ශ්‍රී ලංකාව පරාජය කළත් අපේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළේ නෑ | දිනමිණ

ශ්‍රී ලංකාව පරාජය කළත් අපේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළේ නෑ

ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා පුහුණුකරු පකීර් අලී මහතා හා පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා ඉන්දියාව සමග තරගයෙන් පසු කතාබහක සහ ඉන්දීය පුහුණුකරු කොන්ස්ටන්ටයින් ඡායාරූප - ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව සමග පවැති තරගයේදී තම කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් නොවන බව ජයග්‍රාහී ඉන්දීය පාපාන්දු පුහුණුකරු ස්ටෙපාන් කොන්ස්ටන් මහතා පවසයි. බංග්ලාදේශයේ බංගබන්ධු ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නිමාවූ තරගයේදී ඉන්දීය පිලට ගෝල් 2-0ක ජයක් හිමි විය.

ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ මාලදිවයින සමග විදුලි ආලෝක ධාරා මැද තරගය පැවැත්වීමට නියමිතව තිබුණද පුවත්පත මුද්‍රණයට යද්දී තරගය ආරම්භවී නොතිබුණි. ඉන්දියාව හෙට දිනයේ මාලදිවයින සමග තරගයට සූදානමින් සිටින අතර කණ්ඩායම් තුනෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙති.

ඉන්දීය පාපන්දු පුහුණුකරු පවසන්නේ ප්‍රතිඵලය පිළිබඳ සතුටට පත්වුවද ඉන්දීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා හා ක්‍රීඩා විලාශය පිළිබඳ සෑහීමකට පත් නොවන බවයි.

“අපේ ක්‍රීඩකයන් ගොඩක් වැරදි කළා. ඒවා සියල්ල ඉදිරියේදී නිවැරදි කරගත යුතුයි. අප තරගාවලිය ආරම්භයේදී හොඳ ජයග්‍රහණයක් ලබාගත් බව ඇත්ත. නමුත් හොඳින් ක්‍රීඩා කොට ලබාගත් ජයක් නොවෙයි. තවත් ගෝල් කිහිපයක් ලබා ගැනීමේ අවස්ථා අපේ ක්‍රීඩකයන්ගේ වරදින් අහිමිවී ගියා” ඉන්දීය පුහුණුකරු පැවැසීය.

“වඩාත්ම බුද්ධිමත් ලෙස ක්‍රීඩා කිරීමට අප ඉගෙන ගත යුතුයි. මෙයට වඩා යමක් කළ හැකිව තිබුණා. තරුණ ක්‍රීඩකයන් නිසා සෑම විටම නිවැරදි දේ අපේක්ෂා කළ නොහැකියි. අත්වැරදීම් සිදු වෙනවා. නමුත් ක්‍රීඩාවේදී වැරදි අඩුවෙන්ම සිදුවිය යුතුයි. අප දැන් ආරම්භ කොට ඇති ජයග්‍රාහී ගමන ඉදිරියට ගෙන යෑමට සැලැසුම් කරනවා” ඉන්දීය පුහුණුකරු සඳහන් කළේය.

තරගයෙන් පරාජය වූ ශ්‍රී ලංකා පුහුණුකරු රුමී පකීර් අලී මහතා මාලදිවයින සමග තරගයේ ජයග්‍රහණය පිළිබඳ විශාල බලාපොරොත්තු පළකර සිටී. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනෙකු වෙනුවට වයසින් අඩු ක්‍රීඩකයන් ආදේශ කිරීමේ සූදානමකින් පසුවෙයි. එම බලාපොරොත්තු සාර්ථක නොවුණහොත් වසර 23කට පසුව යළිත් දකුණු ආසියා පාපන්දු කිරුළ පළදින්නට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇත. මන්දයත් අවසන් පූර්ව වටයට පිවිසීමට මාලදිවයින පරාජය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්යවී ඇති බැවිණි. ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු ආසියා පාපන්දු ශූරතාව 1995දී දිනාගත් අතර ඉන් පසුව අවසන් මහා තරගයට පිවිසීමට හෝ සමත්වී නොමැත.

ඉන්දියාව දකුණු ආසියා පාපන්දු ශූරතාව 7 වරක් දිනා ඇති අතර, මාලදිවයින, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය එක් වතාව බැගින් දකුණු ආසියා පාපන්දු ශූරතාව දිනා ගත්හ. නේපාලය, භූතානය හා පාකිස්තානයට තවමත් දකුණු ආසියා පාපන්දු කිරුළ පැළදීමේ අවස්ථා උදා නොවුණි. මේ අතර සත්කාරක බංග්ලාදේශය මෙවර ශූරතාවලියේ සහභාගීවූ තරග දෙකෙන්ම ජයගෙන දැනටමත් අවසන් පූර්ව වටයට පිවිස ඇත. පළමු තරගයේදී භූතානය ගෝල් 2-0කින් හා පෙරේදා පැවැති තරගයේදී පාකිස්තානය ගෝල් 1-0කින් පරදවා බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටී. එම කාණ්ඩයේ නේපාලය හා පාකිස්තානය සහභාගීවූ තරග දෙකෙන් තරග එක බැගින් ජයගෙන ඇති අතර භූතානය සහභාගීවූ තරග දෙකම පරාජයට පත්ව සිටී.


නව අදහස දක්වන්න

Or log in with...