එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරිය - 2018 | දිනමිණ

එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරිය - 2018

කාන්තා පළමු අදියරේ ජය ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්ෂිට

පිරිමි තරගයේ සිවුවැනි දින පළමු අර්ධය යුද හමුදාවේ ගයාන් කුමාර ජයගනී

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් සංවිධාන කරන එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරියේ කොළඹ සිට කෑගල්ල දක්වා ඊයේ (7) පැවැති කාන්තා සවාරියේ පළමු අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ දිනේෂා දිල්රුක්‍ෂි සමත් වූවාය.

මේ අදියරේදී මුල් ස්ථාන 4ම දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත්වීම කැපී පෙනුණි. ඒ අනුව දෙවැනි ස්ථානය සුදාරිකා ප්‍රියර්ශණී සහ තෙවැනි ස්ථානය නිරෝෂනී පෙරේරා දිනාගත්හ. මෙහිදී පළමු හා දෙවැනි ස්ථාන අතර විශාල කාල පරතරයක පැවති අතර, ඇය වේයන්ගොඩ සිටම සිය කණ්ඩායමෙන් මිදී තරග අවසාන වූ කෑගල්ල දක්වා තනිවම පැමිණියාය.

එස්.එල්.ටී. ස්පීඩ් අප් කාන්තා සාවාරියේ පසුගිය වසරේ කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා පැවැති අදියරේද ශූරතාව ගුවන් හමුදා ක්‍රීඩිකාවක සතු වූ අතර, එවරද පළමු ස්ථාන ත්‍රිත්වයම දිනාගැනීමට සමත් වූයේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ය.

කි.මී 84ක දුරකින් සමන්විත වූ මේ අදියර කොළඹ කොටුවෙන් ආරම්භ වුවද, එය නිල වශයෙන් ආරම්භ වූයේ වත්තල හංදියේ සිටය. ගලිගමුව නගරය පසුකරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් කෑගල්ල කාර්යාලය අසලින් එම අදියර නිමාවට පත්විය.

කි.මී. 175කින් සමත්විත කාන්තා පාපැදි සවාරියේ දෙවැනි හා අවසන් අදියර අද (8) කෑගල්ලේ සිට කුලියාපිටිය දක්වා ගමන්කරන අතර, එය රංවල හංදිය, දේවාලෙගම, පොල්ගහවෙල, පොතුහැර, කුරුණෑගල, පුත්තලම හංදිය, වාරියපොල වටරවුම හරහා කුලියාපිටිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අසලින් අවසන් වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා පාපැදි ඉතිහාසයේ කාන්තා තරගයක් අදියර දෙකක් (දෙදිනක්) යටතේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

මේ අතර පිරිමි පාපැදි සවාරියේ මහියංගණයේ සිට දඹුල්ල දක්වා කි.මී. 140.7ක දුරකින් ඊයේ (7) පැවැති පළමු අර්ධය ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ගයාන් කුමාර සමත් විය. තරගකරුවන් 86 දෙනෙකු සහභාගි වූ මෙහි දෙවැනි ස්ථානය වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කළ ඉසුරු තරංග විසින්ද, තෙවැනි ස්ථානය යුද හමුදාවේ සඳරුවන් පිංතු විසින්ද දිනාගත්හ. මෙහි දෙවැනි අර්ධයද ඊයේ (7) ප.ව. 3.00ට දඹුල්ලෙන් ආරම්භ වී කි.මී. 64.7ක දුරක් ගෙවා අනුරාධපුයෙන් අවසන් විය.

මේ අනුව අදියර පහකින් (දින පහක්) සමන්විත මෙහි පස්වැනි හා අවසන් අදියර අද (8) අනුරාධපුරයේ සිට කුලියාපිටිය දක්වා කි.මී. 140.8ක දුරකින් ක්‍රියාත්මක වේ. අද ප.ව. 2.00ට වන්නිහේන (ජදප ඉදිරිපිට) ප්‍රදේශයෙන් තරගය නිල වශයෙන් ආරම්භ වන අතර, එය තඹුත්තේගම (ප.ව. 2.13 වනවිට), ගල්ගමුව (ප.ව. 2.49 වනවිට), වාරියපොළ වට රවුම (ප.ව. 3.53 වනවිට), කුරුණෑගල (ප.ව. 4.22 වනවිට), නාරම්මල හංදිය (ප.ව. 4.52 වනවිට) යන ස්ථාන පසු කරමින් ප.ව. 5.23 පමණ වනවිට කුලියාපිටිය නගරය වෙත ලගාවීමට නියමිතව ඇත.

මේ අතර එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරියට පළමු වරට හඳුන්වා දුන් පැරා අංශයේ තරගය අද (8) කුරුණෑගල සිට කුලියාපිටිය දක්වා පැවැත්වේ. මෙය කි.මී. 75ක දුරකින් සමන්විත වෙයි.

නව අදහස දක්වන්න