අලි කොටි මැද භාවනායෝගී වන විලඳගොඩ රජමහා විහාරය | දිනමිණ

අලි කොටි මැද භාවනායෝගී වන විලඳගොඩ රජමහා විහාරය

පුත්තලම සිට අනුරාධපුරය දෙසට ගමන් කරන විට අපට හමුවන 17 කණුව හන්දියෙන් වමට හරවා කිලෝමීටර් 12ක් පමණ දුරක් ඝන වනාන්තරය මැදින් ගමන් කිරීමේදී අපට ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමක් ඇති විලන්දගොඩ විහාරස්ථානය හමුවේ.

මෙම විහාරස්ථානය ක්‍රි.ව. 4-5 වැනි කාලයේ දී ඉදිවූවක් බව ඉතිහාස ග්‍රන්ථ හෙළිදරව් කරයි. එකල මෙකී ස්ථානය සාලිය අශෝකමාලා සැඟව සිටි ලෙන ලෙස ජනවහරේ හැඳින්වේ. ශිලා ලිපි දහයකට අධික ප්‍රමාණයක් මෙහි සටහන් වේ. පොදුවේ වහරල මිදීමේ ලිපි වශයෙන් හඳුන්වනු ලබන මේවා බොහෝ විට පඩි පේලි අසල සටහන් කර ඇත. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව වහරල මිදීම යනු වහලුන් වහල්භාවයෙන් මිදවීමය.

දුටුගැමුණු රජු තම පුතණුවන් බැහැදැකීමට පැමිණි මොහොතේ විළඳ සමඟ මීපැණි පූජා කර එහි තිබූ විළඳ ඇට හා සමානව වෙහෙර විහාර ඉදිකරන ලෙස තම පුතුට අවවාද අනුශාසනා කළ බැවින් මෙය වර්තමානයේ විළඳගොඩ ලෙසින් නම් කර ඇති බව ජනවහරේ සඳහන් වෙයි. පසුව මෙහි තවත් විශේෂිත වූ වෙහෙර විහාර රැසක් එකල සිටි රජවරුන් විසින් සාදවා ශාසනයට පූජා කර ඇති බව මනාව හෙළිදරවු වේ. ඒ අනුව කලාවැව ඉදිකර වූ ධාතුසේන රජු විසින් ඉදිකරන ලද වෙහෙර විහාර 18ක් අතරින් සල්වානා වෙහෙර සහ ගිරිපබ්බත වෙහෙර සුවිශේෂී වටිනාකමක් ඇති බව වංශ කතාවල සඳහන්ය.

මෙහි ගල් පඩි සහිත සාලිය පොකුණ, අනුරාධපුර ලෝවාමහාපායට සමාන ගල් කණු කරු සහිත උපෝසථ ගෙය හෙවත් සීමා මාලකය, චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කරවන ලද බුදු පිළිමය කටාරන් කොටන ලද ලෙන් 60ක් සහිත මෙහි භික්ෂුන්ගේ පැන් පහසුව සඳහා ඉදිකරන ලද පොකුණු කිහිපයට අමතරව ගිනි හල් පොකුණ, අඩි දහඅටක් ගැඹුරැති දිය කෙමිය ඇතුළු තවත් විස්මිත වූ සුවිශේෂි නටබුන් රැසක් පිහිටා තිබීම එහි යන කාගේත් නෙත් සිත් පැහැරගන්නා සුළුය.

