කන්න, බොන්න, අඳින්න නැතිව දරු තිදෙනා දුකෙන් | දිනමිණ

කන්න, බොන්න, අඳින්න නැතිව දරු තිදෙනා දුකෙන්

අපේ තාත්තා පාරේ ලයිට් කණුවක බල්බ් එකක් දාන්න ගිහින් වැටිල මැරුණා. අම්මා අංශ භාග රෝගයයෙන් පෙළෙනවා. වැඩකට යන්න බෑ. කිසිම ආදායමක් නෑ. අපිට පොත්පත්, බෑග්, සපත්තු මොකවත් අරන් දෙන්න කෙනෙක් නෑ. අපිට කවුරුන් හරි උපකාර කළොත් පිනක්. මෙසේ පවසන්නේ ඌරගස්මංහන්දිය මීගස්පිටිය ජනපද පාර පදිංචි අසරණ වූ දරු පිරිසකි.

මේ අයුරින් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ එච්. ජී. සුනිල් කුමාර නමැති 45 හැවිරිදි තිදරු පියෙකි. මේ වන විට මේ දරුවන්ගේ මවද අංශ බාග රෝගයන් පෙළෙන අතර කිසිදු රැකියාවකට යාමට නොහැක. පියාගේ ජීවිකාව වී ඇත්තේ පොල් කැඩීමය. එසේ උපයා ගත් සොච්චමෙන් දරුවන් නඩත්තු කර පාසල් යවා ඇත. මේ වන විට මේ දරුවන් සහ මව, ආච්චි අම්මමාගේ නිවසේ පදිංචිව සිටිති. ඇයටද මොවුන් නඩත්තු කිරීමට ආදායමක් නැත.

මේ දරුවන් වන මිහිර දිල්ෂාන් (13) 7 වන වසරේද, පබළු මුතු වර්ෂා (11) 06 වන වසරේද, හිරුණි අකර්ෂා (06) පළමු වසරේද ඉගෙනුම ලබන්නේ යටගල විදුහලේය. නිවෙසක් ද අහිමි මොවුන්ට කාගේවත් පිළිසරණක් නොමැත. පොත් පත්, ඇඳුම්, සපත්තු ආදිය රැඟෙන දීමට කිසිවකු නැත.

ධර්‍මදාස සිරිවර්‍ධන - ගාල්ල දිස්ත්‍රික් සංචාරක

නව අදහස දක්වන්න