ඉකුත් මාස 8ට විදෙස් සංචාරකයෝ ලක්ෂ16ක් එති | දිනමිණ

ඉකුත් මාස 8ට විදෙස් සංචාරකයෝ ලක්ෂ16ක් එති

මහින්ද අලුත්ගෙදර

දකුණු ආසියානු කලාපයේ නැඟී එන ආර්ථිකයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය රටක් බවට යළිත් වරක් පත්කරමින් මේ වසරේ ගත වූ මාස අටක කාලයේ දී ලක්ෂ 16කට ආසන්න විදෙස් සංචාරකයන් පිරිසක් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව මේ වසරේ මුල් මාස අටක කාලයේ දී විදෙස් සංචාරයක් 1, 582, 835 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, එය පසුගිය වසරේ එම කාලසීමාව තුළ මෙරටට පැමිණි 1, 406, 854 ට සාපේක්ෂව සියයට 12.5ක වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය 2017 වසරේ දී විදෙස් සංචාරකයන් 2,116,407 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර, එම වසරේ සෑම මාසයකටම සාපේක්ෂව මේ වසරේ දී වැඩි විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මේ අතර පසුගිය 2017 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් 190,928 දෙනකු පැමිණ තිබෙන අතර, එහි සියයට 4.9ක වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ අගෝස්තු මාසයේ දී 200,359 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති රටවල් අතර ඉන්දියාව, චීනය හා එක්සත් රාජධානිය ඉදිරියෙන්ම සිටින අතර, සෙසු රටවලින් ද වැඩි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රජය පියවර ගෙන තිබේ.

මේ වසරේ ගත වූ සෑම මාසයකදීම ‍මෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණ‍යේ වර්ධනයක් පෙන්නුම් කරන අතර, විදෙස් සංචාරකයන් සඳහා හිතකර පරිසරයක් පැවතීම, නිදහස් රටක් බවට පත්වීම, අවශ්‍ය යටිතල පහසුකම් දියුණු මට්ටමක පැවැතීම, සංචාරක ආකර්ෂණීය ලෙස රට නිර්මාණය කර තිබීම සහ ස්වාභාවික සෞන්දර්යය ආදී කරුණු රැසක් හේතුවෙන් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් මෙරටට පැමිණෙන බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පැමිණෙමින් සිටින විදෙස්‌ සංචාරකයන් නැවත නැවතත් අප රටට ගෙන්වා ගනිමින් මේ සංචාරක පැමිණීම්වල වර්ධනය අඛණ්‌ඩව රඳවා ගැනීම වෙනුවෙන් සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම ඉතාමත් වැදගත් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ඇති අවස්‌ථාවන් සහ එමඟින් සමස්‌ත ආර්ථිකයට ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳ වටහාගෙන රජය, සංචාරක ව්‍යාපාරයට රට සූදානම් කිරීම යන කාරණය වෙනුවෙන් නොයෙකුත් පියවරයන් දියත් කරමින් සිටින බව ද කියා සිටී.


නව අදහස දක්වන්න