ආණ්ඩු අල්ලන සැණකෙළි මෙහෙයුම | දිනමිණ

ආණ්ඩු අල්ලන සැණකෙළි මෙහෙයුම

ආණ්ඩු බලය අල්ලා ගන්නා තුරු රැය පහන් කරනවා යැයි වේදිකා ගණනක වහසිබස් දොඩමින් සිය පියාගේ දේශපාලන පරිණත බව හෝ සිය සුළු පියවරුන්ගේ සූක්ෂම ක්‍රමෝපායන් කූට බුද්ධිය, සංවිධාන ශක්තිය නොමැති දේශපාලන භූමිකාවේ ළඳ බොළඳ පුත්‍ර රත්නය පියාගේ ජනප්‍රියත්වය නිසාම තමන්ටත් රැල්ලක් නැගේයැයි සිතූ තිස්තුන් හැවිරිදි රාජපක්ෂ පුතෙකු මෙහෙය වූ ‘ජනබලය කොළඹට’ රංගනය පැය දොළහක් යන්නටත් පෙර කැඩී සිඳී බිඳී විසිරීගියේ තමන්ගේ ඒ මොහොතේ ක්ෂණිකව තෝරා ගත් විරෝධතා කේන්ද්‍රයේ හිස් මත්පැන් බෝතල්, නරක්වූ දුගඳ හමන ආහාරපාන සුන්බුන්, පොඩි වී ගිය පෝස්ටර්, බැනර් කුණු කන්දක් පමණක් ඉතිරී කරමිනි.

ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම සුරකින යහපාලන ආණ්ඩුව නාම මාත්‍රයකින්වත් සෙලවුණේ නැත. අපේක්ෂා කළ ලේ ගංගාවක් නොවීය. රෝහල් පිරී ඉතිරී නොගියේය. පොලිස් බන්ධනාගාර පිරී නොගියේය.

ගම්මන්පිල, වීරවංශ යන්නවුන්ගේ කටමැත හිස් ප්‍රලාපම විය. දේශපාලන පරිණතයන් පසෙක දමා තමන්ගේ තරුණ ජවයට අත්වැලක් යැයි සිතූ දිලුම්ලා, කාංචනලා ආගිය අතක් නැත. නැටූ තොවිලෙකුත් නැත. බෙරේ පළුවකුත් නැත.

ජන බලය යැයි කියමින් අතට මිටට සල්ලි කොළ රැන්දවූ මේ වීර නායක පන්තිය මේ සාමාන්‍ය ජනතාව අතරට පැමිණියේ සියලු ආරක්ෂක වළලු වටකරගෙන වාහන වලිනි. ජනතාව සමඟ රැය පහන් කරනවායැයි කිවූ එකී නායකයෝ සිය කාලය කා දැමුවේ සුපිරි හෝටල්වල සුඛෝපභෝගී දිවි ගෙවමිනි.

අරමුණක් දැක්මක් නොමැතිව ඇත්ත නැත්ත සොයා නොබලා ජනප්‍රිය රැල්ල පසුපස දිව ගිය උද්ඝෝෂකයන් ද මෙය හොඳ හැටි කා බී නටන්නට අවස්ථාවක් කර ගත් සැටි ශ්‍රී ලාංකිකයෝ දැක බලා ගත්හ. හොඳ හැටි කා බී සප්පායම් වී මෙලෝ සිහියක් නැතිව තැන් තැන්වල වැටී හුස්මක් කටක් ගන්නට නොහැකි වූ ඇතැමුන් රෝහල් ගත කරන්නට සිදු වුයෙන් මේ ආණ්ඩුවම ජනතාවට ලබා දුන් විශාලතම සහනය සුවසැරිය ගිලන් රථ සේවාවෙන්ම වීම ඉතිහාසගත නොවන්නේද?

මේ ගොනාට ඇන්දවීමට ඔවුන් හසුවූයේ මේ රජය සිය පාලන කාලය ඇරැඹුණුදා සිටම ලබාදුන් නිදහස නිසාම නොවේද? තරු හතේ ප්‍රජාතාන්ත්‍රික නිදහස් තරම මුළු රටම දැක ගත්තේය.

මහින්ද වටා ගොඩනැගී තිබූ පෞද්ගලික මෙන්ම පාක්ෂික උමතුව නිසා ඕනෑම දෙයකට එළියට බහින්නට සිටි පිරිසගේ පූජනීය පාක්ෂික බව ආයුධයක් කරගත් ළාබාල සංවිධායක නාමල් තමන්ට ලංකර ගත් අලහප්පෙරුම හීන් නූලෙන් දේශපාලනය කරන්නෙකි. අලුත්ගමලා ජොන්ස්ටන්ලා තමන් වටා එතෙන නඩු රැල්ලෙන් ගොඩ එන්නට අත්වාරු සොයන්නෝය. ගම්මන්පිල, වීරවංශ අනුන්ගේ සෙනඟ පෙන්නා බැබළෙන්නෝය. ජී. එල්. වැනි ප්‍රබුද්ධයන් දේශපාලනික අත්පොත් අමත කළ සැටි මහම විහිළුවකි. තමන්ගේ අසංවිධානකම වසාගන්නට අවසන් මොහොත තෙක් තැන අරමුණ සඟවා ගැනීම අවසන් වූයේ සියල්ල පුස්සක් වීමෙනි.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලි හරහා සිය සුළු බලවේගයේ තරම ලොවටම පෙන්වන අයුරුද මේ ළාබාලයන්ට අමතකය.

මහින්ද එනතුරු පන්සල් ගානේ බලා සිටි අය මහින්ද සුපිරි ලෙස ඇවිත් සුපිරි ලෙසම ක්ෂණයෙන්ම ගිය හැටි අමතක වේවිද?

මේ අසාර්ථක වෑයම තවත් කරුණක් උලුප්පාලීය. ඒ රාජපක්ෂ පවුලේ බල අරගලයයි. ගෝඨාභය, බැසිල් මහින්දගේ බල අරගලය පුරවන්නට හැදුවේ නාමල් හරහාය. එහෙත් එය ලත් තැනම ලොප් විය. මින් වඩාත් සතුටු වන්නේ බැසිල්ය. ඔහු රටේත් නොසිට මේ සියල්ල දැක බලා ගනිමින් සිනහසෙනු ඇත.

පවතින රජයටම එරෙහිව විරෝධතාවකින් බලය ලබාගත් හොඳම නිදසුන 2001 දී එක්සත් ජාතික පක්ෂය සිය ජන බල මෙහෙයුමෙන් එහි මහ මොළකරු ගාමිණී දිසානායකගේ උපදෙසින් ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවයි. මහින්ද රාජපක්ෂගේ පාද යාත්‍රාවද සාර්ථක ජන බල මෙහෙයුමකි. මේ අතීතය දෙස බලද්දී නාමල්ලාට තව ඉගෙන ගන්න බොහෝ දේ ඇත. දේශපාලනයෙන් තෙම්පරාදු වූ වත්මන් නායකයන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේඇත. පාක්ෂිකයෝ ඇත්ත ඇති සැටියෙන් දැකගත්හ. වටහා ගත්හ. මිරිඟුවක් පසු පස දුවනවාට වඩා ඇස් ඇර බලන්නට ඔවුන් පෙළෙඹෙනු නොඅනුමානය. අවසානයේ යහපාලන ආණ්ඩුව ජයගත්තේය.

ඡායාරූප- සුදත් නිශාන්ත
සමන් ශ්‍රී වෙදගේ, වසිත පටබැඳිගේ
සමන්ත වීරසිරි, දුෂ්මන්ත මායාදුන්න, හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න