සාගර නගරයේ වාණිජ මධ්‍යස්ථානය ඔක්:18දා විවෘත වෙයි | දිනමිණ

සාගර නගරයේ වාණිජ මධ්‍යස්ථානය ඔක්:18දා විවෘත වෙයි

චමීර ඇල්ලදෙණිය

කොළඹ සාගර නගරයේ වාණිජ මධ්‍යස්ථානය ලබන මස 18 වැනිදා විවෘත කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඉදිරි වසර එකහමාර ඇතුළත සාගර නගරයේ සියලුම ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පියවර මේ වන විටත් ගෙන ඇති ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

විහාරමහා දේවී උද්‍යානය වඩා කිහිප ගුණයකින් යුතු උද්‍යානයක් මේ වන විටත් ඉදිකරමින් පවතින බවත් එය ජනතාවට ගොස් විවේකය ගත කිරීමට හැකි වන අයුරින් නිර්මාණය කර ඇති බව ද රණවක මහතා කියා සිටියේය.

වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා,

වරාය නගරයට විශාල විරෝධතා ඇති වුණා. නීත්‍යනුකූල ගැටලු මතු වුණා. ආරක්‍ෂක ගැටලු මතු වුණා. ජාත්‍යන්තර ගැටලු මතු වුණා. නොයෙක් ගැටලු ඇති වුණා. අපි ඒ සියල්ලම දැන් අතික්‍රමණය කරලා තිබෙනවා. 2014 දී ආරම්භ කරපු පරණ වරාය නගර ව්‍යාපෘතිය නෙමෙයි අපි දැන් ක්‍රියාත්මක කරන්නේ. 2014 වරාය නගරයට පදනම් වුණේ 2002 සැලසුම්. අපි ඒ වරාය නගරයේ වෙනස්කම් කිහිපයක් කළා. වැදගත්ම වෙනස්කම එහි ඉඩම් අයිතිය ශ්‍රී ලංකා රජයට ලබාගත්තා. සින්නක්කර කිසිම ඉඩමක් කිසිම විදේශිකයකුට ලැබෙන්නේ නැහැ. කලින් තිබිච්ච එකේ හැටියට සින්නක්කර ඉඩම් විදේශිකයන්ට ලැබෙනවා. දැන් මුළු හෙක්ටයාර 269 ම ශ්‍රී ලංකා රජයට අයිතියි. ඒ වගේම මේ පුරවනකොට කොළඹ නගරයට සිදුවන හානිය සම්බන්ධයෙන් විධිමත් පරිසර අධ්‍යනයක් සිදු කර තිබුණේ නැහැ. පරිසර අධ්‍යනයක් අපි සිදු කළා. පැමිණිලි 270ක් අපට ලැබුණා. ඒ වගේම අපි මාර්ගෝපදේශයන් හැත්තෑ ගණනක් වරාය ව්‍යාපෘතියේ අයට ලබා දුන්නා. ඒවාට අනුකූලව ඒවා සිදුවනවා ද කියා අපි සොයා බලනවා. කොපමණ සාර්ථකව කරනවා ද කිවුවොත් ඉදිකිරීම් කටයුතු සඳහා පරිසර අධ්‍යයනය දැම්මහම දෙදෙනයි ඉදිරිපත් වුණේ යම් අදහසක් හරි ඉදිරිපත් කරන්න. පාරිසරික පැත්තෙන් එම ගැටලුවලට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කර තිබෙනවා.

ඒ වගේම කිසිම ආරක්‍ෂක ප්‍රශ්නයක් මෙතන ඇති වෙන්නේ නැහැ. ලබන ඔක්තෝම්බර් 18 වැනි දා මෙහි වාණිජ මධ්‍යස්ථානය විවෘත වෙනවා. කාටත් ගමන් කළ හැකි ඇළ මාර්ගයක්, විහාරමහා දේවී උද්‍යානය වගේ කිහිප ගුණයක් විශාල උද්‍යානයක් ඇති කරනවා. කොළඹ නගරවාසීන්ට ගිහිල්ලා ඇවිදලා ඉන්න පුළුවන්. මුලින්ම අපි ජනතාව සතු කරන්නේ එම උද්‍යානයයි. ඒ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. ගස් සිටුවීමේ කටයුතු පර්යේෂණ මට්ටමින් කරගෙන යනවා. ඊ ළඟ වසර එකහමාර ඇතුළත අපි සාර්ථකව සිදු කරනවා.

වරාය නගරය පිළිබඳ තිබූ සැකමුසුකම්, ඒ පිළිබඳ තිබූ බිය සහගත තත්ත්වයන් සියල්ලම අපි අයින් කරලා රටේ විශාලම ආයෝජනය අපි කර තිබෙනවා. මෙය මහවැලි ව්‍යාපාරය වගේ කිහිප ගුණයක වැඩක්. මෙහි ඉංජිනේරුමය දැනුම අපට ලැබුණා. එය අපි සඳහන් කළ යුතුයි අපේ ඉංජිනේරු මහත්වරුන්ට. දැන් අපටත් අවශ්‍ය නම් මුහුද ගොඩ කළ හැකියි. එම හැකියාව අපි ලබාගත්තා. මේ නගරයේ මූලික ගොඩනැගිලි කටයුතු අපි ලබන වසරේ ආරම්භ කරනවා. රෝහලක්, අන්තර් ජාතික මට්ටමේ පාසලක් අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවක් රජයට අයිති ඉඩම්වල අපි ගොඩනැ‍ඟීම ආරම්භ කරනවා. ලෝකයේම තිබෙන බැංකු සහ අනෙකුත් වාණිජ ආයතන ගෙන එන්න පුළුවන් විදිහේ මූල්‍ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම චීන සමාගම මගින් සිදු කරනවා.

නව අදහස දක්වන්න