත්‍රා සහෝදරියගේ පවුලේ අය මාවරමණ්ඩියේ නිවසට යන්න එන්න පටන් ගත්තා. ඒ අය ටිකෙන් ටික අපිත් සමඟ සුහදශීලී වුණා.

“නිවසට ආ පසු මට නැවත මුණ නොගැසුණු සහෝදරයෙක් තමයි මාත් එක්කම අත්අඩංගුවේ සිට නිදහස් කරපු පක්ෂයේ භාණ්ඩාගාරික සෝමරත්න කළුආරච්චි සහෝදරයා. ඒ වෙනකොට ඔහුටත් දරුවෙක් හිටියා. දවසක් ඔවුන් දෙදෙනාම අපේ ගෙදරට ආවා. තමන් ජීවිතය ගත කරන්නේ ඉතා අමාරුවෙන් බව සෝමරත්න සහෝදරයා අපට කිවත් අපටත් බෙදා හදා ගන්න තරම් දෙයක් තිබුණේ නැහැ. ඒත්, චිත්‍රා සහෝදරිය අපේ දුවට ඇගේ මවගෙන් ලැබී තිබුණු දේවල් සෝමරත්න සහෝදරයා සමඟ බෙදා ගත්තා. මට කනගාටු හිතුණත් ඒ අවස්ථාවේ වෙන කරන්න දෙයක් අපිටත් තිබුණේ නැහැ. මේ කාලය තුළ අපි වෛද්‍ය අතුල සහෝදරයාගේ නිවසේ සහ වෙනත් තැන්වල එකතු වී මතු වී තිබුණ ප්‍රශ්න ගැන, විශේෂයෙන් ජාතික ප්‍රශ්නය ගැන නිතරම කතාබහ කළා. ඇතැම් අයට මම කතා කරන ලද ප්‍රශ්න ගැන විමතියකුත් ඇති වෙන්න ඇති.

“මේ අතරේ දවසක සුමිත් අතුකෝරල සහෝදරයා මට ඔහුව හම්බ වෙන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. මට මතක අන්දමට අපි කොහිලවත්තේ ශක්ති මුද්‍රණාලය අසල හමු වුණා. දේශපාලන මණ්ඩලයේ රැස්වීමක් තිබෙනවා. සහභාගි වෙන්න හැකි අය ඒ රැස්වීමට එනවා. මටත් ජා-ඇල පවත්වන ඒ රැස්වීමට සහභාගි වෙන්න කියලා ඔහු දැන්වුවා .

“1984 ජනවාරි මුල් සතියේ දවසක ජා-ඇල නගරයට කිට්ටුව තිබුණ රැස්වීමට මමත් සහභාගි වුණා. ජනතා විමුක්ති පෙරමුණේ කමිටු ලේකම්වරු දෙදෙනෙක් වූ පියදාස රණසිංහ සහෝදරයා සහ සුමිත් අතුකෝරල සහෝදරයා මේ සාකච්ඡාවට ඇවිල්ල හිටියා. වෙනත් කවුරුවත් ඒ රැස්වීමට සහභාගි වූ බවක් මට මතක නැහැ.රෝහණ සහෝදරයාටත් ගමනායක සහෝදරයාටත් ඒ වගේ දේශපාලන මණ්ඩල රැස්වීම්වලට සහභාගි වෙන්නට තරම් තත්වයක් රටේ තිබුණේ නැහැ.

“එතැනදි වැදගත් කරුණු දෙකක් සාකච්ඡා කරලා අපි තීරණ ගත්තා. එකක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වශයෙන් මම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සමග සාකච්ඡා කරන එක. එතෙන්දි මට කරන්න තිබුණේ පක්ෂ මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍රවල නඩත්තු කටයුතු කරන්න ඉඩකඩ ලබා ගන්නත්, පක්ෂ මුද්‍රණාලයට මුද්‍රා තබා ඊට පනවා තිබුණු තහංචි ඉවත් කර ගන්නත්, රජයෙන් තහංචි පනවා තිබෙන පක්ෂයේ වාහන නැවත පාවිච්චි කරන්නට ඉඩකඩ ලබා ගන්නත්, රජයෙන් පක්ෂයට පනවා තිබෙන තහනම ඉවත් කර ගන්නත් කටයුතු කිරීම ඒක අනෙක් කාරණය වු‍ණේ මම නැවත ප්‍රධාන ලේකම් විදියට පක්ෂයේ සියලුම දේශපාලන කටයුතුවල වගකීම අර ගෙන කටයුතු කිරීමයි. එතෙන්දී මම අත්අඩංගුවට ගන්න ඉස්සර තංගල්ලේ විතාරන්දෙනියේ පවත්වපු අවසාන මධ්‍ය කමිටු සැසිවාරයේ දී ගන්නා ලද තීරණවලට මා එකඟ නොවූණු බව මම පැහැදිලිවම කිව්වා. ඒ බව පක්ෂයේ නායකයන් සියලු දෙනාම දන්නවා. අත්අඩංගුවට ගන්නට කලිනුත් ඒ බව මම පක්ෂයට දන්වලා තියෙනවා. ඒ නිසා පක්ෂයේ ප්‍රධාන ලේකම් විදියට තව දුරටත් වැඩ කරන්න මට පුළුවන්කමක් නැහැ. මට වගේම ප්‍රශ්න තියෙන පක්ෂයේ සහෝදර සහෝදරියන් මුණ ගැහිලා සේරම ප්‍රශ්න හරි, නැවතත් දේශපාලන වැඩකටයුතු කරන්න කියලා මට කියන්න බැහැ කිව්වා.

