මාර්ගය පුළුල් කිරීමට කපන පස් කියුබ් ගණනින් මවුස්සාකැලේ ජලාශයට | දිනමිණ

මාර්ගය පුළුල් කිරීමට කපන පස් කියුබ් ගණනින් මවුස්සාකැලේ ජලාශයට

හැටන් සමුහ - චන්දන ජයවීර

ජලාශයේ ජල ධාරිතාව අඩුවීමෙන් ගැටලු රැසක්

මස්කෙළිය නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගය මෝහිනී දිය ඇල්ල ප්‍රදේශයේ පුළුල් කිරීම සඳහා කපා ඉවත් කරන විශාල පස් තොගයක් මවුස්සාකැලේ ජලාශයට බැහැර කිරීමේ නීති විරෝධී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මාර්ග සංවර්ධන අධිකාරියේ නෝර්වුඩ් ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතියෙන් ස්කැවේටර් හා බැකෝ යන්ත්‍ර මගින් කපා ඉවත් කරන ලද පස් තොග මවුස්සාකැලේ ජලාශ ඉවුරේ තැන්පත් කිරීම හා එම ජලාශයට මුදා හැර තිබේ.එමෙන්ම එය තවදුරටත් බැහැර කරමින් පවතී.

එම පස් සෘජුවම ජලාශයට එක්වීම හා ජලාශ ඉවුරේ තැන්පත්ව ඇති පස් වැසි ජලය සමඟ මුසුවීම නිසාත් ජලාශයට එක්වේ.එමෙන්ම මාර්ග දෙපස තැන්පත් කර තිබෙන ස්ථානවලදී බාහිර ප්‍රදේශවලින් ශ්‍රිපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගත් වාහන මාර්ග අයිනට කර නැවැත්වීමට උත්සාහ කිරීමේදී නව පස් තට්ටුව සමඟ ගිලාබැසීම නිසා විශාල අනතුරු හා ජිවිත හානි සිදුවිමේ අවදානමක්ද පවතී.

එමෙන්ම මෙරට ජාතික ජල විදුලි බල පද්ධතියට විශාල දායකත්වයක් ලබාදෙන ලක්ෂපාන,නව ලක්ෂපාන,කැනියෝන් හා පොල්පිටිය ජල විදුලි බලාගාර සඳහා ජලය සැපයෙන ජලාශ දෙකෙන් එකක් වන මවුස්සාකැලේ ජලාශය අක්කර ඝන අඩි 93000ක ජල ධාරිතාවක් ඇති බව පැවසු මුත් ජලාශය ඉදිකිරීමෙන් පසුව මේ දක්වාම රොන් මඩ ඉවත් කිරීමක් සිදුකර නැත. දැඩි නියඟය සහිත කාලය තුළදී ජලාශය සිදි යන අතර එම කාලයේදී විදුලිය නිෂ්පාදනය මෙන්ම පානීය ජලය සපයා ගැනීමද ගැටලුවක් බවට පත්වන අවස්ථා වෙයි.

එවන් තත්ත්වයක් හමුවේ ජලාශයට විශාල පස් තොගයක් බැහැර කිරීම නිසා තවදුරටත් එහි ධාරිතාව අඩු වන අතර පාරසරික බලපෑමකටද ලක්වනු ඇත. එමෙන්ම මෙලෙස පස් බැහැර රීම පවතින නීතියට පටහැනි වුවද වගකියුතු ආයතනයක් මෙසේ කටයුතු කරනුයේ සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන රටේ පොදු නීතිය මොවුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ජනතාව විමසති.

ඉහත ක්‍රියාවලිය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නෝර්වුඩ් ප්‍රාදේශිය ඉංජිනේරුවරයාගෙන් කළ විමසීමේදි මෙසේ පැවසීය.ශ්‍රිපාද වන්දනා කාලයට මේ ප්‍රදේශයේ අධික රථ වාහන තදබදයක් ඇතිවන නිසා තමයි මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේ.අපිට මේ සඳහා තියෙන්නේ ටිපර් දෙකයි පස් කපන යන්ත්‍ර දෙකයි විතරයි.ඒ නිසා පස් වැඩි දුරකට ගෙනියන්න පහසුකම් නෑ.විදුලිය බල මණ්ඩලයත් එක්ක සාකච්ඡා කර තමයි වැඩ පටන් ගත්තේ.දැනට ඉවුර අයිනට පස් දාලා පස්සේ මතුවෙන ගල්වලින් ආරක්ෂිත බැම්මක් හදලා දෙනවා .

 

නව අදහස දක්වන්න