පුස්කොළ ලේඛන කලාව | දිනමිණ

පුස්කොළ ලේඛන කලාව

අකුරැස්ස මධ්‍යම විශේෂ - විජිත සල්ගාදු
බෝපාගොඩ ධම්මින්ද හිමියන් විසින් පුස්කොළ ලේඛන කලාවේ නියුතුව සිටියදී

පුස්කොළ ලේඛන කලාවේ ආරම්භය ක්‍රි.පූ. 88 -75 දක්වා දිව යයි. අනුරාධපුර යුගයෙහි 2 වන වරට රජකම් කළ වලගම්බා රජු සමයේ පුස් කොළ ලේඛන කලාව ආරම්භවූ බව ඉතිහාසය පෙන්වා දෙයි. වලගම්බා රජු විසින් ඉදිකරවන ලද අභයගිරි විහාරය පෞද්ගලික විහාරයක් ල ෙස කුපික්කලතිස්ස හිමියන් වෙත රජු විසින් පූජා කර ඇත්තේ පුස්කොළ ලේඛනයක සකස් කරන ලද සන්නස් පත්‍රයකින් බවත් එය පළමු පුස් කොළ ලේඛනය වන අතර එම සන්නස් පත්‍රය ලියා ඇත්තේ වැටකෙයියා පත් ඉරුවක බවද සඳහන් වේ.

එතැන් පටන් පුස්කොළ කලාව ශ්‍රීලංකාව පුරා පැතිරී ගොස් ඇතැයි ද සඳහන් වේ. පුස්කොළ ලේඛන කලාව පිළිබඳව විවිධ මත ඇත.

පුස්කොළ ලේඛන කලාව මනාව ප්‍රගුණ කර ඇති පාලි භාෂාව පිළිබඳ ආචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍ය බෝපාගොඩ ධම්මින්ද හිමියන් හා පුස්කොළ ලේඛන කලාව පිළිබඳව පිළිසඳරක යෙදීමට අවස්ථාව සැලසිනි. උන්වහන්සේ මාර/ ධර්මවිජය පිරිවෙනෙහි ආචාර්ය හිමිනමකි. උන්වහන්සේ 2014 වසරේදී හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින අතරතුර මාවරල නාග ‍බෝධි විහාරස්ථානයේ නායක හිමියන්ගෙන් පුස්කොළ ලේඛන කලාව හදාරා ඇත. උන්වහන්සේ මෙම ලේඛන කලාව මනාව ප්‍රගුණ කරන ලද අති දක්ෂ හිමිනමකි.

තල් කොළ , ගොක් කොළ , වැටකෙයියා ‍කොළවල පවා ලේඛන කලාව කර හැකි වුවත් පුස් කොළ පොතට අවශ්‍ය ආකාරයට පත් ඉරුවේ දිග පළල ලබාගන්න පුළුවන් වන්නේ තල ගසේ කොළයෙනි.

වළගම්බා රජ සමයේදී ත්‍රිපිටකය මුලින්ම ග්‍රන්ථාරූඩ වී ඇත්තේ පුස්කොළ පොත්වලටයි. පෑන් , පැන්සල් , පොත් ලේඛන කාර්යයන්ට භාවිතා වෙන්නට පෙර ඉන්දියාව , ශ්‍රීලංකාව වගේ දකුණු ආසියානු රටවල්වල පාවිච්චි වුනේ තල ගසේ කොළයයි. තල කොළයේ අකුරු ලිවීම පුස්කොළය වෙන්නේ කෙසේදැයි මත කිහිපයක්ම ඇත. ලිවීමට හෝ උල් කටුවෙන් සීරීමට පිළියෙල කරගන්නා හිස් කොළය පුස් කොළය නමින් හඳුන්වන එක 19 වැනි සියවසේදී බෙන්ජමින් ක්ලප් දේවගැතිතුමා ඉදිරිපත් කරන ලද මතයකි.

අපේ රටේ ආදිතම සාක්ෂිය ඇත්තේ මහින්දාගමනයත් සිදුවුනාට පසුවයි. ශ්‍රී මහා බෝධිය ශ්‍රීලංකාවට වැඩම කරද්දී ආව පිරිස අතරේ පොත් ලිවීම කරන ලද අය සිටි බව කියැවේ. ඉතිහාසය සාක්ෂි දරණ අන්දමට පුස් කොළ ලේඛන කලාව අපේ රටේ ආරම්භවී ඇත්තේ ඊට පසුවයි. මෙරට හා විදේශයන්හී පුද්ගලයින් සතුව ඇති පුස් කොළ පොත් වලින් බහුතරය 18 හා 19 වෙනි සියවස්වල ලියන ලදැයි සැළකේ. ගම්පොළ හා කෝට්ටේ රාජධානිය හෝ අනුරාධපුර රාජධානිය පැවැති යුගවල ලියන ලදැයි සැළකිය හැකි පොත් සොයාගෙන ඇත්තේ 04 ක් පමණ බව සමීක්ෂණ වලින් හෙළිවී ඇත.

