මහින්දගේ මස්ත බාල්දුව | දිනමිණ

මහින්දගේ මස්ත බාල්දුව

කිඹුල් කඳුළු හෙළන “විපක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතිය” ගැන කතා කිරීමට පවා මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අයිතියක් නොමැති බවයි බහුතරයකගේ අදහස වන්නේ. 2004 / 2010 මහ මැතිවරණවලින් පාර්ලිමේන්තුවට පත් වූ විපක්ෂ මන්ත්‍රීවරුන් තොග පිටින් ආණ්ඩුවට එක්කර ගනිමින් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ කඩා ඉහිරුවමින් පවුල් පාලනයක් ගෙන යාමට සියලු දේ කළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් විපක්ෂයට දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදුන් යුගයක් ලංකා ඉතිහාසයේ තබා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පවා නැහැ.

“ඊනියා ඒකාබද්ධ කල්ලියේ සහ රෙජිම මාධ්‍යවල පසුගිය දින කිහිපය පුරා ප්‍රධාන ප්‍රවෘත්තිය වුණේ රාජපක්ෂ කල්ලිය විසින් සැප්තැම්බර් 05 වැනිදා කොළඹ වටලනවා කියන කතාවයි. උදය ගම්මන්පිල මහතාට අනුව මේ විරෝධතා ව්‍යාපාරය 04 වැනිදා රාත්‍රියේ සිට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් එකක් වෙනවා. වාසුදේව නානායක්කාර මහතා කියන්නේ මේ විරෝධතාව නිසා මුළු කොළඹ නගරයේම පරිපාලන හා ආර්ථික කටයුතු බිඳ වැටීම සිදුවිය හැකි බවයි. ඒ අතර එදිනට ගැනීමට නියමිත (ඔවුන්ට පමණක් රහසක් වූ) තවත් දැඩි පියවර රැසක් ගැන මේ කල්ලිය මාධ්‍ය හරහා දැඩි ප්‍රචාරයක් ලබා දෙනවා. මේ විරෝධතා ව්‍යාපාරය ගැන වඩාත්ම විචිත්‍රවත් කතාව කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතායි. පසුගිය ඉරිදා පුවත්පතක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණා. “ඒක තමයි මං කිව්වේ. සැප්තැම්බර් පස් වැනිදා අපි ජනතාව එක්ක පාරට බහින්නේ ආපහු හැරෙන්න නෙමෙයි, කියලා. එදාට ආරම්භ වෙන වැඩපිළිවෙළ නතර වෙන්නේ රනිල් වික්‍රමසිංහව ගෙදර යවලා. එයාට කොයි ගෙදරට යන්න වෙයි ද කියලා මම දන්නේ නැහැ. අගමැතිකමෙන් යන්න වෙනවා කියන එක නම් මට ස්ථිරවම කියන්න පුළුවන්”

ඉහතින් සඳහන් වෙන්නේ රාජපක්ෂ කල්ලිය විසින් සංවිධාන කළ ඊනියා “ජන බලය කොළඹට” උද්ඝෝෂණය ගැන මේ ලියුම්කරු පසුගිය සිකුරාදා “අන්වීක්ෂයට” ලියූ ලිපියේ ආරම්භක පරිච්ඡේදයයි. එදා මේ ලියුම්කරු ඇතුළු බොහෝ දේශපාලන විශ්ලේෂකයන් අවධාරණය කළ කරුණ පසුගිය 05 වැනි බදාදා පැවති ඊනියා උද්ඝෝෂණය මගින් මනාව පැහැදිලි වුණා.

