මහජන මුදල්වලට වටිනාකමක් දීමේ ගෞරවය යහපාලන ආණ්ඩුවට ලැබිය යුතුයි | දිනමිණ

මහජන මුදල්වලට වටිනාකමක් දීමේ ගෞරවය යහපාලන ආණ්ඩුවට ලැබිය යුතුයි

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න
ඇමැති අජිත් පී. පෙරේරා

මහා පරිමාණ ව්‍යාපෘති ඇරඹීමට පෙර විගණනය කරන්න
- බිමල් රත්නායක

රජයේ විගණන කටයුතු ස්වාධීනව ඉටු කිරීමට හැකි වාතාවරණය තවත් පුළුල් කරමින් ගෞරවාන්විත හා ප්‍රමාණවත් වැටුපක් විගණකාධිපතිවරයාට ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) මේ බව පැවැසුවේය.

මෙම වැටුප් වැඩි කිරීම වත්මන් විගණකාධිපතිරවයාට පමණක් නොව අනාගත විගණකාධිපතිවරුන්ට ද සිය සේවය මැනවින් ඉටු කිරීමට පිටිවහලක් වන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රජයේ විගණකාධිපති තනතුරේ වැටුප් වැඩි කිරීම හා වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මේ බව පැවැසුවේය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (07) පෙරවරු 10.00ට ආරම්භ විය. නිවේදන, ලිපිලේඛන, අමාත්‍යාංශ නි‍වේදන, වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව විවාදය ආරම්භ කෙරිණි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මෙසේද ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසුව විගණන කොමිසමක් පිහිටුවනවා කියලා පොරොන්දු වුණා. විගණන ක්‍රියාවලියේ නිවැරදි බව සනාථ කිරීමට හා අවසානයේ ලැබෙන ප්‍රතිඵල යථාවත්ව ක්‍රියාවට නැංවීමේ ශක්තිය තිබුණේ නැහැ. ඒ නිසා රාජ්‍ය අරමුදල්, රාජ්‍ය ආයතන විගණනය කිරීමට බලවත්, ස්වාධීන ආයතනයක අවශ්‍යතාව පැමිණියා. ඒ අනුව විගණන කොමිසම බිහි වුණා. මෙරට ජනතාවගේ මුදල් සම්බන්ධයෙන් වගකීම සහතික කරන ආයතනයක් තුළින් පුරවැසියන්ගේ මුදල්වලට දැන් වටිනාකමක් පැමිණ තිබෙනවා. එහි ගෞරවය වත්මන් ආණ්ඩුවට හිමි විය යුතුයි.

විගණකාධිපතිවරයා පත් කිරීම පාර්ලිමේන්තුවෙන් සිදු කරනවා. ස්වාධීන, දක්ෂ පුද්ගලයකු විය යුතුයි. නීතිපතිවරයාට, අගවිනිසුරුවරයාට වගේ ස්වාධීනත්වය විගණකාධිපතිවරයාට ලබා දී තිබෙනවා. පසුගිය කාලයේ විගණකාධිපතිවරයා තමන්ගේ වගකීම් ස්වාධීනව ඉටු කළා. මේ ධුරය නිසි ලෙස කරගෙන යාමට අවශ්‍ය ප්‍රායෝගික වාතාවරණයක් ඇති විය යුතුයි. මේ යෝජනාවෙන් කරන්නේ විගණකාධිපතිවරයාගේ වැටුප් ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කරනවා. වැටුපට අමතරව රුපියල් 50000 ක දීමනාවක් ද ලබාදීමට පියවර ගන්නවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන්නේ ගණකාධිකාරිවරුන් ලෙස සිටින අය. විගණකාධිපති දෙපාර්තමේන්තුවට විශේෂඥ සුදුසුකම් තිබෙන අය පූර්ණ කාලීනව බඳවා ගත යුතුයි. නැත්නම් දෝෂ මතු විය හැකියි.

විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස වෙනත් නිලධාරීන් ද මේ කොමිසමට පත් කර ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. පසුගියදා පොහොට්ටුවේ සාමාජිකයන් මේ රටේ ආර්ථිකය විනාශ කරන්නට උත්සාහ කළා. ලේ වැගිරීමක් කරන්න උත්සාහ කළා. රජය දක්ෂ වුණා මේ විනාශය වළක්වා ගන්නට. මේ විනාශය වළක්වා ගැනීමට ප්‍රඥාවන්තව කටයුතු කළ පොලිස් දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශයේ සියලු නිලධාරින්ට මගේ ස්තුතිය පළ කරනවා. විගණන කොමිසම ශක්තිමත් කර දූෂණ, වංචා සොයා බලා අධිකරණය හරහා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඉක්මණින් යුක්තිය පසිඳලිය යුතුයි. මේ රටේ යුක්තිය ඉටු වීම ගැන ජනතාව තුළ කම්පාවක් තිබෙනවා. සමාජ සාධාරණය ඉටු නොවන බවට ජනතාව තුළ මතයක් තිබෙනවා. රටේ පුරවැසියන් තමන්ගේ බදු සෘජුව හා වක්‍රව ගෙවනවා. එවැනි පුරවැසියන් ආරක්ෂා කරන්නට රජය බැඳී සිටිනවා. පුරවැසියා දිනන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ)-විගණකාධිපතිවරයාට ප්‍රමාණවත් වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් ගෙන එන මේ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ සහාය පළ කරනවා. මෙමඟින් රටේ විගණන ක්‍රියාවලියට සහතිකයක් ලැබෙනවා. ජාතික විගණන පනත ගෙන ඒම බොහෝ ප්‍රමාද වුණා. කෙසේ වෙතත් පනත ගෙන ඒම ගැන අපි සතුටු වෙනවා. ජනතාව තුළ ජවයක් තිබූ අවස්ථාවේ පනත ගෙනාවා නම් තමයි ඉතාම වැදගත් වන්නේ.

පාර්ලිමේන්තුව පෙරේදා දිනයේදි විනාඩි 13 කින් කල් තබන්නට සිදු වුණා. විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවට කරන මුදල් වියදම විශාල බරක් වී තිබෙනවා. පාර්ලිමේන්තු සැසිවාරයකදී වියදම් කරන මුදල රටට හෙළි කළ යුතුයි. මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව විගණනයක් කළ යුතුයි. උත්සව වියදම් හා ඒ සඳහා කරන වියදම් විගණනය කිරීම පිළිබඳව ගැටලු ඇති වී තිබෙනවා. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ තිබෙන උත්සව සඳහා කරන ප්‍රචාරණයන් තිබෙනවා. මේ ගැන සොයා බැලීමක් කළ යුතුයි. ප්‍රචාරය කරන්න එපා කියන එක නොවේ මම කියන්නේ. නමුත් දරන්නට හැකි පරිදි වියදම් කළ යුතුයි. විගණන දෙපාර්තමේන්තුවට ඉංජිනේරු, වෛද්‍ය, තාක්ෂණික විශේෂඥයින් බඳවා ගැනීමක් කළ යුතුයි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින දූෂිතයන් ද හෙළි කළ යුතුයි.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- ගම්පෙරළිය ප්‍රචාරණ වැඩසටහනට ලොකු මුදලක් වියදම් කරනවා කියලා බිමල් මන්ත්‍රීතුමා කිව්වා. ගම්පෙරළිය වැඩසටහනට සියයට 75 ක වියදමක් පෞද්ගලික අංශයෙන් ලැබෙනවා. ‍

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස) - වර්තමාන විගණකාධිපතිතුමා දේශපාලනීකරණය නොවී රටට වැඩක් කරයි කියලා අපි හිතනවා. මෙරට ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවෙන් වෙනම පරිච්ඡේදයක් විගණකාධිපතිවරයා වෙනුවෙන් වෙන් විය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප) - 2015 මැතිවරණ පොරොන්දුවක් අනුව විගණකාධිපති පනත සම්මත කර ගත්තා. දේශපාලඥයන්ට නිතරම දූෂණ චෝදනා එල්ල වෙනවා. මෙරට වැඩ කරන රාජ්‍ය සේවකයන් ගැන ද දූෂණ චෝදනා සොයා බැලිය යුතුයි. ඒ නිසා අපි ඒ ගැන ද අවධානය යොමු කළ යුතුයි. ඒවා ගැනත් අපි තීන්දු ගත යුතුයි. පසුගිය කාලයේ අපට කරන්න නොහැකියි

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (ජවිපෙ) - ජන බලයට පැමිණි අයට ලබා දුන් කිරි පැකැට්ටුවලට මෙතුමා එන්නතක් ගහලා තිබෙනවා.

