ශ්‍රී ලංකාව යළිත් හොංකොං පිල සමඟ හැප්පෙයි | දිනමිණ

ශ්‍රී ලංකාව යළිත් හොංකොං පිල සමඟ හැප්පෙයි

ශ්‍රී ලංකාව සහ හොංකොං පිල අතර දෙවැනි වටයේ තරගයේදී..

එකොළොස් වැනි වරටත් පැවැත්වෙන ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (8) ශ්‍රී ලංකාව සහ හොංකොං පිල අතර සිංගප්පූරු වේලාවෙන් පස්වරු තුනට (මෙරට වේලාවෙන් ප.ව.12.30) පැවැත්වීමට නියමිතය. හොංකොං කණ්ඩායම දෙවැනි වටයේ තමන් සහභාගිවූ අවසන් තරගයේදි පරාජය කළ හෙයින් අද පැවැත්වෙන තරගය ජයගනිමින් අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් පවතී. දැනටමත් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වශයෙන් ශ්‍රී ලංකා පිල සැලකෙන අතර සෙසු කණ්ඩායම් සියල්ලටම නොපරදින දක්ෂතාවක් ඔවුන්ගෙන් විද්‍යාමානවී තිබේ. කෙසේ වෙතත් අද පැවැත්වෙන තරගයේදී තර්ජනී සිවලිංගම් ගෝල විදින්නිය වශයෙන් ක්‍රීඩා කිරීමට බොහෝ දුරට අවකාශයක් තිබේ. ඒ මන්දයත් අවසන් තරගයේදී ඇය වෙනුවට ශ්‍රී ලංකාව සතු තවත් උසින් වැඩිම ක්‍රීඩිකාවක වන එලිලෙන්තිනී සෙත්තුකවලාර් ක්‍රීඩා කරවීමට ඉඩ පවතින හෙයිනි.

අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් ‘දිනමිණ’ට විශේෂ ප්‍රකාශයක් සිදුකළ ශ්‍රී ලංකා පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනෙවිය සඳහන් කළේ අවසන් පූර්ව තරගය ජයගනිමින් අවසන් මහා තරගයට පිවිසිම තම කණ්ඩායමේ ඒකායන අපේක්ෂාව බවයි. තරගයෙන් තරගයට සැලසුම් සකස් කරන බැවින් අද පැවැත්වෙන තරගයට පූර්ණ අවධානය යොමුකර ඇති බවද ඇය එහිදී කියා සිටියාය. මේ අතර තරගාවලියට පැමිණීමට ප්‍රථම සෙසු කණ්ඩායම් ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ අධ්‍යයනය කරමින් ඊට ගැලපෙන ආකාරයෙන් ආක්‍රමණයන් සැලසුම් කළ බවද ඇය ප්‍රකාශ කළාය.

‘අපිට මේ තරගාවලියේ ශූරියන් වෙන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. දැනට පැවතුණු සෑම තරගයකදීම අපේ ක්‍රීඩිකාවන් උපදෙස් ලබාදුන් ආකාරයටම ක්‍රිඩා කළා. මේ විදිහට සියල්ල සිදුවෙනවානම් අපේ අරමුණු වැඩි ඈතක නොවෙයි’ යැයි ප්‍රකාශ කළාය.

රටවල් දොළහක සහභාගිත්වය ඇතිව පසුගිය පළමුවැනිදා සිංගප්පූරුවේදී ආරම්භවූ මේ තරගාවලියේ මූලික වටය කාණ්ඩ හතරක් යටතේ පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණේ චීන තායිපේ හා ඉන්දියාව සමඟිනි. එම තරග ද්විත්වයේදීම ලකුණු සියය ඉක්මවමින් රැස්කරමින් දෙවැනි වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වු අතර එවැනි දස්කමක් දැක්වූ එකම කණ්ඩායම බවටද පත්විය. දෙවැනි වටයේ ‘ඊ’ කාණ්ඩය යටතේ තරග වැදෙමින් සත්කාරක සිංගප්පූරුව, මැලේසියාව හා හොංකොං පරාජය කරමින් අපරාජිතව අවසන් වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

අද පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ මැලේසියාව සමගින් සත්කාරක සිංගප්පූරුව තරග බිමට පිවිසෙයි. කෙසේ වෙතත් අවසන් මහා තරගය දැඩි උද්යෝගයකර තරගයක් බවට පත්වනු ඇතැයි විචාරකයන් සඳහන් කරන අතර ශ්‍රී ලංකා කළමනාකාරිත්වය වෙනුවෙන් එහි සභාපතිනිය සඳහන් කළේ කෙසේ හෝ අවසන් තරගයද ශ්‍රී ලංකාව ජය හිමිකර ගන්නා බවය.

තරගාවලියේ අවසන් තරගය සහ ස්ථාන තේරීම සඳහා වන තරග හෙට (9) පැවැත්වෙයි.

කසුන් ඉරුගල්බණ්ඩාර

නව අදහස දක්වන්න