නැටූ තොවිලෙකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ

සැප්තැම්බර් 05 වැනිදා මධ්‍යාහනය දක්වා “ආණ්ඩුව ගෙදර යවනවා” යැයි වහසි බස් කියමින් රාජපක්ෂ කල්ලිය ඇල්ලූ අඩව්ව අවසානයේදී මේ තරම් කූජිත ආකාරයෙන් නිමට පත් වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ බව සහතිකයි. ඒ මේ ඊනියා උද්ඝෝෂණය ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ප්‍රචාරයක් සහ වටිනාකමක් රෙජිම මාධ්‍ය විසින් ඉතාම සංවිධානාත්මකව ගෙන ගිය නිසයි. ඇතැම් පෞද්ගලික එෆ්.එම් නාලිකා සහ වෙබ් අඩවි ඉතාම නිර්ලජ්ජිත ලෙස මේ උද්ඝෝෂණය මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කර ගෙන තිබුණා. ඒ මගින් ඔවුන් කොළඹ ඇතුළු රටේ සමස්ත ජන ජීවිතයම අඩාල කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් ගන්න ආකාරයක් දැකිය හැකි වුණා.

එහෙත් අවසානයේ “කන්දක් විලිලා මී පැටියෙක් වැඳුවා සේ” රාජපක්ෂ කල්ලියේ උද්ඝෝෂණය මස්ත බාල්දු වෙලා ගියේ මහින්ද, නාමල්, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලට තවදුරටත් මේ රටේ ජනතාව ඇන්දීමට නොහැකි බව මනාව පැහැදිලි කරමිනුයි. ඒ වගේ විමල් වීරවංශ, ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ආදී බොල් පිළිමවලට තවදුරටත් වාචාල කතා මගින් ජනතාව මුලා කිරීමට හැකියාවක් නැති බව තහවුරු කරමිනුයි. රාජපක්ෂ කල්ලියට බලය අල්ලා ගැනීමට තිබෙන තදියම ජනතාවට නැති බව පැහැදිලි කරමිනුයි. නැටූ තොවිලෙකුත් නැති බෙරේ පළුවකුත් නැති මේ ඊනියා උද්ඝෝෂණය ඉතාම පැහැදිලිව රාජපක්ෂ පවුලේ රෙදි ගැලවූ තවත් අවස්ථාවක් වශයෙන් ඉතිහාසයට එක් වන බව සහතිකයි.

රනිල් ගෙදර යැවීමට පාරට බැස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විටින් විට කොළඹ සුපිරි හෝටල්වල රැදෙමින් සිට අවසානයේ සාටෝපකාරි ආකාරයෙන් උද්ඝෝෂකයන් අතරට පැමිණෙනු දුටු උද්ඝෝෂකයන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ යළි අරලියගහ මැඳුරට ගොස් කිරිබත් කෑමට සිහින දුටු බවට සැකයක් නැත. ඊට හේතු කිහිපයක් තිබුණා. ඒ අතර ප්‍රධාන වුණේ ආණ්ඩුව ගෙදර යවා මිස තමන් නවතින්නේ නැති බව රාජපක්ෂ කල්ලිය ජනතාවට සහතික වශයෙන් කියා සිටීමයි. ඒ නිසා කොළඹ වටලා ගෙන දවසක් නොව මාසයක් වුව සිටීමට තරම් මනෝභාවයක් ඇතැම් උද්ඝෝෂකයන් අතර තිබුණා. උද්ඝෝෂකයන් අතර සිටි බහුතරයකගේ සැබෑ අපේක්ෂාව වුණේ ටියුනීසියාව, ඊජිත්තුව වැනි රටවල සිදු වුණා සේ අඛණ්ඩව අගනගරය වටලා ගෙන උද්ඝෝෂණයේ යෙදීමයි. ආණ්ඩුකට ඉල්ලා අස්වන තෙක් කොළඹ නගරයේ වඩිලා සිටීමයි. ආරාබි වසන්තය සේ “නාමල් පිපෙන රාජපක්ෂ වසන්තයක්” බිහි කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ ආපසු ගම්රටවල් බලා යාමටයි. උද්ඝෝෂකයන් තුළ මෙවැනි අතිධාවනකාරී මානසිකත්වයක් නිර්මාණය කිරීමට රාජපක්ෂ කල්ලි සහ රෙජිම මාධ්‍ය ඉතාම සැලසුම් සහගතව පියවර ගෙන තිබුණා. ඒකාබද්ධයේ ප්‍රබලයෙක් වන කුමාර වෙල්ගම “අපි හෙට නයිට් පාක් කොළඹ”යැයි වහසි බස් දෙඩුවේ ඒ නිසයි. ඒත් රෑ හත අට වෙද්දී රාජපක්ෂ කල්ලිය සුපිරි හෝටල්වල සවුදිය පුරද්දි ගම්වලින් පැමිණි ජනතාවට හිස් අතින් ආපසු ගමට යාමට සිදු වුණේ තවත් වරක් රාජපක්ෂලාගේ සාඩම්බර කතාවලට රැවටුණු බව මනාව වටහා ගනිමිනුයි.

