සියලු සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් විශ්‍රාම වැටුප් | දිනමිණ

සියලු සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් විශ්‍රාම වැටුප්

චන්ද්‍රිකා පෙරේරා

මේ වසර අවසන්වීමට පෙර සියලු සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාවට නංවා තිබේ. මේ අනුව සමෘද්ධි නිලධාරීන් ඉදිරියේ දී විශ්‍රාම වැටුපට ද හිමිකම් කියන පිරිසක් ලෙස වැටුප් හා වෙනත් දීමනා ද ක්‍රමවත්ව ලබාදීමට වැඩපිළිවෙළක් සකසා ඇති බව සමාජ සුබ සාධන ඇමැති පී. හැරිසන් මහතා සඳහන් කළේය.

මීට සමගාමීව සමෘද්ධි සේවයේ සිට මිය ගිය හා විශ්‍රාම ගිය අයගේ පවුල් වෙනුවෙන් ද ස්ථාවර වැඩපිළිවෙළක් සැකසීමට තීරණය කර ඇති බව ද කීය.

ඒ අනුව ඉදිරි මාස තුන ඉකුත්වීමට පෙර ඉහත තීරණ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය මගින් ක්‍රියාවට නැංවීමට ද තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ඊයේ (07) සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ පැවැති විශේෂ හමුවේ දී ඇමැතිවරයා එම අදහස් පළ කළේය. එහි දී ඇමැති හැරිසන් මහතා මෙසේ ද කීය.

මේ ආණ්ඩුව නියමිත තීන්දු තීරණ නිසි කලට වේලාවට ගැනීමට සූදානම් වුවත් සමහර අවස්ථාවල දී අධිකරණ ක්‍රියාමාර්ග ආදිය නිසා පමා වන අවස්ථා තිබෙනවා. සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලුව විසඳීමටත් ඒ අනුව පමා වී තිබෙනවා.

කෙසේ වුවත් වර්තමාන ආණ්ඩුවෙ පාලන කාලය අවසන් වනතෙක් ඉදිරියට යනවා පමණක් නොවේ, නියමිත කාලයට මැතිවරණය පවත්වා ගත යුතු තීන්දු තීරණ ගැනීමටත් ලෑස්තියි. ඒ නිසා මේ රටේ සමස්ත ජනතාවම මේ ආණ්ඩුවත් එක්ක ඉදිරි කටයුතුවල දී ද සිටිනවා. එසේ සිටින, ආණ්ඩුව පිළිබඳ විශ්වාසය ආරක්ෂා වන නිසි වැඩපිළිවෙළක් සකසා අවසන්.

ඒ අනුව ක්‍රියාත්මක වන කාර්යයන් විශේෂයෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් සිදු කෙරෙන වේගවත් වැඩසටහන් මාලාවක්.

ඒ අනුව වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ තුළින් රටේ ජනතාවට සහන ලබා දෙන්න මේ ආණ්ඩුව සැදී පැහැදී සිටිනවා.

ස්ථිර පත්වීම් නොලැබූ සමෘද්ධි නිලධාරීන් 27,000ක් පමණ මේ වන විට සිටිනවා. ඒ අයට ස්ථීර පත්වීම් මෙන්ම, වයෝවෘද්ධ වූ විට ජීවත්වීම සඳහා විශ්‍රාම වැටුපක් නැහැ. මේ නිසා අනෙකුත් රාජ්‍ය සේවකයන්ට ලැබෙන වරප්‍රසාද කිසිවක් ලැබෙන්නේ නෑ. දීමනාවක් පමණක් නිසා වැටුප් වර්ධක ලැබෙන්නෙත් නෑ. මේ අයට අසාධාරණකම් ගණනාවක් වෙලා තියෙනවා. මේ ගැන සොයා බැලීමේ දී පෙනී යන්නෙ පසුගිය කාලේම ඒ අයට ලැබී තිබෙන්නෙ අඩු සැලකිල්ලක්. ඒ නිසා ඒ අය අසරණ තත්ත්වයට පත් වෙලා සිටින්නෙ. මේ අයගේ දේශපාලන මතය කුමක් වුවත් විෂය භාර ඇමැතිවරයා ලෙස මා ඒ අයගේ වැටුප ස්ථිර කර මට කළ හැකි යුතුකම සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් ඉටු කරදීමට තීරණය කළා යැයි ද හෙතෙම සඳහන් කෙළේය.

නව අදහස දක්වන්න