සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන්කරන මුදල් විනිවිදභාවයකින් වියදම්කිරීම ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ වගකීමයි | දිනමිණ

සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන්කරන මුදල් විනිවිදභාවයකින් වියදම්කිරීම ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ වගකීමයි

තිලක් පුෂ්ප කුමාර සේනානායක

ජනතාවගේ මුදල්වලින් සිදුකරන සියලු සංවර්ධන ව්‍යාපෘති නිසි ප්‍රමිතියකින් විනිවිදභාවයකින් නිම කිරීමට අමාත්‍යාංශ නිලධාරීන්ට මෙන්ම අමාත්‍යවරුන් වන තමන්ටත් වගකීමක් ඇති බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ සිදු කැරෙන ව්‍යාපෘතීන් පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් දැනුම බෙදාගනිමින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සඳහා (6) දා මහනුවර මඩවල මදීනා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති Gorgous cities for tomorrow යන තේමාව යටතේ පැවැති රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂ වැඩමුළුවට එක්වෙමිනි.

එහිදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙසේද පැවසීය. අපි ගැනත් නිලධාරීන් ගැනත් ජනතාව බලන්නේ විවේචනාත්මකව. මම පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස වැඩ කළා. අපි අවුරුද්ද අවසානයේදී සම්පූර්ණ වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා විවාදයට ගන්නවා. විවිධ වංචා හෙළිවූවිට පාර්ලිමේන්තුවේ ඕනෑම අයකුට විවාදයක් ඉල්ලන්න පුළුවන්. ව්‍යාපෘති නිසි ප්‍රමිතියට නැත්නම් ප්‍රශ්න නගන්න පුළුවන්. අපේ ආණ්ඩුව මේ අවුරුදු 3 තුළදී තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කළා.වංචා දූෂණ හෙළි කිරීමට මේ පනත බලපානවා.

අපේ වගකීම පිළිබඳව අපි සාක්ෂි දැරීමට තරම් ශක්තියක් තිබිය යුතුයි. අපිට යම් දවසක නිර්දෝෂි බව ඔප්පු වෙන්න ඉඩකඩ ලැබෙනවා. සුනාමියෙන් ඇතිවූ සුන්බුන් තවමත් සමහර ප්‍රදේශවල ඉවත්කර නැත. ඒවා ඉවත්කර රමණීය බිම් තීරු හදන්න අපි පටන් ගත්තා. මරදමුණේ වෙරළේ චිත්තාකර්ෂණීය බිම්තීරු හදනවා.

මෙම වැඩමුළුවට ලංකාවේ පළාත් නියෝජනය කරමින් ප්‍රධාන ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, නාගරික කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ඉංජිනේරුවන්, කාර්මිකයන්ද සහභාගි වෙති.

සම්පත් දායකයින් ලෙස නීතිවිශාරද ආචාර්ය ප්‍රතිභා මහානාම, වරලත් ප්‍රමාණ සමීක්ෂක ප්‍රසාද් දිසානායක ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු කේ. ඒ. අන්සාර්, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සැලසුම්) එම්. ටී.කේ. මුබාරක්, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් (ක්‍රමසම්පාදන) ඒ. සී. එම්. නෆිල්, ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න