පුංචි ඡන්දේ ආකර්ෂණය බාල්දු කර ගැනීම

05 වැනිදා උද්ඝෝෂණය ආරම්භ වන තෙක් උද්ඝෝෂණය සම්බන්ධයෙන් සෑම දෙයක්ම “අපූරු රහසක් ” ලෙස තියා ගැනීමට රාජපක්ෂ කල්ලිය උත්සාහ ගත්තා. මෙහි න්‍යායාචාර්යවරුන් වූ ගම්මන්පිල සහ විමල් වීරවංශ මේ රහස් සැලසුම් නිසා අපූරු ස්වයං වින්දනයක් ලබන ආකාරයත් දැකිය හැකි වුණා. ඒ නිසා තමන්ට කැමැති - කැමැති ආකාරයට එය අර්ථ ගන්වන්න හැකියාව ලැබුණා. කොහොම වුණත් බළලා මල්ලෙන් එළියට පැන්නේ උද්ඝෝෂකයන් බෝඩ් ලෑලි අරගෙන පාරට බැස්ස අවස්ථාවේදීය. පසුගිය කාලය පුරාම මස්තබාල්දු වුණ සටන් පාඨ හැර අලුත් කිසිම දෙයක් දැක ගැනීමට නොහැකි වුණා. “අපිට ඕනෑ ආණ්ඩුවක් - මහින්දගේ ආණ්ඩුවක්” “කොටි එළියට - විරුවන් ඇතුළට” “මහා සංඝ රත්නයට අත නොතබනු” “ජීවන වියදම පහළ දමනු” “පාතාලය මර්දනය කරනු” “විජයකලා කොටි ඉල්ලයි - ඇමැතිවරු ගොටු අල්ලයි” “පළාත් සභා ඡන්දයට බාලගිරි දෝෂය” ආදී යල්පැන ගිය සහ දියාරු සටන්පාඨ සහිත පුවරු ගෙන සිටි උද්ඝෝෂකයන් අතර තිබුණේ සටන්කාමී ජවයක් නොව “ආතල් ගන්න ආ” ස්වභාවයක්. කොටින්ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක දැකිය හැකි වූ ජවය, සටන්කාමී ස්වභාවය වෙනුවට දැකිය හැකි වුණේ ගමේ කොල්ලෝ ට්‍රිප් එකක් ගිය විට දැකිය හැකි ස්වභාවයයි. විකාරරූපී භාවයක්.

“උද්ඝෝෂකයන් තුළ පැවති මේ විකට ස්වභාවය ගැන මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ බොහෝ දෙනෙක් කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව ප්‍රහාර එල්ල කළ හැකි විවේචන රහිත තත්ත්වයක් තුළ මෙවැනි මන්දෝස්සාහීභාවයක් උද්ගත වීම ස්වභාවික තත්ත්වයක් බවයි.

