නිධන් කොල්ලයකට ආ චීවරධාරී ඇතුළු පිරිස රිමාන්ඩ් | දිනමිණ

නිධන් කොල්ලයකට ආ චීවරධාරී ඇතුළු පිරිස රිමාන්ඩ්

කෑගල්ල නිල්මල්ගොඩ කරඬුලෙන ආරණ්‍ය පුරාණ විහාරස්ථානයේ නිධන් ගැනීමට පැමිණි හිමිනමක් යුද හමුදා විශ්‍රාමික නිලධාරියෙක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් ලබන 19වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමසිංහ මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ පාදුක්ක ඉංගිරිය පාර මොරගහතැන්න ශ්‍රී මහා ‍විහාරයේ රුවන්වෙල චන්දවිමල හිමි (28) මැද අලුබෝගල පාර, ඉහළ කොස්ගම, කොස්ගම පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරි රාජපක්ෂ අධිකාරි මුදියන්සේලාගේ ඉෂාන්ත රාජපක්ෂ (47), වෙල්ගම්එළිය, තංගල්ල පදිංචි ව්‍යාපාරික සම්පත් කුමාර කාලිංග (23), හෝකන්දර උතුර, මාලබේ පදිංචි අනුජීව පෙරේරා (50), දයිගල නාපාවල අවිස්සාවේල්ල පදිංචි දසනායක මුදියන්සේලාගේ ධර්මසූරිය විජේසේකර බණ්ඩාර (60) යන අයය. රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති හිමිනම 2018 ජූලි 07 වැනි දින කෑගල්ල නිල්මල්ගොඩ කරඬුලෙන ගල්ලෙන් ආරණ්‍ය පුරාණ විහාරාධිපති මීගස්තැන්නේ ධම්මවාස හිමියන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී විහාරස්ථානය පිළිබඳ තොරතුරු විමසා ඇත. පසුව මේ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් දායක සභාව ද දැනුවත් කර තිබූ අතර ඉකුත් 04 වනදා හිමිනම ඇතුළු සෙසු පස්දෙනා ඉංගිරියේ සිට ජීප් රථයකින් හා ත්‍රිරෝද රථයකින් නිල්මල්ගොඩ කරඬුලෙන ගල්ලෙන් විහාරස්ථානයට පැමිණ ඇත. පසුව විහාරස්ථානයට පැමිණි හිමියන් ඇතුළු පස්දෙනා නායක හාමුදුරුවන් හට කතා කොට විහාරස්ථානයේ ඇති විලෙහි නිල් මැණික් නැළියක් ඇති නිධානය ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසත්, නිධානයේ වටිනාකමේ කොටසක් නාහිමියන්ට දෙන බව ද වැඩම කර සිටි ස්වාමීන් වහන්සේ පවසා ඇත. පසුව ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇති නිල්මල්ගොඩ ගල්ලෙන් ආරණ්‍ය ‍පුරාණ විහාරාධිපති හිමියන් රාත්‍රියේම විහාරස්ථානයේ ඝණ්ඨාරය නාද කර ඇත. දායකයන් පැමිණ හිමිනම ඇතුළු සෙසු පස්දෙනා විහාරස්ථානයේ කාමරයකට දමා දොර වසා කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පසුව පොලිස් නිලධාරීන් පැමිණ හිමිනම ඇතුළු පුද්ගලයන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පැමිණියේ යැයි කියන ජීප් රථය පරීක්ෂා කිරීමේදී කුළු ගෙඩියක්, ගල් විදින මැෂිමක්, ගල්කටු, උල් පිහි‍ දෙකක්, විශාල ලාම්පුවක් සමඟ ත්‍රිරෝද රථයක් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් හිමිනම ඇතුළු පස්දෙනා පුරාවිද්‍යා ආඥා පනත යටතේ කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ. නිල්මල්ගොඩ කරඬුලෙන ගල්ලෙන් ආරණ්‍ය පුරාණ විහාරාධිපති හිමියන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ විහාරස්ථ භූමියේ පුරාණ ගල්ලෙන් පහක් ඇති බවත්, පුරාවිද්‍යා වටිනාකමක් ඇති පින්බිමක් බවත්ය. එහෙත් මේ විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන නොමැති බව ද පොලිසියට දන්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානමඩු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. එම්. සී. අනුර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජයලත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගෙන කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අරණායක ප්‍රදීප් කුමාර, කෑගල්ල සමූහ එම්. පී. පොල්වත්ත හා බුලත්කොහුපිටිය චමින්ද ජයලත්


නව අදහස දක්වන්න