චුල්ලවග්ගය ( කොළඹ ජාතික කෞතුකාගාරය)

විසුද්ධමග්ග ටීකාව ( පේරාදෙණිය විශ්ව විද්‍යාලය - පුස්තකාලය)

සාරත්ථදීපනි නම් විණය ටීකාව , පළමු කාණ්ඩය (ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලය)

සාරත්ථදීපනී පිටපත ( පැරිස් නුවර ජාතික පුස්තකාලය)

දකුණු හා අග්නිදිග ආසියාතික රටවල කඩදාසි හඳුන්වාදීමට පෙර ප්‍රධාන වශයෙන් ලිවීමට ගන්නා ලද ලේඛන මාධ්‍ය ලෙස පුස්කොළ බව සඳහන් කළ හැකිය. ශ්‍රීලංකාවට කඩදාසි භාවිතය හඳුන්වා දෙන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 16 වැනි සියවසේ මුල් භාගයේදී මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත් පෘතුගීසීන් විසිනි. එහෙත් කඩදාසි භාවිතාවූ කාලයේදීද ලේඛන මාධ්‍යය ලෙස පුස්කොළ භාවිතාවූ බවට සාක්ෂි නැතුවාම නොවේ.

තල ගස අඩි 40 - 80 අතර ප්‍රමාණයක උසක් ඇත. තල් ගොබ කැපීමේ සිට වෙනම සම්ප්‍රදායක් ද. ලේඛන කලාවේ වෙනම ආකාරයක වචනද භාවිතා කරනු ලැබේ.

තලගස ළකුණු කිරීම , ගොබය කැපීම , කූරු ඉවත් කිරිම, පළමු වට්ටු සැකසීම,කොළ තැම්බීම , කොළ මැදීම , දෙවන වට්ටු සැකසීම , කොළ කැපීම, සිදුරු විදීම , රත ගෑම , ලිවීම , කළු මැදීම , සුද මැදීම , මද අව්වේ වියළීම, පොත් කම්බා , හුය සකසා නිර්මාණය , පොත් බැඳීම , ගබඩා කිරිම , සංරක්ෂණය, පුස් කොළ ලේඛන කියවීම.

ඈත රජ සමයේ තල ගස් කැපීම තහනම් කර තිබූ අතර එය රාජ උදහසට පවාලක්වන කරුණකි. ලේඛන සකස් කරගැනීම සඳහා වෙනම තල ගස් තෝරාගෙන තිබූ බව සඳහන් වේ.

තල ගස අයිනේ පුවක් ගසක් සිටවා ගනු ලබන්නේ පහසුවෙන් ගසට ගොඩවී ගොබ කපා ගැනීම සඳහාය.

තල ගසකින් වසරකට තල ගොබ දෙකක් කපා ගැනීමට හැකියාව ඇත. ගොබය දිග නොහැරෙන අයුරින් විසිරී යාම වැළැක්වීමට ගසෙහි ගොබය තිබියදී උණ පටි වලින් ගොබය සිරකර තැබීමට කටයුතු කරනු ලබයි. පත් ඉරු පළල් කරගැනීමේ උපක්‍රමයක් ලෙස එලෙස කරමින් මාස දෙකක පමණ කාලයක් එලෙස තැබීමට සලස්වයි. තල මල පිපීම තල ගසේ අවසානය ‍කියා පෑමකි.

ගසේ ගොබ කපාගැනීම සිදු කරනු ලබන්නේ දැඩි භක්තියකිනි. සුදුසු නැකතක් බලා සුබ මොහොතින් පේවුන පුද්ගලයෙකු සුදු ඇඳුමින් සැරසී තල ගසට යාබදව සිටවා ඇති පුවක් ගසෙහි ආධාරයෙන් තල ගසට නැග ගොබය කපා ළණුවක ආධාරයෙන් බිමට ගෙන පළමුවෙන් ඉරටු ඉවත් කරනු ලැබේ. පොල් කොළයක එක ඉරටුවක් වුවත් තල කොළයේ පිට ඉරටුව හා ඇතුල් ඉරටුව ලෙස ඉරටු දෙකක් පිහිටා ඇත. ඉන් පසුව කොළයට හානි නොවන ලෙස සියුම්ව පත් ඉරු කපා ගනී.