“මේවා පසුගිය කාලය පුරාම දිගින් දිගටම කළ පුහු චෝදනා. 2015 දී නම් විදුලි පුටුව, ජාත්‍යන්තර යුද අධිකරණය, කොටි නැගිටීම, පෙඩරල් ව්‍යවස්ථාව, ජනතාවගේ, විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවගේ ආකර්ෂණයට ලක් වුණා. ඒ මගින් ඔවුන් තුළ දැඩි බියක් නිර්මාණය කළා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහබැංකු බැඳුම්කර සිදුවීම, රටේ සංවර්ධනය අඩාල වීම වැනි දේ ප්‍රධාන සටන් පාඨ වුණා. ඒත් පසුගිය කාලයේදී ඒ සියලු චෝදනා හුදු ප්‍රලාප බවට පත් වුණා. ඉතිං රාජපක්ෂ පාර්ශ්වයට අලුත් සටන් පාඨ සොයා ගැනීමට සිදු වුණා. ඒත් දැන් මොනවා කියලා කියන්නද ? ඉතිං පාක්ෂිකයන් මන්දෝත්සාහීවීම ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. මේ තත්ත්වයවත් ඉදිරියට රැක ගන්න රාජපක්ෂ කල්ලියට නොහැකි වෙනවා” මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ දේශපාලන විද්‍යාඥයෙක් සඳහන් කළා. ඔහු එහිදී අවධාරණාත්මකව කියා සිටියේ සැප්තැම්බර් 05 උද්ඝෝෂණයේ අසාර්ථක්වය රාජපක්ෂවරුන්ගේ ඉදිරි බල ව්‍යාපෘති සැලසුම් හා න්‍යාය පත්‍ර සම්පූර්ණයෙන් අවුල් කරනු ඇති බවයි.

“අද (06) උදේ මෙනවා හරි ලොකු දෙයක් වෙයි කියලා රාජපක්ෂ පාක්ෂිකයෝ බලාපොරොත්තු වුණා. ඔවුන් කොළඹට ආවේ දැඩි බලාපොරොත්තුවකින්. ඒත් ආරම්භයේ සිටම ඒ බලාපොරොත්තුව බිඳ ගන්න ඔවුන්ට සිදු වුණා. නායකයන් වෙතින්, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගෙන් හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඔවුන් බලාපොරොත්තු වුණු උත්තේජනය ලැබුණේ නැහැ. අනෙක් අයත් ඇපෙන් බේරෙන්න වාගේ වැඩ කළේ. හවස් කාලයේ කරන උද්ඝෝෂණයකින් මොනවද කරන්න පුළුවන්. ඔවුන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ආණ්ඩුවෙන් දැඩි ප්‍රතිරෝදයක් බලාපොරොත්තු වුණා. ඒත් ඒ කිසිවක් සිදු වුණේ නැහැ. ඇතැම් මාධ්‍ය විසින් ලබා දුන් දැඩි ප්‍රසිද්ධිය නොවුණා නම් තත්ත්වය මීටත් වඩා දුර්වල වෙන්න තිබුණා. මේ තමන් පත්ව සිටින මේ දුර්වල තත්ත්වය රාජපක්ෂවරු බලාපොරොත්තු නොවුණා විය හැකියි. ඒත් මේ මොහොතේ දේශපාලන භූමියේ යථාර්ථය මේකයි. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ඔවුන් දිනාගත් සාපේක්ෂ බලය පවා මේ උද්ඝෝෂණය හරහා හෑල්ලුවට ලක් වුණා” සැප්තැම්බර් 05 උද්ඝෝෂණය ගැන ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙක් ලියුම්කරු සමඟ ඉහත ප්‍රකාශය කළා.

මහින්දගේ කිඹුල් කඳුළු

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ සිහිනය සමගින් කොළඹ වැටලීමට පැමිණි ජනතාව හමුවේ මහින්ද රාජපක්ෂ මහතා කළ කතාව ගැනත් අප අපගේ අවධානය යොමු කළ යුතුයි. උද්ඝෝෂකයන් හමුවේ රාජපක්ෂ මහතා කියා සිටියේ, වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරමින්, රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යමින් සිටින බවයි. ඒ වගේම විපක්ෂයක් ලෙස දේශපාලනය කිරීමට ඇති අයිතිය ගැන ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණාත්මක කියා සිටියා.

මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශය ගැන බොහෝ දෙනෙක් යොමු කළේ හාස්‍යය මුසු බැල්මක්. ඒ මහින්ද රාජපක්ෂ යුගයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරදීමට සහ විපක්ෂයට දේශපාලනය කිරීමට කොතරම් අවස්ථාවක් ලබා දුන්නාද යන්න ගැන ඔවුන් තුළ මනා වැටහීමක් වගේම මතකයක් තිබුණු නිසයි. මේ වන විට “තමාට අවාසි සෑම දෙයක්ම අමතක වීමේ රෝගයෙන් පෙළෙන” රාජපක්ෂ මහතාට තම පාලන යුගයේදී තමා ප්‍රජතන්ත්‍රවාදය කොතරම් පහත් ලෙස කෙළසා දැමුවාද යන්න ගැන අමතකව තිබිය හැකියි. ඒත් මාධ්‍ය නිදහස අහුරාදමමින්, සියලුම ආකාරයේ පොදුජන හා වෘත්තීය සමිති උද්ඝෝෂණ මර්දනය කර දමමින් දැඩි මර්දනකාරී රාජපක්ෂ යුගය ජනතාවට අමතක කිරීමට පහසු නැති බව රාජපක්ෂ මහතා වටහා ගත යුතුයි. උදාහරණයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලෙක් ලෙස පිළිගැනෙන “තොරතුරු දැන ගැනීමේ අයිතිය” නීතිගත කර ගැනීමට එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත හා සම්බන්ධ සිදුවීම දැක්විය හැකියි. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පවා ඉඩ නොදුන් රාජපක්ෂ පාලනය එම ප්‍රයත්නය සම්පූර්ණයෙන් කඩාකප්පල් කළ බව ජනතාවට අමතක විය නොහැකියි. “පනතක් මොකටද ? ඕනෑම තොරතුරක් මගෙන් ඉල්ලන්න” යැයි වහසි බස් දෙඩු මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් ආණ්ඩුව තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකම් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවම පිළිගෙන “තොරතුරු කොමිසමක් ” ද ස්ථාපිත කර ඇති බව අමතක වීමට හේතුවක් නැත. ඒ වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීම සඳහා වඩාත් බලවත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ඇති බව අමතක වීමට හේතුවක් නැහැ.

අද රාජපක්ෂ මහතා විසින් කිඹුල් කඳුළු හෙළන “විපක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතිය” ගැන කතා කිරීමට පවා මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අයිතියක් නොමැති බවයි බහුතරයකගේ අදහස වන්නේ. 2004 / 2010 මහ මැතිවරණවලින් පාර්ලිමේන්තුවට පත් වූ විපක්ෂ මන්ත්‍රීවරුන් තොග පිටින් ආණ්ඩුවට එක්කර ගනිමින් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ කඩා ඉහිරුවමින් පවුල් පාලනයක් ගෙන යාමට සියලු දේ කළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් විපක්ෂයට දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදුන් යුගයක් ලංකා ඉතිහාසයේ තබා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පවා නැහැ. ඒ තරමටම රාජපක්ෂ යුගයේදී පාර්ලිමේන්තුව තුළදී මෙන්ම අන් සෑම තැනකදීම විපක්ෂය දැඩි මර්දනයට ලක්වුණ බව අපට කිසිසේත් අමතක කළ නොහැකියි. 2010 ජනාධිපතිවරණයේදී තමා සමඟ තරග කරමින් ඡන්ද ලක්ෂ 40ක් දිනාගත් විපක්ෂයේ අපේක්ෂකයා බොරු හා අභූත චෝදනා නගමින් සිරගත කිරීමට තරම් දුර ගිය මහින්ද රාජපක්ෂ මහතා අද දෛවෝපගත ලෙස විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටිමින් විපක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය එදා වින්දිතයන්ගෙන්ම ඉල්ලා සිටීම දේශපාලන සරදමක් පමණක් නොව දේශපාලන විගඩමක්ද බව වටහා ගත යුතුයි.

“රට ඒකාධිපතිත්වයක් ”කරා යමින් සිටින බවට මහින්ද රාජපක්ෂ මහතා හෙළන කිඹුල් කඳුළු ගැනද කිව යුත්තේ “රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටින බවට මේ චෝදනා කරන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන යාවජීව ජනාධිපති වෙන්න දත කෑ, ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් මුළු රාජ්‍ය යාන්ත්‍රණයම අතට ගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතා ද නැතිනම් වෙනත් රාජපක්ෂ කෙනෙක්ද ? යන්න ගැන සිහි මොළේ ඇති මිනිසුන් කල්පනා කරන බවයි.