හාත්පසින්ම වෙනස් ආකාරයේ අරුම පුදුම විස්මය දනවනසුළු විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ නව නිර්මාණයක් ද මෙහි පිහිටා ඇත. එය නම් බැලූ බැල්මට ඇස් උඩු යටි කුරු කරමින් හිස් කබලේ සිට මාපට ඇඟිල්ල දක්වා දිවෙන රුධිරය මොහොතකට සිසිල් දිය පොදක් බවට පත් කරන බැලුම් ගලය. උස අඩි 60ට ආසන්න විශාල පර්වතයක් පොළොව මට්ටමට සවි වී ඇත්තේ අඩියක් වැනි සුළු කොටසකිනි. නමින් බැලුම් ගල යනුවෙන් හඳුන්වනු ලබන මෙම ගල් පර්වතය එකල රහතුන් වහන්සේලා භාවනා කිරීම සඳහා ධ්‍යාන ලෙන් වශයෙන් උපයෝගි කර ගෙන ඇතැයි කියවේ.

අක්කර 500ට ආසන්න වපසරියකින් සමන්විත මෙම විහාර භූමිය එක් පසෙකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සීමා මායිම්වත්, තවත් පසෙකින් නීලබැම්ම ගොවි ජනපදයට සීමා මායිම්වත් පිහිටා ඇති අතර, පෞරාණික වැව් 15ට අධික සංඛ්‍යාවක් පිහිටා තිබීම එහි ඇති සුවිශේෂි වූ ලක්ෂණයක්ව තිබේ. එල්ලංගා පද්ධතියට හිමිකම් කියන ගස් ගොම්මන සහිත මෙකී වැව් එකිනෙක පරයා ජලය රැගෙන යාමේ ක්‍රියාන්විතය නිසි ලෙස ක්‍රමවත්ව සිදුකරන ආකාරය එහි යන කාගේත් අදටත් නෙතට හමුවේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අලි, කොටි, වළසුන්, මුවන්, ගෝනුන් ඇතුළු අපා දෙපා සිවුපාවුන් සිය නිජ භූමිය කරගෙන ඇති මෙම විහාර භූමිය ඔවුන්ගේ පරම වාසස්ථානය බවට පත්ව තිබේ. කොටි ලෙන, ඇත් පවුර එයට කදිම නිදසුන්ය.

මෙහි වනවාසී භික්ෂුන් වහන්සේලා සිවුනමක්, ධ්‍යාන ලෙන් තුළ භාවනානුයෝගිව වැඩ වාසය කරති. රටේ ප්‍රසිද්ධියට පත් ලක්වාසී බෞද්ධ බැතිමතුන්ගේ මුදුන්මල්කඩක් බඳුවූ මෙම පුරාණ රජ මහා විහාරයට පවතින උග්‍ර පානිය ජල හිඟය, උග්‍ර විදුලි අර්බුදය සහ වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිකම නිසාවෙන් විහාරයට පැමිණෙන වන්දනාකරුවන් දැඩි අපහසුතාවයට ලක් වන බව කිය යුතුය.

විහාරයේ රෝපණය කර ඇති ඉපැරැණි බෝධීන් වහන්සේටද වන අලි නිතර කෙනෙහෙලිකම් කරති‍.

උග්‍ර පානිය ජල ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලෙස නළ ළිඳක් ඉදිකර දීමට කටයුතු කරන්නේ නම් විහාරස්ථානයට පමණක් නොව සමස්ත සත්ව ප්‍රජාවගේම පිපාසය සන්සිඳුවීමට එය මහෝපකාරි වනු ඇත.

රාත්‍රී කාලයේ දී කුප්පි ලාම්පුවේ ආලෝකය මුළු මහත් විහාර භූමියටම ඇති එකම ආලෝකයයි. අඩ සඳ එළියේ සෙමෙන් සෙමෙන් විහාරය වෙත ඇදෙන සද්ධන්තයින්ගේ කුංචනාද මධ්‍යයේ සම්මා දිට්ඨියෙන් සම්මා වෑයමක යෙදෙන්නාවූ මේ වනවාසී භීක්ෂූන් වහන්සේලා සැබැවින්ම නුතන යතිවර පරපුරේ යතිවරයන් යැයි හැඳින්විය හැකිය.