වට්ටු ගසා පත් ඉරු තම්බා ගනු ලන අතර කැප්පෙටිය කොළ හා ගස් ලබු කොළ මුසු කළ ජලයෙන් තැම්බීම කරනු ලබන්නේ කොළයේ මෘදු ගතිය ආරක්ෂා කරගැනීම සඳහාය.

පත් ඉරු තැම්බීමෙන් පසුව ඉර එළියේ මද පවනේ දින 03 ක් වේලාගන්නා අතර කහ පාටවූ පත් ඉරු සුදු කරගැනීම සඳහා දින 03 ක් සඳ එළියට නිරාවරණය කර තබනු ලබයි. කොළය හැකිලී , ඝනකම අඩුවී ඇති බැවින් එක් රාත්‍රියක් තණ පිස්සක හෝ ගල් තලාවක අතුරාතබා පින්න වැටීමට සැලැස්වීමෙන් පත් ඉරුවේ ඝනකම වැඩිකර ගනී.

මේ ආකාරයට කොළ සියල්ල පදම් කරගැනීමෙන් අනතුරුව තිරස් අතට ගැට ගැසූ ගස් දෙකක් අතරින් හොඳින් මැදගත් පොල් , පුවක් හෝ කිතුල් කඳක් දමා ඒ මත තල කොළය දමා එක් කොළයක කෙලවරක රාත්තල් 14 ක් පමණ බර මදින ගල එල්ලා කිහිප වරක් අතින් අදිමින් කොළ පදම් කර ගනී. මෙලෙස පදම් කරගත් පත් ඉරු වසර ගණනාවක් වුවද කුස්සියේ දුමේ ආරක්ෂිතව තබාගත හැකිය. කෘමීන්ගෙන් හා ජලයෙන් හානිවීම වළක්වා ගන්නේ නම් වසර දහස් ගණනක් වුවත් ආරක්ෂිතව තබා ගත හැකි වනු ඇත.

සිදුරු දෙකක් කපා පුස්කොළ පොත් බැඳීම කරනු ලබයි. එය සුලි කැපීම යනුවෙන් ව්‍යවහාර වේ. පොතේ කවරය කම්බය ලෙසින් හඳුන්වනු ලැබේ. ඇත් දල , ලී , ලෝහ ආධාරයෙන් පොතේ කවරය සකස් කර ගැනීමට පුළුවන.

අකුරු කැපීම සඳහා පන්හිඳ පාවිච්චි කරනු ලබන අතර , ඒ සඳහා රන් , රිදී , ලෝකඩ , යකඩ , වානේ , තඹ යන ඕනෑම ලෝහයකින් කම්මල්කරුවෙකු ලවා මෙම පන්හිඳ සකසා ගත හැක. චත්‍ර , පත්‍ර , නළ , ඝණ්ඩ , ලේඛනී යනුවෙන් සඳහන්වන පන්හිඳ අඟල් 20 - 22 අතර ප්‍රමාණයේ විය යුතුවන අතර පන්හිඳ සමබරවීම අත්‍යවශ්‍ය වනු ඇත. වෙනත් කටුවකින් වුවද පත් ඉරුවේ ලිවීමට හැකියාව ඇතත් වෙනත් කටු පාවිච්චි කිරීමෙන් පත් ඉරුවල කෙඳි ඇදී ඒම සිදුවෙන බැවින් පන්හිඳ පමණක් පාවිච්චි කරනු ලැබේ.

පුස්‍ කොළයේ පන්හිඳෙන් ලියන ලද අකුරු සුදු පැහැය ගන්නා බැවින් අකුරුවල පෙනීම ලබාගැනීම සඳහා කළු මැදීම කරනු ලබයි. ගැඩිඹ ගසක අතු කැබලි පුළුස්සා ලබාගන්නා අඟුරු කුඩු කර , දුම්මල තෙල් දමා සාදාගත් ආලේපනය පත් ඉරු පිටුවල තවරා ගැනීමෙන් ලේඛනයේ වචන මනාව දිස්වේ. කළු මැදගත් පත් ඉරු වල අනවශ්‍ය තෙල් ඉවත් කරගැනීම සඳහා සහල් නිවුඩු හෝ කුරක්කන් පිටි භාවිතා කර පිස දැමීම කළ යුතුවේ.

පුස් කොළ ලේඛන කලාවේ අකුරු රටා 03 ක් ඇත. අකුරු ප්‍රමාණයන්ද 03 කි.

1. හස්ති ශෛලිය - වටකුරු අකුරු ( පිරිත් පොත් ලියන අකුරු ර‍ටාව)

2. හංස ශෛලිය - ඇද අකුරු ( ත්‍රිපිටක හා සාහිත්‍ය පොත් ලියන රටාව)

3. කාක ශෛලිය - එක අකුරක ඉස්පිලි පාපිලි මතින් අනිත් අකුර කැපෙන අයුරින් ලිවීම) මන්ත්‍ර ලිවීමට මෙම ශෛලිය භාවිතාවේ.

