ජන බලය හා පච බලය | දිනමිණ

ජන බලය හා පච බලය

කොළඹ වැටලීම විවේචනය කරන අගමැතිවරයා එය දියාරු උද්ඝෝෂණයක් ලෙස හඳුන්වා දෙයි. තත්ත්වය තවදුරටත් විග්‍රහ කරන රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ වැටලීමේ සිද්ධියෙන් පොහොට්ටුවේ ජනබලයත්, මාධ්‍යයේ පච බලයත් යන දෙකම නැතිවුණු බවද කියා සිටී. ජනතා විමුක්ති පෙරමුණ කොළඹ වැටලීම හඳුන්වන්නේ විකාර රූපී රංගනයක් හැටියටය. තත්ත්වය දේශපාලනික වශයෙන් විග්‍රහ කරන එම පෙරමුණ මේ සිද්ධියෙන් ජනබලය හා උද්ඝෝෂණ ව්‍යාපාර හෑල්ලුවට ලක් වූ බවද කියා සිටී. ඒකාබද්ධ විපක්ෂයේ ගම්මන්පිල මන්ත්‍රීවරයා ඉහත සිද්ධිය හඳුන්වන්නේ ජනබලය පෙන්වීමේ ඓතිහාසික අවස්ථාවක් හැටියටය.

දේශපාලකයන් විවිධ දෘෂ්ටි-කෝණවලින් මේ සිද්ධිය විග්‍රහ කරන්නට පුළුවන. එම විග්‍රහවල යම් සත්‍යතා මෙන්ම අතිශයෝක්ති තිබෙන්නට පුළුවන. එහෙත් ජනබලය විකෘති අභිප්‍රායයන් සඳහා යොදාගැනීම භයානක ය. එලෙසම එය හෑල්ලුවට ලක් කිරීම ද වැරැදිය. 1952 හර්තාලය, 1977 ජේ. ආර්. මෙහෙයුම, 1991 පාගමන, 2001 - ජනබලය කොළඹට ගෙන්වීම යන සිද්ධි දෙස ආපසු හැරී බලන විට ජනබලයේ දේශපාලන ප්‍රතිඵලය වටහාගත හැකිය. එබැවින් දේශපාලකයන් කළ යුත්තේ ඉතා පරෙස්සමෙන් මේවා නිරීක්ෂණය කිරීමය. ජනබලය අතිශයෝක්තියට නැඟීම සේම එය හෑල්ලුවට ලක් කිරීමද යහපත් යැයි සිතිය නොහැකි ය.

අගමැතිවරයා පච බලය යනුවෙන් අදහස් කරන්නට ඇත්තේ ජනමාධ්‍ය ඔස්සේ ගොඩනඟනු ලබන ප්‍රබන්ධමය සත්‍යය ගැන විය යුතුය. ජනමාධ්‍යයකට ඇත්ත නැත්ත කළ හැකිය. නැත්ත ඇත්ත කළ හැකිය. මාධ්‍ය යනු දෙපැත්ත කැපෙන පිහියක් යැයි හඳුන්වන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය. ඒකාබද්ධ විපක්ෂයට විශාල ජන බලයක් ඇතැයි පෙන්වීමේ වුවමනාවක් ඇතැම් මාධ්‍යවලට තිබේ. එම මාධ්‍ය සම්බන්ධයෙන් අගමැතිවරයා කරන විවේචනය යුක්ති සහගත යැයි සිතන්නට පුළුවන. ඔවුන් ආණ්ඩුවේ කිසිම හොඳක් දකින්නේ නැත. ආණ්ඩුව ලබා දී ඇති ජනමාධ්‍ය නිදහස ද තකන්නේ නැත. මෙයින් පෙනී යන්නේ බොහොමයක් ජනමාධ්‍ය ඒකපාර්ශ්වීය බවය.

ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරන ආණ්ඩුවක් වුව සිය මධ්‍යම කාලයේ දී යම් ජනතා අප්‍රසාදයකට ලක් වෙයි. එය අපේ දේශපාලන ක්‍රමය විසින්ම ඇති කරනු ලැබ තිබේ. වත්මන් ආණ්ඩුවද එම තත්ත්වයට මුහුණ දී ඇතැයි කීම තාර්කිකය. එහි වාසිය ඒකාබද්ධ විපක්ෂය ලබාගන්නේ වුව ඔවුන්ගේ අභිප්‍රාය බලය හුවමාරු කරගැනීම පමණි. ඒකාබද්ධ විපක්ෂයේ තීරණය වී ඇත්තේ ආණ්ඩුව පෙරළා දැමීමේ වුවමනාවක් ජනතාවට ඇති බවය. එහෙත් එය වැරැදිය. ආණ්ඩුව සමඟ විවේචන පැවැතිය ද එය පෙරළා දැමීමේ වුවමනාවක් වැඩි දෙනාට නැත. ජනතාව ආණ්ඩුව වෙතින් යම් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නේ යැයි සිතන්නට පුළුවන.

