ලියවැලින් පාට වෙන කැටයම් | දිනමිණ

ලියවැලින් පාට වෙන කැටයම්

මිහිර විජේසේකර

සමාජයේ මුළුගැන්වී සිටි කාන්තාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කරළියට ඒමට පටන් ගත්තේ මීට දශක කිහිපයකට පෙර සිටය. 70, 80 දශකවල එහි සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණි. මේ හේතුවෙන් පවුල් සංස්ථාවේ උන්නතිය උදෙසා කාන්තාවගෙන් ඉටුවූ මෙහෙවර කැපී පෙනෙන වෙනසක් බවට පත්විය.

වත්මන් සමාජයේ ඉහළ සිට පහළ ස්ථර දක්වා සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තා නියෝජනයක් දක්නට ලැබේ. ඇතැම් විට එය පිරිමින් අභිබවායන අවස්ථාද නැතුවා නොවේ. සිය පවුලේ බර කරට ගනිමින්, දරුමල්ලන් සමග ජීවිතයේ ඉදිරියට තල්ලු කරගෙන යාමට අපමණ වෙහෙසක් ගන්නාවූ කාන්තාවන් ගැන නිරන්තරයෙන් අසන්නට දක්නට ලැබේ. දරුවන්ගේ ජීවිත පාට කිරීමට මෙලෙස තම ජීවිතය කැපකරන කාන්තාවන් තවත් අතකින් සමාජයේ ගෞරවයට ලක්විය යුතු පිරිසකි.

හිමිදිරියේ අවදිවී දරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් කාලය කැප කරමින් රැයක් දවාලක් නොබලා ජීවිතය ගැටගසා ගැනීමට වෙර දරන දිරිය සම්පන්න කාන්තාවක් පසුගියදා නෙත ගැටුණේය.

ඇය නමින් අමාලි ප්‍රියංගිකාය. අවුරුදු තිස් හයක් වූ ඇය දරුවන් තිදෙනකුගේ මවකි. වැඩිමල් දියණියට අවුරුදු 16 කි . ඇය රශ්මි අමංගා ය. මාරවිල බාලිකා මහා විද්‍යාලයේ 10 වසර ඉගෙනුම් ලබන්නීය . පවුලේ දෙවැන්නා වූ යසාරා හංසිනිට අවුරුදු 12 කි. ඇය මාරවිල මරවිල හත්තිනිය කනිෂ්ඨ විද්‍යාලයේ 7 වසර ඉගෙනුම් ලබන්නීය. තුන්වැන්නා පුතෙකි. ඔහු නවිඳු අනූසරය. අවුරුදු 5ක් වන ඔහු පෙර පාසලේ අධ්‍යාපනය ලබයි.

අමාලි ප්‍රියංගිකාගේ ගම්පළාත හම්බන්තොට මිද්දෙණිය ප්‍රදේශයයි. ඇයගේ පියා වඩු කාර්මිකයෙකි. එබැවින් අමාලි ද කුඩා කල් සිටම පියා අතින් ලී කැටයම් නිම වෙන අයුරු හොඳින් ග්‍රහණයට හසුකරගැනීමට සමත්වූවාය. පාසැල නිමවී නිවසට පැමිණි පසු සිය පියාට අත් උදවු ලබාදුන්නාය. කාලය කෙමෙන් ගෙවී යද්දී පාසැල් දිවියට සමු දීමෙන් පසු ඇය ඇඟළුම් කම්හලක සේවයට එක්වූ අතර එහිදී දැන හැඳින ගත් තරුණයකු ගාමිණී සමඟ විවාහ දිවියට පිවිසුණාය.

විවාහයෙන් පසුව සිය සැමියා සමග හම්බන්තොටින් නික්ම මාරවිල හාල්පන්විල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට පැමිණි අතර ඇය ජීවනෝපාය වශයෙන් සිය පියාගෙන් ඉගෙනගත් ලී කැටයම් කලාව තෝරාගත්තාය.

අමාලිගේ සියුමැලි ඇඟිලි තුඩින් නිමවෙන ලී කැටයම්වල ඇති අලංකාරත්වය නිසා එම ප්‍රදේශයේ තරමක නමක් ඇති කරගැනිමට ඇයට හැකිවිය. ගෘහභාණ්ඩ, ජනෙල්, උළුවහු ඇතුළු ලීවැඩවලට ඇය දැමූ කැටයම් කාගෙත් සිත් ගත්තේය. සැමියා ගාමිණි සියලු වැඩකටයුතුවලදී ඇයට අත්උදව්වට සිටියේය.

මෙසේ කාලයත් සමග දරුවන් තිදෙනෙකු මවක් වූ ඇය පවුලේ බර කරට ගෙන සිය රැකියාවේ නිරත වූවාය.එහෙත් ඇයගේ මෙම රැකියාවට කණකොකා හඬලන්නට වූයේ

කැටයම් කලාව අබිබවා ගෘහ නිර්මාණ ශිල්පයට වෙනත් ආදේශකයන් පැමිණීමත් සමග දිවා රෑ නොබලා ජිවිතය පාට කරගැනීමට අපමණ වෙහෙස වන මේ දිරිය කාන්තාවගේ නිර්මාණවලට දැන් වෙනදාට වඩා ඉල්ලුමක් නොලැබීම කනගාටුදායකය.

එසේ වුවත් දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමේ සිහිනය හැර අමාලිගේ ජීවිතයේ වෙන සිහිනයක් නම් නැත.

නව අදහස දක්වන්න