මුං ඇට ප්‍රමාණය , කඩල ඇට ප්‍රමාණය හා නෙල්ලි ගෙඩි ප්‍රමාණය යනුවෙන් අකුරුවල ප්‍රමාණයන් සැකසේ.

පුස් කොළ ලේඛනවල වචන අතර පරතරයක් තබන්නේ නැත. කියවන පුද්ගලයා‍ විසින් වචන බිඳගෙන කියවිය යුතුවේ. ධර්මය පරම්පරාගතව පුරුදු කොට ඇති බැවින් වචන බිඳගත යුතු ආකාරය ගුරුවරයා විසින් තම ගෝලයින්ට අවබෝධය ලබාදී ඇති බැවින් කිසිදු ප්‍රශ්ණයක් ඇති නොවේ.

මෙලෙස ලියාගත් පත් ඉරු කලක් ගතවූ පසු වචන නිසියාකාරය නොපෙනෙනවා නම් යළි කළු මැදීමෙන් මනාව වචන කියවීමට හැකිවනු ඇත.

පුස් කොළ ලේඛනයක නැවතීමේ ලකුණ යොදන්නේ නැත. ඒ වෙනුවට කුණ්ඩලිය යොදනු ලබයි. ලේඛන උපක්‍රමයක් විධියට පෙයියාලම භාවිතා කරන අතර කුණ්ඩලය සටහන් කර පෙයියාලම දමා ඇත්නම් පෙර සඳහන් කුණ්ඩලියේ සිට නැවත කියවිය යුතු බව ඉන් අදහස් කෙරේ.

අදටත් අපේ රටේ ඇතැම් ජ්‍යොතිෂවේදීන් පුස්කොළ පත්ඉරු භාවිතා කරමින් ජන්ම පත්‍ර ලිවීම කරනු ලැබේ. මෙලෙස පුස්කොළ ලිවීම කරනු ලබන්නේ පැරැණි ජ්‍යොතිෂවේදීන්ය .

විවිධ මන්ත්‍ර ගුරුකම් අඩංගු පුස් කොළ පොත්ද ඇතැම් මන්ත්‍රකරුවන් පරිශීලනය කරනු ලබන අතර එම පුස්කොළ පොත් ඉතාමත් රහසිගතව තබාගන්නා අතර එම පොත් තම පරම්පරාවෙන් පැවත ගෙන එන බැවින් අනාගත තමපරම්පරාවට පමණක් පරිශීලනය කිරීමට හැකි ලෙස කටයුතු කරනු ලබයි. පැරැණි ආයුර්වේද වෛද්‍යවරුන්ද තම මුතුන් මිත්තන් වන වෙදමහත්වරුන් විසින් ආරක්ෂා කරගෙන එන පරම්පරානුගත වෙදකම් ක්‍රම වේදයන් හා ‍වටිනා බෙහෙත් වට්ටෝරු අඩංගු පුස් කොළ පොත් අදටත් පරිශීලනය කරමින් වෙදකම් කරන වෙදැදු‍‍රෝ සිටිති. මෙවැනි පුස් කොළ පොත් ඇතැම්විට වසර සිය දෙසිය ගණනක් පැරැණි ඒවා වේ.

පුස්කොළයක අකුරු කැපීමට මහත් වෙහෙසක් දරන්නට අනවශ්‍ය වන අතර සමබරව පන්හිඳ පරිහරණය කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

පුස්කොළ ලේඛන කලාව අප රටට පමණක් ආවේණික වූවක් නොවන අතර තායිලන්තය , බුරුමය , ඉන්දියාව , යන ඝර්ම කලාපීය රටවලද භාවිතාවේ.

මෙම පුස්කොළ කලාව අභාවයට යානොදී රැකගැනීමට උත්සාහ ගන්නේ අතලොස්සක පිරිසක් පමණ වන අතර වසර දහස් ගණනක් වුවද ආරක්ෂා සහිතව ලේඛනයක් සංරක්ෂණය කිරීමට පුස්කොළ ලේඛනයකට හැකියාව ඇත. පුස්කොළ ලේඛන කලාවේ නියුතුවූවන් මෙම කලාව අභාවයට යා නොදී පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙනයෑමට ඉදිරිපත්ව සිටින පිරිස ඇගයුමට ලක්විය යුතුව ඇත. අපේ තරුණ පරම්පරාවට පුස්කොළලේඛන කලා ශිල්පය ලබාදීමට යම් ක්‍රමවේදයක් සකස් කරන්නේ නම් එය ජාතික යුතුකමක් වනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...