අම්මා සඳකි මුළු අහසම ඔබයි තාත්තේ..! | දිනමිණ

අම්මා සඳකි මුළු අහසම ඔබයි තාත්තේ..!

ෆවුස් මොහොමඩ්

තමන් වින්ද දුක් ගැන අම්මලා කිව්වට තාත්තලා වින්ද දුක් ගැන දැනගන්න ලැබෙන්නේ පිටමිනිස්සුන්ගෙන්. 

මේ ඔයාලගේ ඇස්දෙක කඳුළු උනන තරම් සංවේදි කතාවක් බව මං දන්නවා. ඒත් මට මේ කතාව නොකියාම බෑ. එෆ්.එම්. ගුවන් විදුලියට අලුත් පාටක් එකතු කරන ‘සියතේ අරා‘ (අරවින්ද ලොකුගේ) තමයි මේ කතාව සියතින් ගුවනට මුසුකළේ. ඒක අපි හැමෝගෙම ජීවිතවලට පොදු කතාවක්. දරුවන්ගේ ජීවිතවලට පාටක් දෙන්න....තමන්ගේ ජීවිතය ගැන නොසිතන මිනිස්සු තමයි තාත්තලා කියන්නේ. අපි අරවින්දගේ හඬින්ම ඒ කතාව අහමු.

‘මේ දොරවල් ඇරලා දාලා තියෙන්නේ ඇයි..? ඇරියම වහන්න දන්නෙ නැද්ද? යනකොට දොර ඇරගත්තනම් දොර වහලා යන්න. ගේට්ටුව ඇරියා නම් ගේට්ටුව වහලා යන්න. මගේ තාත්තා ඒ වගේ.‘

‘මම දන්න යාළුවෙක් හිටියා. එයාගේ තාත්තාත් ඒ වගේ. එයා හිතාගත්තා දවසක් පුළුවන් තරම් ඉක්මනින් මං මේ ගෙදරින් යනවා. මේ ගෙදර ඉන්න හින්දනේ මේ කතන්දර අහන්නේ. එයාට ජීවිතේ වහකදුරු වෙලා තිබුණේ එයාගේ තාත්තා හින්දා. අපේ තාත්තාත් මට ඕවා කියනවා. මං ඒවා එච්චර ලොකුවට හිතේ තියාගත්තේ නෑ. ඒත් මගේ යාළුවා මේක හරි බරපතල විදිහට ගත්තා. ඒ අතරතුරේ කොහොමහරි මෙයාට ඉන්ටර්විව් එකක් හම්බවුණා. මෙයා හිතාගත්තා. මටත් කියලා ගියේ. මේ රස්සාව හරිගියොත් මං හෙට ගෙදරින් යනවා කිව්වා. මේ පළාතේ පස් පාගන්නේ නෑ කියලා කිව්වා. මට මේවා අහලා එපාවෙලා කිව්වා තියෙන්නේ. ලයිට් කතා ෆෑන් කතා.‘

‘අදාළ දවසේ මෙයා ඉන්ටර්වීව් එකට යනවා. ඉන්ටර්වීව් එක තියෙනවා කියන තැන ගේට්ටුව හෝයි ගාලා ඇරලා දාලා. සිකියුරිටි ගාඩ් කෙනෙක්වත් නෑ. ගේට්ටුව වහලා, ගේට්ටුවේ කොක්කත් දාලා මෙයා හෙමිහිට යනවා ඇතුළට. යනකොට පේනවා කවුරුහරි වතුර දාපු හාදයෙක් ඒ හෝස් එක එහෙමම දාලා ගිහිල්ලා වතුර යනවා හෝ ගාලා දැන්. කියන්න කෙනෙකුත් නෑ. එහෙමම මිනිහා මල් වැටට එහා පැත්තේ ටැප් එක වහනවා. තාත්තා ඔළුවේ වැඩ කරනවා. හෙණ ලැජ්ජත් එක්ක ඒවා කරන්න.‘