කොළඹ වැටලීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දරන මතය නිවැරැදි යැයි කිව හැකිය. ඔවුන්ගේ මතය තුළ විවේචන දෙකක් තිබේ. පළමු විවේචනය වන්නේ අහිංසක ජනතාව ඒකරාශීකොට කොළඹ විකාර රූපී රංගනයක් නිරූපණය කළ බවය. දෙවන විවේචනය වන්නේ උද්ඝෝෂණ හෙවත් ජනතා විරෝධතා යන්නෙහි අර්ථය හෑල්ලුකොට විනාශ කළ බවය. මේ විවේචන දෙකම සාධාරණය. බ්‍රහස්පතින්දා කොළඹට කඩා වැදුණු බොහෝ දෙනකු ළඟ දේශපාලන පරමාර්ථ තිබුණේ නැත. ඔවුන් කමින් බොමින් - නටමින් විනෝද වූ බව පමණක් දකින්නට ලැබිණි. සමහරුන් එය හඳුන්වනුයේ ‘ආවෝ - ගියෝ’ යන වචන දෙකෙන්ය. හැබෑවටම ගතහොත් එය ජනතා බලය දියාරු කළ අවස්ථාවකි.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ වැටලීම පිළිබඳ පසුවිපරම් සිදු කරමින් සිටින බව කියැවේ. ඇතමකු ස්වයං විවේචනයක යෙදෙමින් කියා ඇත්තේ මෙය කිසිදු ප්‍රතිඵලයක් නැති විරෝධතාවක් බවය. අවම වශයෙන්ම නායකයන්ගේ දේශනවලට සවන් දීමට ‍හෝ අවස්ථාවක් තිබුණේ නැත. එය සංවිධානයේ වරදකි. ආණ්ඩුව, අධිකරණය හා පොලීසිය විරෝධතාවට කිසිදු බලපෑමක් සිදුකර තිබුණේ නැත. සුළු සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබුණේ එකිනෙක පාර්ශ්වල සාමාන්‍ය ගැටුම් හැටියටය. ඒවා ස්වාභාවිකය. මේ උද්ඝෝෂණය නිසා විරෝධතාකරුවන් කළකිරීමටත් අධික වෙහෙසටත් පත් වී සිටිය බව දැක්වීම ඉතා නිවැරැදිය. දෙවන වැටලීම මහනුවර දී පැවැත්වෙන බව කියති. ඊට මෙතරම් ජනතාවක් සහභාගී වන්නේ යැයි සිතිය නොහැකිය.

ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙය දේශපාලනයේ ඓතිහාසික අවස්ථාවක් ලෙස හුවා දක්වන්නට උත්සාහ කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසට අනුව කොළඹට පැමිණි ජන ගඟ දැක ආණ්ඩුව කම්පනයට ලක් වී ඇත. අප මුලින් සඳහන් කළ අතිශයෝක්තිය හා අධිතක්සේරුව මේ විග්‍රහවල තිබේ. කොළඹ වැටලීම ජනබලයේ ඓතිහාසික අවස්ථාවක් වීම කෙසේවුව ඊළඟ උද්ඝෝෂණයට සෙනඟ සොයාගැනීම අසීරු කරවන සාධකයක් බවට නම්, පත් වීඇත. මහින්ද මහතා කියන කම්පනයක් ආණ්ඩුවේ කිසිවකු ළඟ නැත. එක්සත් ජාතික පක්ෂය වෙනදාටත් වඩා ගැම්මකින් යුතුව සිය පක්ෂයේ සාංවත්සරික උත්සවය පවත්වා තිබේ. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ ඒ අය ඒගොල්ලන්ගේ වැඩ කරාපුදෙන් අපි අපේ වැඩ කරමු යන්නය. එය කොළඹ වැටලීමට හොඳ පිළිතුරක් ලෙස පවතී.

උද්ඝෝෂණ, වර්ජන හා දේශපාලන කලබල නිසා මිනිසුන්ගේ කාලය, ධනය, ශ්‍රමය හා හැකියාවන් විශාල වශයෙන් අපතේ යන්නට පටන්ගෙන තිබේ. කොළඹ වැටලීම පැවැති ගිය බදාදා බොහෝ කාර්යාල වරුවකින් වසා දැමුවේ ය. වෙළෙඳ ගනුදෙනු, ව්‍යාපාරික සාකච්ඡා හා ආර්ථිකයට වැදගත් බොහෝ දේවල් එක්කෝ කල් දැමිණි. නැතහොත් අ‍හෝසි කැරිණි. ශ්‍රී ලංකාව වැනි රටක් පසුවන්නේ කල්මැරිය හැකි තැනක නොවේ. මෙබඳු කැලඹීම් අභියෝග කරන්නේ රටේ සාමයට හා ස්ථාවරභාවයට යැයි කියන්නට පුළුවන. විදේශීය ආයෝජකයන් හා අන්තර්ජාතික මූල්‍යායතන කිසියම් රාජ්‍යක් කෙරෙහි සිය අවධානය යොමු කරන විට පළමුව විමසා බලන සාධකය වන්නේ එම රාජ්‍යයේ සාමය හා ස්ථාවරභාවයයි. මේවා පිළිබඳ තැකීමක් බොහෝ දේශපාලකයන් ළඟ නැත.

ළඟ බලන දුර නොපෙනෙන දේශපාලකයන් හා දේශපාලන ව්‍යාපාර පවතින රටක තත්ත්වය මීට වඩා වෙනස් වන්නේ නැත. ඔව්හු ජනබලය පවා දියාරු කරති.

නව අදහස දක්වන්න