ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීම ඇරැඹේ | දිනමිණ

ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීම ඇරැඹේ

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ඩී 1 උතුරු ඇළට අයත් ඉපැරැණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සිට කෙත්බිම් අක්කර දහස් ගණනකට දියවර රැගෙන යන ප්‍රධාන ඇළ මාර්ගය වන උතුරු ඇළේ ප්‍රධාන ජල පැන්නුම වන ගිනිපෙට්ටි පාලම, ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භයේදීම ඉදිකරන ලද්දක් වන අතර, පසුගිය දා මේ පාලම කැඩී යෑම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවිය. ඒ හේතුවෙන් මෙවර කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 15,000 කට පමණ ජලය සැපයීම ද ඇණ හිටිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් වාරිමාර්ග නිලධාරීන් විසින් ඉතා ඉක්මනින් මේ පාලමේ කැඩීගිය කොටස් පිළිසකර කර අවශ්‍ය ජල සැපයීම යථා තත්ත්වයට පත්කළ අතර, පසුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා එම පාලම නැවත අලුතින් ඉදිකිරීමට කඩිනම් පියවර ගන්නා බවට වූ පොරොන්දුව ඉටු කරමින් මෙලෙස නව පාලමේ ඉදිකිරීම ආරම්භ කෙරිණි.

මේ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 250ක් වන අතර, ඉදිකිරීම් ඇරැඹීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා එම ස්ථානය නිරීක්ෂණය කිරීමට ද එක්විය.

ඉදිකිරීමට යෝජිත නව පාලමේ සැලැස්ම පිළිබඳ පොළොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. කේ. සේවාගම මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ අතර, ගිනිපෙට්ටි පාලමට සමාන්තරව, පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරුණු විකල්ප පාලම ද ජනාධිපතිවරයා අතින් නිල වශයෙන් විවෘත කරනු ලැබීය. මේ අතර එම අවස්ථාවට එක්ව සිටි ජනතාව සමඟ ඒ මහතා සුහද කතාබහක ද නිරත විය.

රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර, අමාත්‍යංශ ලේකම් එන්. ඒ. සිසිර කුමාර, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එස්. මෝහන රාජා, දිස්ත්‍රික් ලේකම් පී. එස්. පී. අබේවර්ධන, නගරාධිපති සිදත් චානක රණසිංහ, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල බණ්ඩාර ජයරත්න මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය


නව අදහස දක්වන්න

Or log in with...