රවිට නොවැ.16දා අධිකරණය එන්නැයි නියෝග | දිනමිණ

රවිට නොවැ.16දා අධිකරණය එන්නැයි නියෝග

සිරන්ජනි කුමාරි

ආනයනික සුදු කැකුළු සහල් මෙට්ට්‍රික් ටොන් 1000ක් රුපියල් 17.50 බැගින් වු මිලකට 2002 වසරේ දී සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ එවකට වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට විකිණීමට නියෝග කිරීමෙන් රජයට මිලියන හතරක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාක්කි ලබාදීම සඳහා හිටපු මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් ‍පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතාට නොවැම්බර් 16 වන දිනට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (6) නියෝග කළේය.

අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරියක වු ඇනා වින්ධ්‍යා ප්‍රනාන්දු යන අයගේ සාක්කි විමසීමෙන් අනතුරුව අනාවරණය වු කරුණු සම්බන්ධයෙන් සාක්කි විමසීම සඳහා මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරිණි.

මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කරන අල්ලස් හෝ දුෂණ විමර්ශන අංශයේ විමර්ශන නිලධාරී වන යු.කේ .ජස්ටින් උමගිලිය මහතා පෙර දින සාක්කි දුන්නේය.

බි.සී. /1030/2002(1) ලේඛනය සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමේ දී 2002/7/9 දින නිකුත් වූ මෙම ලිපියේ පාද සටහනේ ආර්.කේ .ලෙස සටහන් යොදා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා බවට කරුණු අනාවරණය වීමෙන් අනතුරුව මෙම ලිපිය සම්බන්ධ කරුණු අනාවරණය කරගැනීම සඳහා එවකට ස.තො.ස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා වෙත අධිකරණය සිතාසි නිකුත් කෙරිණි.

2001 ජුලි 29 වන දින අල්ලස් හෝ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ලක්ෂ්මි මේනකා මිනු ජයවික්‍රම මහත්මිය සමුපකාර ‍තොග වෙළෙඳ සංස්ථාවේ වැඩබලන සමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ නො 142 හැඳල නායකකන්ද පදිංචි සුනිල් මිලේසියස් විමල් පෙරේරා මහතාට එරෙහිව 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 වගන්තියේ 1 (ආ) වගන්ති ප්‍රකාරව මෙම නඩුව අධිකරණය හමුවේ පවරා තිබිණි.

වර්ෂ 2002 ජුලි 5 වන දින කාලසිමාවේ දි රජයේ සේවකයකු ලෙස සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ වැඩබලන සමාන්‍යාධිකාරි කටයුතු කරමින් ස.තො.සෙන් ආනයනය කළ සුදු කැකුළු සහල් විකිණීමේ ක්‍රියාවලියේ දී රජයට අයුතු සහගත හෝ නීතිවිරෝධි පාඩු කිරීමේ චේතනාවේන් රජයට පාඩු විය හැකි බව දැන දැනම එවකට වලංගු මිල දර්ශකයට පටහැනිව සුදු කැකුළු මෙට්ට්‍රික් ටොන් 1000ක් රුපියල් 17.50 බැගින් විකිණීමට නියෝග කිරීමෙන් රජයට මිලියන 4ක් පාඩුවක් හෝ අලාභයක් සිදු කිරීමෙන් අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාර වරදක් සිදු කර ඇති බවට චෝදනාවේ සඳදහන්ය.

නඩු භාණ්ඩ 16ක් හා සාක්කිකරුවන් 9දෙනෙකු නම් කරමින් 2011/ජුලි 29 වන දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.

පැමිණිල්ලේ 11වන සාක්කි කරු ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා නම් කළ පැමිණිල්ල අපරාධ නඩු විධාන සංග්‍රහයේ 167 වගන්ති ප්‍රකාරව නො 1291/6 රජමල්වත්ත පාර, බත්තරමුල්ල පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට අල්ලස් හෝ දුෂණ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හරහා මෙම සිතාසිය නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

නව අදහස දක්වන්න