‘ඇතුළට යනකොට කොරිඩෝ එක දිගේ මේ හොඳට අව්ව තියෙන වෙලාවේ මේ උදේ නමයහමාර දහයට විතර ලස්සනට ලයිට් එහෙම දාලා. යන ගමන් ගෙදර පුරුද්දට ඒ උඩම තියෙනවා ස්විච් එක නොදැනිම වගේ ඒ ලයිට් හතරම ඕෆ් කළා. අන්න එතැනින් ඇතුළ් වෙනකොට මිනිහට පේනවා ඉන්ටර්වීව් එකට ආපු ළමයි ගොඩක් ඉන්නවා හෝල් එකක. ඉස්සරහම පේලියේ තමයි ගොඩාක් අය ඉන්නේ. පිටිපස්සේ තව පේලි හතක් අටක් තියෙනවා. ඒවායේ සීට්ස් විතරයි තියෙන්නේ ඒවායේ කවුරුවත් ඉඳගෙන නෑ. හැබැයි ඒවාට උඩින් ඔක්කොම ෆෑන් වැඩ.‘

‘මිනිහා කල්පනා කළා දැන් ගිහින් ඉඳ ගන්නවද හිටගෙන ඉන්නවද පේනවා සමහරු ඇතුළට යනවා එහෙමම එළියට එනවා. මිනිහා ඒත් කල්පනා කරනවා මොනවද දන්නෑ අහන ප්‍රශ්න මේ තරම් ඉක්මනට අහලා එළියට දාන්නේ. ඇතුළට යනවට වඩා ඉක්මනට කට්ටිය එළියට එනවා.‘

‘තාත්තා ඔළුවේ වැඩ කරනවා. කවුද මේ ෆෑන් ඕෆ් කරන්නේ මමද..?‘

‘ඒකත් වැඩ කරනවා ඔළුවේ. මිනිහා ඉතිං නොදැනිම වගේ එතැනින්ම වගේ තල්ලුවෙලා බිත්තිය ගාවට ගිහිල්ලා නිකං රෙගියුලේටරය බිංදුවට දාලා මෙහෙම ඉඳගෙන ඉන්නවා.‘

‘එයාගේ වාරය ආවා. එයාව ගත්තා ඇතුළට ඉන්ටර්වීව් බෝඩ් එක. කවද ඉඳලද තමුන්ට වැඩට එන්න පුළුවන්. තාත්තා කොච්චර වුණත් ගෙදරින් එළියට එනකොට කිව්වා අහන ප්‍රශ්නවලට කෙළින් උත්තර දෙන්න කියලා. දන්නවානම් විශ්වාසෙන් උත්තර දෙන්න දන්නේ නැත්තම් දන්නෑ කියන්න බයවෙන්න එපා. දැන් මේ අහන ප්‍රශ්නේ මොකක්ද..කවදා ඉඳලද වැඩට එන්න පුළුවන්.‘

‘මේකද දන්නෑ කට්ටියව එළියට විසිකරන ප්‍රශ්නේ. මෙයා හිතනවා.‘

‘සර් මගේ සැටිෆිකට්ස්. ඔව් සැටිෆිකට්ස් තමයි කියලා අරගෙන මේසේ උඩින් තියාගත්තා. කවදා ඉඳලද වැඩට එන්න පුළුවන්. ආයේ ඒ ප්‍රශ්නය අහනවා.‘

‘එයා හිතනවා මේකට දෙන උත්තරයෙන් තමයි රස්සාව හම්බවෙන්නේ හෝ හම්බවෙන්නේ නැත්තේ. එයා කල්පනා කරනවා.‘

‘සර් මගෙන් මොකුත් ප්‍රශ්නයක් ඇහුවෙත් නැ.‘

‘මෙතැන්ට එන මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් දෙකක් අහලා එයා ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න බෑනේ අපිට. ඔයාට වැඩට එන්න පුළුවන්ද බැරිද කියන්නකෝ. ඒකමයි අහන්නේ.‘

‘සර් මට කියන දවසක එන්න පුළුවන්.‘

‘රයිට් තමුන් හෙට ඉඳලා වැඩට එන්න.‘

‘සර්‘

‘මේකේ ප්‍රශ්න අහන්නේ නෑ අපි. නමුත් මනුස්සයකුගේ ප්‍රායෝගික හැසිරීම පිළිබඳ අපි සී.සී.ටී.වී. වලින් ගේට්ටුවේ ඉඳලා අධ්‍යයනය කළා.‘

