යකඩ පාට කරන සියුමැලි දෑත් | දිනමිණ

යකඩ පාට කරන සියුමැලි දෑත්

පාසල් යන ගමන් මං මේ දේවල් කරන්නේ ලොකු ආශාවකින්. ඒ වාගේම මම කිසි වෙලාවක හිතන්නේ නැහැ මේවා ගැහැනු ළමයි කරන්න ඕන වැඩ නෙවෙයි කියලා. අපේ රටේ මගේ වයසේ අනික් අයටත් මම කියන්නේ මොනවා හරි වෘත්තියක් පුරුදු පුහුණු වෙනවා නම් අද කාලේ හැටියට එක ලොකු වටිනා කමක් තියෙන දෙයක් කියලයි.

‘මහත්තයෝ ටිකක් හිතලා බලන්න... ගැහැනු ළමයෙක් මේ වයසේදි මේ වාගේ යකඩ ගොඩවල් එක්ක පොර කයිද ? ග්‍රීස් ඔයිල් ගා ගෙන ඉඳීවිද..? කවදාවත් මගේ දුව මේ කරන රස්සාව අඩු තක්සේරුවකට ලක් කරලා නෑ. තාත්තේ අපි වෙන දෙයක් කරමු මට නම් බැහැ මේවා කරන්න කියලා නෑ... එයා මේ හැම දෙයක්ම කරන්නේ පුදුම ආසාවකින්. පාසල් ඇරිලා ගෙදර ඇවිත් හවස 4, 5 වෙනකල්ම ගරාජ් එකේ වැඩ කරලා තමයි පාසලේ වැඩ කටයුතු කරන්නේ. ඒත් එයා පාසලේ වැඩ කටයුතු අතපහු කරගන්නෙත් නෑ. ඒවාත් හොඳින් කරනවා. ඉගෙන ගන්නත් හරි දක්ෂයි. ඒ නිසා මහත්තයෝ මම කියන්නේ මේ වගේ දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. එයා නිතරම කියන්නේ තාත්තාට බැරි වුණු කාලෙක මට මේ රස්සාව කරලා තාත්තටයි, අම්මටයි සළකන්න පුළුවන් කියලයි.‘

සිය පියාගේ රැකියාවට අපමණ ශක්තියක් වු උසස් පෙළ හදාරන 18 හැවිරිදි තනූජා නිමේෂා නම් වූ මේ දිරිය දියණිය අපට මුණ ගැසුණේ පසුගියදා තන්තිරිමලේ පුජා භූමිය වැඳ පුදා ගැනීමට ගිය ගමන අතරතුරදීය.

නව යොවුන් වියෙහි පසුවන දැරියක් එවැනි දැරියන් බහුතරයක්ම ලජ්ජාවෙන් සහ පිළිකුලකින් යුතුව බැහැර කරන ගරාජයක වැඩ කටයුතු ඇය කරන්නේ ඉතා සතුටිනි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ ප්‍රධාන මාර්ගයේ පිල්ලෑව, 15 කණුව, තන්තිරිමලේ නෙළුවිල ග්‍රාම සේවා වසමට අයත් ස්ථානයක පිහිටි මේ ගරාජය ප්‍රදේශයේ ප්‍රසිද්ධ වී ඇත්තේ ‘තනුජා මෝටර්ස් ‘නමිනි. එහි හිමිකරු 46 හැවිරිදි ජී.ඒ.මංජුල සිල්වාය.

මේ ගරාජය වාහන ටින්කරින්, වාහන තීන්ත අලේපනය ආදී සියළු කටයුතු සිදු කරන ස්ථානයකි. විශේෂයෙන් පළාතේ ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ විශ්වාසය දිනාගනිමින් වසර ගණනාවක් පුරා පවත්වාගෙන යන තනූජා මෝටර්ස් ගරාජයේ පිටතින් ගත් සේවක සේවිකාවන් නොමැත. මංජුලගේ ජීවනෝපායට දායකත්වය ලබාදෙන්නේ ඔහුගේ බිරිය 47 හැවිරිදි කේ.එම්. චන්ද්‍රා කුමාරි සහ ඔවුන්ගේ මේ දිරිය දියණිය පමණි.

අප මේ ගරාජයට යනවිටත් තනුජා සිටියේ ත්‍රිරෝද රථයක තීන්ත ආලේපන කටයුතු සිදු කරමිනි. ඇගේ මව තවත් ත්‍රිරෝද රථයක ආලේපන කිරීමට පෙර වැලි කඩදාසියකින් එය පීරිගාමින් සිටියාය.

මේ දිනවල පවතින තද හිරු රශ්මිය නොතකා තනූජා සිය මාපියන් සමග එක දිගට වැඩ කරන්නීය. සාමන්‍යයෙන් මේ වයසේ පසුවන ගැහැනු ළමයකු නොව පිරිමි ළමයකු හෝ මෙවැනි කටයුතුවල නිරත වන්නේ කළාතුරකිනි. ඒ අතින් තනූජා ලබාදෙන්නේ කදිම ආදර්ශයකි.

‘මම සාමන්‍ය පෙළ දක්වාම අධ්‍යාපන හැදෑරුවේ බිල්ලෑව මහා විද්‍යාලයේ. සාමාන්‍ය පෙළ විෂයන් හතකින් සමත්වෙලා සම්මාන 4කුත් ගත්තා.‘ තනූජා ස්ප්‍රේ යන්ත්‍රය අතැතිව සිනහමුසු මුහුණින් යුතුව එසේ කීවාය.