මුජිබර් රහුමාන් මහතා - ජන බලය සඳහා කොළඹට ලක්ෂයක් ගේනවා කිව්වා. කොළඹ පෙරළනවා කිව්වා. ඒ කිව්ව එකක්වත් වුණේ නැහැ. ජන බලය සංවිධානය කළ අය සටන්කරුවන් කියලා අපි හිතුවේ. නමුත් එහෙම එකක් නැහැ. සටන්කරුවන් නම් ඔවුන් පසුවදා සිටිය යුත්තේ හිරගෙවල්වල. ඔවුන් හිටියේ හිරගෙවල්වල නොව බීලා පාරවල්වල වැටිලා. ජන බලයට පැමිණි අයට කල් ඉකුත් වූ කිරි පැකැට් දීලා අපි එන්නත් විද්දා කියලා කියනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඔවුන්ගේ දේශපාලනය බංකොලොත් වෙලා. එය නපුංසක ව්‍යාපාරිකයන්ගේ සටනක් කියලා පෙන්නුවා. එළිවෙනකන් ඉන්න ආවේ. නමුත් රාත්‍රි නවය දහය වෙන කොට ගියා.

ඔවුන් කොළඹට පැමිණියේ අරාබි වසන්තය කරන්න. අරාබි වසන්තය කරන්නේ කොහොමද කියලා අපෙන් අහ ගන්න. කොළඹ නගරයේ ජනතාව නැඟිට්ටොත් ඒ අයට කොළඹට ඇතුළු වෙන්න වෙන්නේ නැහැ. පෑලියගොඩින් ඇතුළට එන්න බැහැ. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මොනවා බීලා ආවාද දන්නේ නැහැ. ඔහු එසේ කී නිසා තමයි මට මේ දේවල් කියන්න වුණේ. විමල් වීරවංශ මහතා මට බාධා කළා. විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීමට එකඟව ඒ ගැන තමයි කතා කරමින් හිටියේ.

අජිත් පී පෙරේරා මහතා - පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් විවිධ කමිටු සභා වලට සහභාගි වීම සිදු කරනවා. ඒකාබද්ධ විපක්ෂය ඝන පූර්ණය ගැන කතා කරලා විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීම කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. ඒවා ලැජ්ජා නැති වැඩ.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙජාස) - පසුගිය කාලයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. විගණකාධිපති නිසි ලෙස ක්‍රියාත්මක වී ස්වාධීන විය යුතුයි. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට යටත්ව එය ක්‍රියාත්මක වන්නේ නම් එය සාර්ථක නැහැ. මහජන මුදල් නිසි ලෙස ජනතාවට යා යුතුයි. එසේ වීමේදි විගණකාධිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය නොවී කටයුතු කළ යුතුයි. මහජන මුදල් අවභාවිතා කරන අයට විරුද්ධව මරණ දඬුවම දිය යුතුයි කියන කාරණාවට අපි එකඟ වෙනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා - අහිංසක අසරණ මිනිසුන් ගෙනල්ලා තැන් තැන්වල ඉඳගෙන බොන්න දීලා ආණ්ඩුවට එරෙහිව කෑ ගැසුවාට වැඩක් නැහැ. බීපු අය සුවසැරියෙන් රෝහල්ගත කිරීම කළා. ඒවා සුදුසු වැඩ නොවේ. දියුණු වෙමින් තිබෙන රටකට එය හොඳ නැහැ. රටේ සැබෑ උන්නතිය වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට අපි පත්විය යුතුයි. රටේ වැදගත් තීරණ ගනිද්දි අත්වැල් බැඳ ගත යුතුයි.

බොරුවට මිනිසුන් කුපිත කරන්න එපා. කොළඹ මිනිසුන් කුපිත වුණොත් කොළඹට එන අයට ගෙදර යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ නැවතත් මෙවැනි රැවටිලිවලට රැවටිලා කොළඹට එන්න එපා කියලා රටේ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

රජයේ විගණකාධිපති තනතුරේ වැටුප් වැඩි කිරීම හා වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදි ඒකමතිකව සම්මත විය.

නව අදහස දක්වන්න