“ඒ ප්‍රශ්න ගැන, විශේෂයෙන් ජාතික ප්‍රශ්නය ගැන සහ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ හිඟකම පිළිබඳව සාකච්ඡා කරලා හැකි නම් ඒවා නිරාකරණය කර ගෙන පැහැදිලි ස්ථාවරයකට ඇවිත් කටයුතු කරන්නට පුළුවන්. ඒවා නිරාකරණය කර ගැනීමෙන් තොරව මට වගකීම් සියල්ලම භාර ගෙන කටයුතු කරන්නට පුළුවන්කමක් නැහැ කියලා මගේ තත්ත්වය මම පැහැදිලි කළා. දේශපාලන මණ්ඩලයට සහභාගී වෙච්ච අනෙක් සහෝදරවරු මේ තත්වය පිළිගත්තෙ නෑ. අවසානයේ දී රෝහණ සහෝදරයා මුණගස්වා මේ දේශපාලන ප්‍රශ්න නිරාකරණය කරගන්නට මාර්ගයක් සකස් කරන්නට මේ රැස්වීමේ දී අනෙක් අය තීරණය කළා.

“මම භාරගත් දේශපාලන වැඩකටයුතුවලින් ප්‍රධානතම දේ ජනාධිපති ජයවර්ධන මහතා මුණ ගැසීම. ඒ හරහා පක්ෂයට පනවා තිබෙන තහංචි සහ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කිරීම. මම ඒක කළේ නාවල හන්දිය අසල පදිංචිව සිටි ජනාධිපති ජයවර්ධන මහතාගේ පුද්ගලික ලේකම්වරයකු වූ පෙරේරා මහත්මයා මඟින්. ඔහු මට වෝර්ඩ් පෙදෙසේ නිවසේදී ජනාධිපතිවරයා මුණ ගැසෙන්නට අවස්ථාවක් සළසා දුන්නා. මේ හමුවේ දී මම, ජනාධිපතිවරයාට ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව පවත්වපු රහස් පොලිස් පරීක්ෂණවලින් 83 ජූලි කලබලවලට ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සම්බන්ධයක් නැති බව,සනාථ කරලා තියෙන බව කියා සිටියා. ඒ නිසා අත්අඩංගුවට අර‍ගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අපි සියලුම දෙනා කිසිම කොන්දේසියක් පනවන්නේ නැතිව නිදහස් කළා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ශක්ති මුද්‍රණාලයේ සීල් ඉවත් කරලා ඊට එරෙහිව පනවා තිබෙන තහංචි ඉවත් කරලා පක්ෂයේ මුද්‍රණ යන්ත්‍ර සහ වාහන නඩත්තු කරන්නටත් ඒවා පක්ෂයේ වැඩ කටයුතුවලට යොදා ගන්නටත් අවසර දෙන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. එහෙම කරලා ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කරන්න කටයුතු කරන ලෙස මම ජයවර්ධන ජනාධිපතිවරයාට කිව්වා.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා එවකටත් ජනතා විමුක්ති පෙරමු‍ණේ ලේකම් ලයනල් බෝපගේ අතර මේ හමුව සිදුවුයේ 1984 ජනවාරි මස මැද භාගයේ ය.

“ජයවර්ධන ජනාධිපතිවරයා මට දුන්නේ එකම එක පිළිතුර යි. ‘අත්අඩංගුවේ සිටි සියලු දෙනා නිදහස් කරල තිබෙනවා. ‘රොහාන්’ට ඇවිල්ලා කට උත්තරයක් දීලා යන්න කියන්න. එතකොට ඒ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.’ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා රෝහණ සහෝදරයාට ආමන්ත්‍රණය කළේ ‘රොහාන්’ කියලා. ජනාධිපති ජයවර්ධන මහතා දේශපාලන ජීවිතයේදී මට තුන් වතාවක් හමුවෙලා තියෙනවා. තුන්වැනි අවස්ථාව තමයි මේ පක්ෂයේ තහනම ඉවත් කර ගන්න කරපු හමුවීම. නමුත් ඒ කටයුත්ත සාර්ථක වුණේ නැහැ. මොකද පක්ෂ තහනම ඉවත් කර ගැනීම සඳහා රෝහණ සහෝදරයාට ඇවිත් කට උත්තරයක් දෙන ලෙස ජනාධිපතිවරයා කී බව මම පක්ෂයට දැනුම් දුන්නම එය කළ නොහැකි දෙයක් බව පක්ෂය මට දැනුම් දුන්නා. පක්ෂය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා.”

සිසිර යාපා

සඳුදා- වේදනාබර ඉල්ලා අස්වීමේ ලිපිය


නව අදහස දක්වන්න