‘දියවර නෑයෝ’ දෙවන අදියර අද ඉගිනිමිටියේ දී ඇරැඹේ | දිනමිණ

‘දියවර නෑයෝ’ දෙවන අදියර අද ඉගිනිමිටියේ දී ඇරැඹේ

උපාලි කරුණාරත්න

වාරිමාර්ග අමාත්‍යාංශයෙන් කි‍්‍රයාත්මක කරන 'දියවර නෑයෝ' වැඩසටහනේ දෙවන අදියර අද (08) පෙරවරු 9.00ට ආණමඩුව ඉගිනිමිටියේ දී ආරම්භ කරන බව වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන ඇමැති දුමින්ද දිසානායක මහතා ඇතුලු මැති ඇමැතිවරුන් රැසක් සහභාගි වීමට නියමිතය.

ගොවි ජනතාව සමග සාකච්ඡා කර ගොවි ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දීම දියවර නෑයෝ වැඩසටහනේ අරමුණයි. මෙම වැඩ සටහන 30 දින දක්වා පැවැත්වෙයි. මෙහි පළමු වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේදී රාජාංගනයේදී සාර්ථකව කි‍්‍රයාත්මක වූ අතර, එමගින් ගොවි ජනතාව මුහුණ දී සිටි ගැටළු රැසකට විසඳුම් ලබා දීමට හැකියාව ලැබූ බව වාරිමාර්ග හා ජල කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගොවින් මුහුණ දෙන ගැටළු විසඳීමට අමතරව නව තාක්‍ෂණය භාවිතය, තාක්‍ෂණික පුහුණුව, නව වගා ක‍්‍රම, පසු අස්වනු තාක්‍ෂණය, අතිරේක බෝග වගාව, ඇතුළු කාරණා රැසක් පිළිබඳ මෙහිදී ගොවීන් දැනුම්වත් කිරීමට නියමිතයි. එමෙන්ම අතරමැදියන්ගෙන් තොරව සෘජුව තම අස්වනු අලෙවි කිරීමට හැකි පරිදී ගැනුම්කරුවන් හඳුන්වාදීම, කෘෂි අස්වනු මගින් ආහාර නිෂ්පාපාදනය පිළිබඳව ගොවීන්ට දැනුම ලබාදීම මෙහිදී සිදුවේ. ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහන මිලක් යටතේ ලබාදීමේ වැඩ පිළිවෙලක්ද ,විවිධ සංස්කෘතිකාංගද මෙම වැඩ සටහනට සමගාමීව පැවැත්වේ.

දියවර නෑයෝ වැඩසටහනේදී ගොවි ජනතාවගෙන් ඉදිරිපත්වන යෝජනා අනුව කෘෂි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග මොනවාද වාරි මාර්ග සංවර්ධනය කිරීමේ පුරාණ ක‍්‍රමවේදයන් හා තාක්‍ෂණය මෙන්ම ආපදා කළමනාකරණයට වැදගත්වන යෝජනා සියල්ල ඇතුලත් කරමින් විශේෂ වාර්තාවක් සම්පාදනය කිරීමටද පියවර ගන්නා බවද වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

නව අදහස දක්වන්න