‘පස්සේ උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන්න මම තන්තිරිමලේ විමල ඥාණ මහා විද්‍යලයට ගියා. පාසල් යන ගමන් මං මේ දේවල් කරන්නේ ලොකු ආශාවකින්. ඒ වාගේම මම කිසි වෙලාවක හිතන්නේ නැහැ මේවා ගැහැනු ළමයි කරන්න ඕන වැඩ නෙවෙයි කියලා. අපේ රටේ මගේ වයසේ අනික් අයටත් මම කියන්නේ මොනවා හරි වෘත්තියක් පුරුදු පුහුණු වෙනවා නම් අද කාලේ හැටියට එක ලොකු වටිනා කමක් තියෙන දෙයක් කියලයි. මට නම් මේ වැඩවලින් පාසලේ අධ්‍යාපන කටයුතුවලටත් අවශ්‍ය දැනුමක්, හිතන්න පුළුවන් බුද්ධියක් ලැබෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන විශ්ව විද්‍යාලයට යාම තමයි මාගේ ඉලක්කය. ඒ වගේම මේ වගේ කාර්මික වෘත්තියක් අතිනුත් ඉස්සරහට යන්න ආසයි. ඒත් ඒකට ක්‍රමවේදයක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. කාන්තාවන්ට කියලා එහෙම යන්න මාර්ගයක් නැතිවුණොත් මට මේ කරන වැඩකටයුතු වෘත්තියක් හැටියට කරගෙන නිදහසේ ඉන්න පුළුවන්.‘ ඇය සිතන්නේ සෙසු ගැහැනු ළමුන් සිතන ආකාරයට නෙවේ.

‘අපි පොඩි කාලේ ඉඳලා දැක්කේ තාත්තා වැඩ කරන හැටි. පුංචි කාලේ ඉඳලා පොඩියට උදව් කළා. පස්සේ ඉගෙන ගත්තා. දැන් මට තනිවම වැඩ කරන්න තරම් හැකියාවක් තියෙනවා. තාත්තගෙනුත්, අම්මාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා තාත්තා අපි පොඩිකාලේ ඉඳලා දුක් විඳිනවා. මටත් ඕනා තාත්තලාට උදව් කරන්න. පාසලේ යාළුවෝ ගොඩාක් අය දන්නවා මං මේ කරන වැඩකටයුතු ගැන. ඒ අය මේ වැඩේ ගැන අවතක්සේරු කරන්නේ නෑ. කතන්දර කියන්නෙත් නෑ. මේ පැතිවල මිනිස්සු ජීවත් වෙන්නේ ගොඩාක් දුෂ්කරතා මැද්දේ. එයාලා දන්නවා ජීවිතය ගොඩගන්න කොයිතරම් අමාරුද කියලා.

මගේ එකම හීනය රජයේ රස්සාවක්. ඒ බැරිවුණොත් මේ රස්සාව දිගටම කරගෙන වැඩපොළ වැඩිදියුණු කරලා අම්මටයි, තාත්තාටයි සළකන්න තමයි මගේ බලාපොරොත්තුව.‘ තනූජාට අනාගතය ගැන ඇත්තේ සිහින ගොඩකි. ඒත් ඒ හැම හීනයකම අග ගරාජයේ වැඩකටයුතුවල දිගටම රැඳී සිටීමේ බලාපොරොත්තුවත් ඉහළින්ම තිබේ.

තනූජාගේ පවුලේ ගැහැනු ළමුන් තිදෙනෙකි. ඇගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා විවාහකය.

‘පවුලේ බාලයා තමයි තනූජා දුව. එයාගේ නමින් තමයි ගරාජය පටන් ගත්තේ.‘ මංජුල එසේ කීවේය.

‘මේ ගැරේජ් එක පටන් අරගෙන අවුරුදු 6 ක් වෙනවා. මම මේ ක්ෂේත්‍රයේ අවුරුදු 25 ක පමණ පළපුරුද්දක් තියෙන කෙනෙක්. දැන් මගේ නෝනාට වඩා දුව දක්ෂයි. එයාට තනිවම වාහනයක් ගලවලා තීන්ත ආලේප කරන්න තරම් දැනුමක් තියෙනවා. ටින්කරින් වැඩත් ඒ වගේම පුළුවන්. වාහන පදවන්නත් හැකියාව තියෙනවා. එයා නිතරම කියන්නේ තාත්තේ මට රජයේ රැකියාවක් කරන්න නොලැබුණත් මම මේ ගැරේජ් එක කරගෙන ඉන්නවා කියලයි. රජයේ රැකියාවක් ලැබුණත් සේවකයන් දාලා හරි ගරාජය කරන්න තරම් ආශාවක් ඇයට තියෙනවා.‘ පියාගේ දෑස් දියණිය ගැන සතුටින් පිරේ.

සැබැවින්ම මේ දිරිය දියණිය පාට කරන්නේ වාහන නොව ඔවුන්ගේම ජීවිත නොවේද...?

සමන් විජය බණ්ඩාර
මාවනැල්ල විශේෂ


නව අදහස දක්වන්න

Or log in with...