සමහර දේශපාලන කණ්ඩායම් සරසවි සිසුන් බිලිගන්නවා | දිනමිණ

සමහර දේශපාලන කණ්ඩායම් සරසවි සිසුන් බිලිගන්නවා

දැන් ජනාධිපතිවරයකුට ඇමැතිවරයකුට විශ්වවිද්‍යාලයට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. අපි යන්නේ විශ්වවිද්‍යාලවල පවතින අඩුපාඩු දරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න. නමුත් සමාජවාදී කියා ගත් අය පෙරටුගාමී අය නරක පැත්තට තමයි යන්නේ.

අද ඇතැම් දේශපාලන කණ්ඩායම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් බිලිගෙන තිබෙන බවත්, රට භාරගැනීමට සිටින දරු පරපුර අතර ම්ලේච්ඡත්වය පැතිරවීමට මේ කණ්ඩායම් දරන උත්සාහය පරාජය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊ‍යේ (07) පෙරවරුවේ හිඟුරක්ගොඩ මැදිරිගිරිය මාර්ගය දොර දෙක කෘෂිකර්ම ගොවිපොළට යාබදව නෙදර්ලන්තයේ හා ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 700ක මුදලක් වැය කැර අක්කර 17 ක භූමි ප්‍රදේශයක ඉදිකිරීමට යෝජිත ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ නව වෘත්තීය මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුව පැවැති ජනහමුවේදීය.

වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය. සෙත් පිරිත් සජ්ඣායනා මැද ජනාධිපතිවරයාගේ සුරතින් මුල්ගල තබා නාමපුවරු ඵලකය නිරාවරණය කිරීම ද සිදුවිය. ඉන් අනතුරුව උත්සව සභාවට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු පිරිස පංචශීලයේ පිහිටුවනු ලැබුවේ හිඟුරක්ගොඩ ජයමහ පරිවේණාධිපති කටුගම්පොළගම පියරතන හිමියන් විසිනි. මෙහිදී දමිළ, මුස්ලිම්, ක්‍රිස්තියානි පූජකවරුන් ආගමික කටයුතු සිදු කෙළේය.

තවදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

විශ්වවිද්‍යාල දරුවන්ට නවක වදය දෙන අයට ඇප නැතිව හිරේ යවන නීතිය ළඟදීම ක්‍රියාත්මක කරනවා. මේ නීතිය කලින් ගෙන ආවත් පොලිසිය සානුකම්පිතව බලා එය ක්‍රියාත්මක කෙළේ නැහැ. ඒ නීතිය හරියට ක්‍රියාත්මක නොකළ නිසා තමයි අද විශ්වවිද්‍යාලවල නවකවද ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක වන්නේ. විශ්වවිද්‍යාලවලට දේශපාලනය රිංගලා අහිංසක පිංවත් දරුවන් මේ අය විනාශ කරනවා. මේ නවකවදය නිසා මේ වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වූ දරුවන් 1500ක් පමණ විශ්වවිද්‍යාලවලින් අයින් වුණා. පසුගිය වසර කිහිපය තුළ විශ්වවිද්‍යාල නවක වදය දී දරුවන් 25 ක් පමණ මරා දමලා තියෙනවා. ලිංගික හිරිහැර ඇතුළු තවත් ම්ලේච්ඡ ක්‍රියා නිසා දරුවන්ට විශ්වවිද්‍යාල පවා එපාවෙලා.

මේ මෑතකදී රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළුවූ භික්ෂූන් වහන්සේලා 16 නමකට ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා ම්ලේච්ඡ අන්දමට නවකවදය දීලා. මේක බෞද්ධ රටක් නේද? 2015 දී එක්තරා විශ්වවිද්‍යාලයක සිසුවියකට නරක ලෙස නවකවදය දී මරලා තිබුණා. නමුත් නීතිය හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. මම උපදෙස් දුන්නා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න විශ්වවිද්‍යාල උපකුලපති ඇතුළු පිරිස නීතිය ඉදිරියට ගෙන එන්න කියලා.

මේ අහිංසක පිංවත් හා පැටවුන්, මුව පැටවුන් වාගේ දරුවන් විශ්වවිද්‍යාල යන්නේ කොපමණ අපේක්ෂා සිතේ තියාගෙනද? මේ නවකවදය දෙන නරුමයින්ට නීතිය ඉදිරියේ දඬුවම් ලබාදිය යුතුයි.

