2019 ලෝක වනජීවි සමුළුව සත්කාරක රට ශ්‍රී ලංකාව | දිනමිණ

2019 ලෝක වනජීවි සමුළුව සත්කාරක රට ශ්‍රී ලංකාව

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ - නිමල් විජේසිංහ

2019 මැයි 22 සිට පුරා දෙසතියක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශාලතම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනු ඇත. එය ලොව වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාක විශේෂ පිළිබඳ ජාත්‍යන්තර සම්මුති ඉහළ පෙළේ සමුළුවයි (CITES). පසුගියදා බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව රජය වෙනුවෙන් සත්කාරකත්වය දැරීමේ ගිවිසුමට අත්සන් තැබීය.

එම ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව එක්වූයේ 1979 අගෝස්තු 02 වැනිදාය. එක්සත් ජාතීන්ගේ මේ බහු පාර්ශ්වීය ගිවිසුම් මගින් සාවද්‍ය වෙළෙඳාමෙන් ආරක්ෂා කිරීමට, තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන් විශේෂ නිරන්තරවම කටයුතු කරයි. සෑම වසර 03කට වරක්ම සත්ත්ව හා ශාක වෙළෙඳාම පිළිබඳ වැදගත් තීරණ තීන්දු ගැනීම වෙනුවෙන් වූ CITES සමුළුව සඳහා සාමාජික රටවල් රැසක් එක්වෙයි. CITES සම්මුතිය ඒ සඳහාම විශේෂ වූ බලපත්‍ර ක්‍රමයක් මත ක්‍රියාත්මක වන අතර ශාක හා සත්ත්ව වර්ග ලැයිස්තු ගතකර ඇත. නිදසුනක් ලෙස ශ්‍රී ලංකා කොටියා CITES තුළ ඇතුළත් වන අතර එම සතා වෙළෙඳාම් කිරීම තහනමට ලක් කර ඇත. CITES සමුළුව ශ්‍රී ලංකාව තුළ බලගැන්වීම හා ක්‍රියාත්මක කිරීමේ කළමනාකරණ අධිකාරිත්වය දරන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. සාමාජිකයන් අතර සම්මුතිය ක්‍රියාවට නැංවීම, ශාකවල තත්ත්වය, වෙළෙඳාම හා ඒවායේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සඳහා සම්මන්ත්‍රණය පවත්වනු ලබයි. සාමාජික රටවල් 183 හි නිල නියෝජිතයන්ට අමතරව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු වෙනත් විද්‍යාත්මක ආයතන සහ අන්තර්ජාතික මාධ්‍ය ද මේ සමුළුව නියෝජනය කරනු ලබයි. සමස්තයක් ලෙස 5000ක පමණ පිරිසක් සමුළුවට සහභාගි වනු ඇත. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන මැයි 22 වැනිදා සමුළුවේ සමාරම්භක සැසිවාරය ආරම්භ කිරීමට නියමිතය.

2019 මැයි 22 වැනිදා සිට සති දෙකක කාලයක් තිස්සේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමුළු ශාලාවේ දී පැවැත්වෙන මේ ඉහළ පෙළේ සමුළුව සාර්ථක කරගැනීම සඳහා මූලික සංවිධාන කටයුතු දැනටමත් සිදු කෙරෙන බවත්, වෙනම ලේකම් කාර්යාලයක් මේ කාර්ය සඳහා ස්ථාපිත කර ඇති බවත් සමුළු සම්බන්ධීකරණ ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දිනමිණට පැවසීය. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කොළඹදී පවත්වනු ලබන විශාලතම ජාත්‍යන්තර සමුළුව වීම විශේෂත්වයක් බව ද ඔහු පැවසීය. සම්මේලනයට සත්කාරකත්වය ලබාදීමට අමතරව කුඩා, මධ්‍ය හා මහා පරිමාණ දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා ද මේ සමුළුව පැවැත්වීමෙන් මහඟු අවස්ථාවක් සැලසේ. මෙරට විශ්වවිද්‍යාල, දේශීය පර්යේෂණ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු බොහෝ ආයතනවලට ද ප්‍රදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙනු ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. සම්මන්ත්‍රණය සඳහා ජ්‍යෙෂ්ඨ පාසල් සිසුන්, උපාධි අපේක්ෂකයන් ඇතුළු විවිධ ස්වේච්ඡා කණ්ඩායම්වල දායකත්වය ලැබෙන අතර, CITES ආශ්‍රිතව විවිධ තරගවලට සහභාගිවීම සහ ක්‍රියාකාරකම්වල නියැළීමේ අවස්ථාව ද හිමි වේ. මේ සමුළු වාරය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ඉමහත් රුකුලක් වන බව ද ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.

 


නව අදහස දක්වන්න