මේ නිසා නැටූ තොවිලෙකුත් නැති - බෙරේ පළුවකුත් නැති සැප්තැම්බර් 05 ඊනියා උද්ඝෝෂකයන් හමුවේ මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ හා චෝදනා අලුයම ලූ කෙළපිඬක් සේ බැහැර කිරීම හැර ජනතාවට ගත යුතු යමක් ඇත්තේ නැහැ.

හිට්ලර් සෙවණැලි පෙළපාළි යන විට

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදය, විපක්ෂයේ දේශපාලන අයිතිය වගේම ආණ්ඩුවේ ඒකාධිපති ගමන ගැන හාස්‍ය ජනක කතා වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ජනතාව සමඟ උද්ඝෝෂණ පෙළපාළි යනු දකින විට හාස්‍යය මුසු කනගාටුවක් ඇතිවීම පුදුමයක් නොවෙයි. ඒ “ගෝඨා පන්නය” තුළ මෙවැනි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් යනු සිහිනයක්ම පමණක් වන නිසයි. වෙඬරුවේ උපාලි ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ මිලිටරි කල්ලි වෙතින් “හිටලර්ගේ අවතාරයක් ” ලෙස අභිෂේක ලැබීමට සිහින දකින ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදයේ බලවත්ම අයිතියක් සේ පිළිගන්නා උද්ඝෝෂණ ව්‍යාපාරයක ඉදිරියෙන්ම ගමන් කරනු දැකීම හාස්‍යයක් නොවන්නේ කෙසේද ? යම් ආකාරයකින් සැප්තැම්බර් 05 වැනිදා රෑ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට මේ කල්ලිය සමත් වුණා නම් සැප්තැම්බර් 06 වැනිදා සිට බිහිවන ගෝඨලන්තයේ මෙවැනි පොදුජන උද්ඝෝෂණ සඳහා නිදහසක් තබා ඒ ගැන සිතීමට පවා ඉඩක් තිබේද ?

“හැදෙන ගහ - දෙපෙත්තෙන් පෙනෙනවා” කියන්නා සේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ධූරය දැරූ යුගයේ කටුනායක සිට රතුපස්වල දක්වා, කොළඹ කොම්පඤඤවීදියේ සිට වන්නියේ පුදුමාතලන් දක්වා මේ ආණ්ඩුවට විරෝධය පෑමේ අයිතිය නොලැබුණු බව සිහිපත් කරගත යුතුයි. හිට්ලර්ගේ මුණබුරා වෙමින් මිලිටරි හා අන්තවාදී භික්ෂූ කල්ලියක් සමඟ හිට්ලර් පන්නයේ ගමනක් යාමට සිහින දකිමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ලේක්හවුස් වටරවුමට එන විට ලේක්හවුස් ආයතනයේම සේවය කළ පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය ආදීන්ගේ මතකය සිතට නොනැගුණා විය නොහැකියි.

මේ තත්ත්වය තුළ 2015 ජනවාරි 08 වැනිදා “ඡන්දය” නමැති ප්‍රජාතන්ත්‍රවාදී අවිය මගින් සියලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙළසමින් සිටි පවුල් පාලනයක් පෙරළා දැමූ 62 ලක්ෂයක් ජනතාවට තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන බව වැටහී යා යුතුය. ඒ නාමල් පිපෙන රාජපක්ෂ වසන්තයක් මේ බිම තුළ යළි බිහි නොවීමට වග බලා ගැනීමයි. ඒ සමඟම “ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ - ඒකාධිපතිවාදය වානා” යැයි බෝඩ් ලෑලි ගසාගෙන මේ එන්නේ හිටලර්ලාගේ, පොල්පොට්ලාගේ මල්ලිලා බව හෙටත් මේ කල්ලි පසුපස වැටීමට සූදානම් “පොල් ලෙලිවලට” වටහා දීමට පියවර ගත යුතුයි.

“බුදු සරණයි !” කියා බෝඩ් එකක් ගසා ගෙන හරස් මස් අදින ලොරියකයි සැප්තැම්බර් 05 උද්ඝෝෂණයි අතර කිසිම වෙනසක් නම් නැහැ. දෙකම එකයි !

සටහන භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න

Or log in with...