දැන් ජනාධිපතිවරයකුට ඇමැතිවරයකුට විශ්වවිද්‍යාලයට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. අපි යන්නේ විශ්වවිද්‍යාලවල පවතින අඩුපාඩු දරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න. නමුත් සමාජවාදී කියා ගත් අය පෙරටුගාමී අය නරක පැත්තට තමයි යන්නේ. ඉන්දියානු රජයෙන් රුහුණු විශ්වවිද්‍යාලයට රැස්වීම් ශාලාවක් හදලා දුන්නා. එය විවෘත කරන්න දිනයක් දුන්නා. මේ විශ්වවිද්‍යාලයේ ඉන්නා ම්ලේච්ඡ සිසුන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදීලා තියනවා ජනාධිපතිට මේ විවෘත කිරීමට එන්න දෙන්න එපා කියලා. ඉතින් වැඩේ කල්දැම්මා. ඉන්දියානු අගමැති සමග එදින මා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සුබ පතන්න හිටියේ. මම මේ ගැන ඉන්දියානු අගමැතිට කිව්වා. එයා හිනාවෙලා මුකුත් කිව්වේ නැහැ. දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දමලා මාස ගණනාවක් වෙනවා. විශ්වවිද්‍යාල විභාග ලියන්න 80% පැමිණීම තිබිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ හා පෙරටුගාමීන්ගේ ඉල්ලීම වන්නේ 80% ඉවත් කරන ලෙසයි. ලෙච්චර්වලට, පන්තිවලට නොගොස් කොහොමද විභාග ලියන්නේ. රට හදන්න ඉන්න අය නේද මේ. මේ ම්ලේච්ඡ අයට රට හදන්න පුළුවන්ද? දරුවෙනි අපේ රටට වෘත්තීය පුහුණු ලැබූවන්ගේ විශාල අඩුවක් තියනවා. පුද්ගලික අංශවලින් මේ අයට හොඳ ඉල්ලුමක් තියනවා. 1995 දී මම තමයි පොළොන්නරුවට කාර්මික විද්‍යාලයක් ගත්තේ. වෘත්තීය අධ්‍යාපනය රටට අනාගතයට ඉතා වැදගත්. අද බොහෝදෙනාට ජනප්‍රිය පාසල් මේනියාවක් තියනවා. කොළඹ නුවර ලොකු පාසල්වල ළමයි ගොඩක් ඉන්නවා නම් ඒ පාසල් තමයි හොඳ කියලා මේ අය කියන්නේ. මේ මෑතකදී මම ගියා කොළඹ ආනන්ද විද්‍යාලය හා ජර්මන් තානාපති කාර්යාලය සංවිධානය කළ බයෝ ගෑස් ව්‍යාපෘති උත්සවයට. ඒ උත්සවයට ජර්මන් තානාපතිතුමාත් ගියා. මගෙන් එතුමා ඇහුවා මේ පාසලේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. මම විදුහල්පතිවරයාගෙන් ඇහුවා. එතුමා කිව්වා ළමයි 6000 විතර ඉන්නවා කියලා. තානාපතිවරයා නළලේ අත තියාගත්තා. ජර්මනියේ පාසලක ඉන්නේ ළමයි 1000 පමණයි. අධ්‍යාපනය පමණක් නොව විනය හැදෙන්නත් හොඳ වටපිටාවක් තිබිය යුතුයි.

මම මේ දරුවන්ටත් කියන්නේ අධ්‍යාපනය, දැනුම, අධිෂ්ඨානය, ජය පරාජය වගේම අවදානමක් භාරගන්න කියලයි. මම රස්සාවල් 03 කරලා ඉන් අයින් වුණ කෙනෙක්. අවදානම් බාරගත් කෙනෙක්. මම ඒකනේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ආවේ. අද උදේ මම ගිනිපෙට්ටි පාලමේ වැඩ ආරම්භ කරන්න මුල්ගල තැබුවා. මමත් විවිධ දුෂ්කරතා මැද ජීවත්වූ අවදානම් බාරගත් කෙනෙක්. මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙයට වසර 02 කට පෙර ලැබුණු එකක්. ඉඩමක් සොයාගන්න බැරි වුණා. තව වසර 2 1/2 කින් ඉදිකිරීම් නිම කරනවා.

ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා -

මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මඟින් පුහුණුව ලබන අය රටට වැඩදායී තරුණ පරපුරක් බවට පත්වෙනවා. එදා තිබූ තාක්ෂණික ක්‍රම නොවෙයි අද තිබෙන්නේ. අද සමාජය ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ. අද තියන පාඨමාලා සමහරවිට තව අවුරුදු 5, 10 වෙනස් ඒවා. ඒ තරමටම අද හෙට තාක්ෂණය දියුණු වෙලා. අද මේ ස්ථාන‍ෙය්දී නිපුනි රැකියා බැංකුව ජනාධිපතිතුමා අතින් විවෘත කර අන්තර්ජාලයට මුදාහරිනවා.

නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා -

රුපියල් කෝටි 700 මුදලක් වැය කරලා තමයි මේ පුහුණු මධ්‍යස්ථානය ඉදිකරන්නේ. අපිත් ලෝකය සමඟ ඉදිරියට යන්න නම් නව තාක්ෂණික ලෝකය සමඟ යා යුතුයි. ජනාධිපතිතුමා පොළොන්නරුවෙන් පහළවූයේ ඔබලාගේ පිනටයි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ජෝ. ඈන් ඩොනවාඩි මහත්මිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති රවී ජයවර්ධන යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙහිදී නිපුනි රැකියා බැංකුව අන්තර්ජාලයට මුදාහැරීම ද සිදුවිය.

වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා හදාරණ සිසුන්, පාසල් සිසුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

පොළොන්නරුව දිසා සමූහ
ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න