‘අපි දැක්කා ඔයා ගේට්ටුව වහනවා. අපි දැක්කා ඔයා ඇරලා තිබිච්ච හෝස් එක වහලා එනවා. ඒවා අපි තියලා තිබුණේ ඒ විදිහට. අපි දැක්කා පඩිපෙලේ එනකොට ඔයා ලයිට්ස් ටික ඕෆ් කරං එනවා. අපි දැක්කා මෙතන හෝල් එකේ තිබුණු ෆෑන් ටික ඔයා ඕෆ් කරනවා. අපිට මෙතැන පරිපාලන නිලධාරියෙක් අවශ්‍ය වෙන්නේ මෙතන සකසුරුවම හදාගන්න. මෙතැන වියදම අඩුකරගන්න කෙනෙක් අපිට ඕන වෙන්නේ ඒක ඔබේ ඇඟේ තියෙනවා. ඔයාට පුළුවන් හෙට ඉඳලා වැඩට එන්න කියලා ඉන්ටර්වීව් බෝඩ් එකෙන් කියනවා.‘

‘පුංචි කාලේ ඉඳලා අම්මලා අපිව හදනවනේ එක විදිහකට. අපි ඔක්කෝටම දුවන්නේ අම්මලා ගාවට. අපි තාත්තගෙන් අහන්නෙත් අම්මා කොහේද ඉන්නේ කියලා. තාත්තා ඉන්න වෙලාවට අපි ප්‍රශ්න අහන්න යන්නේ නෑ. ඉතිං කොච්චර ප්‍රශ්න තිබුණත් අම්මා අපිට කවලා පොවලා අපේ පහේනි පත් ටික කරනවා.‘

‘තාත්තා එහෙම කරන්නේ නෑ. තාත්තාට අපිව හරියට කළුගල් ගෙඩියක් වගේ තමයි පේන්නේ. තාත්තා ගල් වඩුවෙක් වගේ කටුවයි මිටියයි අරගෙන පොඩි පොඩි කෑලි පතුරු යවලා අර කළුගල් ගෙඩියක් වගේ ඉන්න අපෙන් ප්‍රතිමාවක් නෙලන්න හදනවා එයා. එයා දන්නවා සමහර වෙලාවට අපිට ඒ කටුමිටි පහරට අපිට රිදෙනවා ඇති කියලා. නමුත් එයා පිළිමය නෙලන වැඩේ නවත්තන්නේ නෑ ජීවතුන් අතර ඉනන තාක්කල්.‘

‘වයසට යනකොට දැන් සමහර වෙලාවට අම්මාගෙන් ඇහුවොත් අම්මේ ජීවිතේ කොහොමද කියලා එයා කියනදේවල් වලින් එයා විඳපු කම්කටොළු දුක් ගැහැට ගැන අපිට එයාගෙන් අහගන්න පුළුවන්.‘

‘නමුත් අපේ තාත්තා අපි වෙනුවෙන් දරපු කම්කටොළු දුක් ගැහැට මොනවද කියලා එයාගෙන් අහලා ඔබට ජීවිතේට දැනගන්න බෑ. ඒවා ඔබ කවදාහරි දැනගන්නේ පිටමිනිස්සුන්ගෙන්.‘

‘වයසට ගියාම අම්මා තමන්ගේ දරුවෙක්ගේ ගාවට යයි. දරුවෙක්ගේ ගෙදරකට යයි. ගිහිල්ලා ඉඳයි දරුවොත් එක්ක.‘

‘නමුත් තාත්තාට අදටත් හිතාගන්න බෑ එහෙම දෙයක් කරන්නේ කොහොමද දරුවෙක් ගාවට ගිහින් වැටෙන්නේ කොහොමද අසරණකම පෙන්නලා කියලා තාත්තා කල්පනා කරනවා.‘

‘මං අද උදේ ගෙදරින් එනකොට අදත් අපේ තාත්තා අහනවා මේ ෆෑන් එක ඕෆ් කරන්නේ මමද කියලා මං එතකොට ඒ ෆෑන් එක ඕෆ් කරලා එනවා.‘ අරවින්ද කියනවා

(මගේ තාත්තාත් ඒ වගේ)


නව අදහස දක්වන්න

Or log in with...