උන්වහන්සේලා වෙනුවෙන් පිළිගැන්වෙන දානය වළඳනවා මිස බෙදා හදාගෙන වැළඳීමෙන් උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බව කියයි. කටයුතු සඳහා කැපකරු මහතකු සොයා ගැනීම ද බරපතළ ගැටලුවක්ව තිබෙන බව කියයි. එවැනි මහතකු නොමැතිකම නිසාවෙන් වනවාසී භික්ෂූන් වහන්සේලා දානවේල මඟ හැර භාවනාවේ යෙදෙන බව කියයි.

පුරාවිද්‍යාත්මක මෙන්ම ඵෛතිහාසික වටිනාකමකින් සමන්විත වූ මෙවැනි පෞරාණික ස්ථාන නුදුරේදී නිදන් සොරුන්ගේ ග්‍රහණයට නතු වී විනාශ වන්නට ද ඉඩ තිබේ. ඊට ඉඩහැර මුනිවත රකිනවා වෙනුවට මෙවන් ස්ථාන වැඩි දියුණු කර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන්නේ නම් වැදගත් ය.

මේ සම්බන්ධයෙන් විළන්දගොඩ රජමහා විහාරයේ විහාරාධිපති අනුරාධපුර නන්දවිමල ස්වාමින් වහන්සේ පවසා සිටියේ මෙවැන්නකි.

"විළඳගොඩ ස්ථානය මම ආරම්භ කළේ 2007 වර්ෂයේදී. ඒ වෙනකම් ඝන කැලෑවෙන් වැහිලා නිදන් සොරුන්ගේ බූදලයක් වෙලා සින්නක්කර වෙලයි තිබුණේ. මම මේ ස්ථානයට එන්න ප්‍රථමයෙන් විශාල වශයෙන් පුරාවස්තු විනාශට ලක් වෙලා තියෙනවා. ඒ අනුව චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කරවන ලද විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිදන් සොරු කඩලා විනාශ කරලා තියෙනවා. ඒ වගේම ගොඩනැඟිලි විනාශයට පත් කරලා තියෙනවා. දැන් ඒ තත්ත්වය මඟහැරිලා මම බොහොම දුකසේ ආරක්ෂා කරගෙන යන්නෙ. අපිට පාන්දරම පිණ්ඩපාතයේ වඩින්න විදියක් නැහැ වන සත්තු බහුලව ගැවසෙනවා. මේ ප්‍රදේශයේ සිට ගම්මානයට කිලෝමීටර් 15ක් පමණ වඩින්න වෙනවා. ඒ නිසා දැනටත් එක් වේලක් දානය වළඳලා තමයි මේ පුදබිම රැකගෙන ඉන්නෙ. මේ විහාරයේ භාවානා ලෙන් හැටක් පමණ තියෙනවා. ඉතිං භික්ෂූන් වහන්සේලා අඩුයි. උන්වහන්සේලාට ඇවිල්ලා පහසුවෙන් වැඩ වාසය කරන්න බැහැ. දානය කැප කරන්න විදියක් නැහැ. වැසිකිළි කැසිකිළි පහසුකම් නැහැ. පානිය ජල ගැටලුව උග්‍ර ලෙස තියෙනවා. විදුලිය නැහැ. එවැනි අඩුපාඩු සකස් කර ගත යුතුව තිබෙනවා. අපිට හැකියාවක් තියෙනවා නම් නළ ළිඳක් ඉදිකරලා දෙන්න. අපේ පිපාසය විතරක් නෙමෙයි සතුන්ගෙත් පිපාසය සංසිඳුවා ගැනීමට ඉන් හැකියාවක් තියෙනවා. මේ දේවල් කරලා දෙන්න පිං කැමති කව්රු හෝ ඉන්නවානම් ඉදිරිපත් වෙන්න කියලා ශාසනාලයෙන් දැනුම් දෙනවා"

කේ.ප්‍රියංකර කළුපහන
වනාතවිල්ලුව සමූහ

නව අදහස දක්වන්න